ලන්දේසි බ්‍රිතාන්‍ය අභාසයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තැපැල් උරුමය ගැන ඔබ දන්නවා ද?

Sri Lanka, Nuwara Eliya: colonial British post office at sunset

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තොරතුරු සන්නිවේදනය යනු වර්තමානයේ ඉතාමත් දියුණු සහ වඩාත් වේගයෙන් දියුණු වෙමින් පවතින ක්ෂේත්‍රයකි. තාක්ෂණයේ දියුණුව, එහි වේගවත් හා ප්‍රවේශයන් ඉහළ දැමූ බව නොරහසකි.

එසේ වීමට ප්‍රථමයෙන්, තොරතුරු සන්නිවේදනයට මිනිසා ශිෂ්ටාචාර ගත වීමත් සමග විවිධ ක්‍රම අනුගමනය කළ අතර, ලිපි හුවමාරුව ආදිය ඉතා ඈත අතීතයේ සිට සිදුවූවකි.

ඒ අනුව එක් එක් රටවල්වල, ප්‍රාන්තවල තැපැල් ක්‍රමයන් ආරම්භ වන්නේ එලෙස ලිපි හා පාර්සල් නියමාකාරයෙන් හුවමාරු කරගැනීම වඩාත් විධිමත් කරවීම සඳහා ය.

ලෝක තැපැල් දිනය - ඔක්තෝබර් නවය

ඔක්තෝබර් නවය දින ලෝක තැපැල් දිනය සැමරෙන්නේ, 1874 දී ස්විට්සර්ලන්ත අගනුවර වන බර්න්හි විශ්ව තැපැල් සංගමය පිහිටුවීමේ සංවත්සරය සමරමින් ය.

ඔක්තෝබර් නවය, එය 1969 දී ජපානයේ ටෝකියෝ නුවර පැවති විශ්ව තැපැල් සම්මේලනය විසින් ලෝක තැපැල් දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ තැපැල් ඉතිහාසය

ශ්‍රී ලංකා තැපැල් සේවයට වසර 224 ක දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, ලන්දේසින් විසින් 1798 දී ඔවුන්ගේ පාලනය යටතේ තිබූ සමුද්‍රීය දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල පහක් ආරම්භ කර තිබෙන අතර, 1799 දී ඔවුන් ප්‍රථම වරට තැපැල් රෙගුලාසි සහ තැපැල් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ.

ලන්දේසීන් විසින් ආරම්භ කරන ලද තැපැල් සේවාව "පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම" විසින් මෙහෙයවන ලද අතර එය මහජනතාව සඳහා නොව නිල භාවිතය සඳහා විය.

1815 දී බලය තහවුරු කරගැනීමෙන් පසුව ඉංග්‍රීසින් තැපැල් සේවය ප්‍රතිසංවිධානය කළ අතර 1882 දී කොළඹ ස්ථිර තැපැල් කාර්යාලයක් පිහිටුවන ලදී.

ලංකාවේ පළමු තැපැල්පතිවරයා වූයේ ගුවන් හමුදා නිලධාරියෙකු වූ ඒ. කෙනඩි ය.

ශ්‍රී ලංකාවේ පළමු තැපැල් කාර්යාලයය

1895 දී, එවකට කිංග්ස් හවුස් ලෙස නම්කර තිබූ (දැන් ජනාධිපති මන්දිරය) ආණ්ඩුකාරවරයාගේ නිවස ඉදිරිපිට කොළඹ කොටුවේ කිංග්ස් වීදියේ (දැන් ජනාධිපති මාවතේ) මහා තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකරන තෙක්, 1882 දී කොළඹ ආරම්භ කළ පළමු තැපැල් කාර්යාලය විවිධ ස්ථානවල පවත්වාගෙන ගොස් තිබේ.

යුද්ධය නිසා මතුව තිබූ ආරක්ෂක හේතූන් මත එය වර්තමානයේ තැපැල් මූලස්ථානය පිහිටා ඇති පරිශ්‍රයට ගෙන ගොස් තිබේ.

ඉංග්‍රීසි පාලන සමයේ දී පිටකොටුව, කුරුඳුවත්ත, ගාල්ල, මීරිගම, මහනුවර, නුවරඑළිය, මීගමුව, රත්නපුර, යාපනය යන ප්‍රධාන නගරවල ඉදිකළ තැපැල් කාර්යාල අදටත් පවතියි.

1894 දී ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල තට්ටු දෙකකින් සමන්විත වන අතර, ඔරලෝසු කුළුණකින් ද සමන්විත ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, 1894 දී ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල තට්ටු දෙකකින් සමන්විත වන අතර, ඔරලෝසු කුළුණකින් ද සමන්විත ය.

සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය රතු ගඩොල් තැපැල් කාර්යාලයය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති නගරවලින් ප්‍රමුඛ නගරයක්වන නුවරඑළියේ ඇති සෞම්‍ය දේශගුණය සහ එහි ඇති යටත් විජිත පාලන සමයේ මතක සටහන් නගරයේ ශෝභමාන බව තවත් වැඩි කරයි.

1824 දී පමණ ඉංග්‍රීසීන් සැලසුම් කරන නුවරඑළිය නගරයේ ඉංග්‍රීසීන් බොහෝ ඉදිකිරීම් සිදු කර තිබේ.

වර්තමානයේ ඔබ නුවරඑළිය නගරය වෙත යමින් සිටින්නේ නම් නුවරඑළිය ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට ඇති රතුපැහැති ආකර්ෂණීය ගොඩනැගිල්ලක් වෙත ඔබේ ඇස් යොමුවනු නොඅනුමාන ය.

එම ගොඩනැගිල්ල නරඹන විදේශීය සංචාකයන් ද අනිවාර්යයෙන් ඔබට දැකගත හැකි ය.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද සංචාරක ආකර්ෂණයක් දිනා ඇති මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ, අද දක්වාම ක්‍රියාත්මක වන නුවරඑළිය තැපැල් කාර්යාලයය යි.

එහි පිටත පෙනුම රතු ගඩොලින් නිර්මාණය වී ඇති අතර, එය ගොඩනගා ඇති සම්ප්‍රදාය හඳුන්වන්නේ 'ටියුඩර්' ගොඩනැගිලි සම්ප්‍රදාය ලෙස ය. 1894 දී ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වන අතර, ඔරලෝසු කුළුණකින් ද සමන්විත ය.

බ්‍රිතාන්‍ය පාලන සමයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගුණු එය වර්තමානයේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණය දිනූ ස්ථානයකි.තැපැල් කාර්යාලය තුළ බ්‍රිතාන්‍ය පාලන සමයට අයත් කෞතුක භාණ්ඩ එකතුවක් ද ප්‍රදර්ශනයට තබා තිබේ.

ඉහළ මහළේ, තැපැල් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන ගොස් ඇති නවාතැනක් පිහිටා ඇති අතර, වර්තමානයේ එය සංචාරක නිවාඩු නිකේතනයක් ලෙස පවත්වාගෙන යන බව එහි ගිය අපට දැනගන්නට ලැබුණි.

සංචාරකයන් හට එම අලංකාර කුඩා මන්දිරයකට සමාන ගොඩනැගිල්ලේ දිනක් ගත කිරීමේ අවස්ථාව වර්තමානය වන විට හිමි ව තිබේ.

උදෑසනටත්, සවස් යාමයටත් නගරයම සීතලෙන් වෙලාගෙන තිබෙන ඝන මීදුම අතරින් මෙම ගොඩනැගිල්ල දිස්වන්නේ එය සැබැවින් ම බ්‍රිතාන්‍යයේ ඇති පරිසරයට සමාන දර්ශනයක් ගෙන එමින් ය.

එවැනි මොහොතක ඉහළ මහලේ සිට නගරය දෙස බලා සිටීම ද වෙනස් සංචාරක අත්දැකීමක් වනු ඇත.

2017 වර්ෂයේ දී මෙම ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට යෝජනා වුවද බොහෝ පාර්ශවයන්ගෙන් එල්ල වූ විරෝධය සහ තැපැල් සේවකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් රජයට එය නවතාදැමීමට සිදුවිය.