ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම යනු කුමක් ද? බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව දැන් එය කරන්නේ ඇයි?
පලස්තීනය යනු පවතින සහ නොපවතින රාජ්‍යයකි.
නමුත්, ඊශ්‍රායලය සමග පලස්තීනුවන්ගේ දිගුකාලීන ආරවුල හේතුවෙන් එයට ජාත්‍යන්තරව එකඟ වූ සීමාවන්, ප්‍රාග්ධනයක් සහ හමුදාවක් නොපවතී. 1990 දශකයේ සාම ගිවිසුම්වලින් පසුව පිහිටුවන ලද පලස්තීන අධිකාරියට, බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා අත්පත් කර ගැනීම නිසා, එහි භූමිය හෝ ජනතාව කෙරෙහි පූර්ණ පාලනයක් නොමැත. තවමත් ඊශ්‍රායල අත්පත් කර ගැනීම්වලට නතුව පවතින ගාසාව විනාශකාරී යුද්ධයකට මැදිව පවතී.
යම් ආකාරයක අර්ධ-රාජ්‍යයක් ලෙස එහි තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී, එයට ලැබෙන ඕනෑ ම ආකාරයක පිළිගැනීමක් අනිවාර්යයෙන් ම තරමක් දුරට සංකේතාත්මක ය. එමගින් ශක්තිමත් සදාචාරාත්මක හා දේශපාලනික ප්‍රකාශයක් නියෝජනය කරනු ඇති නමුත් බිම් මට්ටමේ එතරම් වෙනසක් සිදු නොකරයි.
නමුත් මෙම සංකේතාත්මක පිළිගැනීම ශක්තිමත් ය. ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ සමුළුවේදී කළ කතාවකදී එක්සත් රාජධානියේ හිටපු විදේශ ලේකම් ඩේවිඩ් ලැමී පෙන්වා දුන් පරිදි: "ද්වි-රාජ්‍ය විසඳුමට සහය දැක්වීමේ විශේෂ වගකීමක් බ්‍රිතාන්‍යයට ඇත."
"යුදෙව් ජනතාව සඳහා පලස්තීනයේ ජාතික නිවහනක් පිහිටුවීම" සඳහා බ්‍රිතාන්‍යයේ සහයෝගය මුලින් ම ප්‍රකාශ කළ ඔහුගේ පූර්වගාමියා වූ විදේශ ලේකම් ආතර් බැල්ෆෝර් විසින් අත්සන් කරන ලද 1917 බැල්ෆෝර් ප්‍රකාශනය ඔහු තවදුරටත් උපුටා දැක්වීය.
පළමු ලෝක යුද්ධයෙන් පසු, 1922 සිට 1948 දක්වා කාලය තුළ League of Nationsහි නියෝගයක් යටතේ භූමියේ පාලනය බ්‍රිතාන්‍යයට පැවරීමෙන් පසු බ්‍රිතාන්‍යය පලස්තීනයට දැඩිව සම්බන්ධ විය.
මේ යටතේ, ගැටුමේදී පරාජිත පාර්ශවය වූ ජර්මානු සහ ඔටෝමන් අධිරාජ්‍යයන්ට අයත් වූ ප්‍රදේශ පරිපාලනය කිරීමට යම් රටකට නීත්‍යනුකූලව අවසර ලැබිණි.
නමුත්, බ්‍රිතාන්‍යය ඇතැමෙකු කළ නොහැකි යැයි කියූ සියුම්, තුලනාත්මක කාර්යයක නියැළීමට උත්සහ කරමින් සිටියේ ය. එක් අතකින්, බැල්ෆෝර් ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි, "යුදෙව් ජනතාව සඳහා ජාතික නිවහනක්" වෙනුවෙන් සහය දීමට ඔවුහු පොරොන්දු වූහ.
1948 වසරේදී බ්‍රිතාන්‍යය එම භූමියෙන් ඉවත් වූ විට සහ ඊශ්‍රායල් රාජ්‍යය ප්‍රකාශයට පත් කළ පසු, යුද්ධයක් ඇති වූ අතර බොහෝ පලස්තීනුවෝ අවතැන් වූහ.
බොහෝ ඉතිහාසඥයින් දකින්නේ, එකල බ්‍රිතාන්‍යයේ හැසිරීම නූතන ඊශ්‍රායල-පලස්තීන ගැටුමට හේතු වූ බව සහ පෙර පැවති පලස්තීනය ලෙස හැඳින්වූ භූමිය නොවිසඳූ ජාත්‍යන්තර කටයුත්තක් ලෙස ය.
අනෙක් අතට, ඊශ්‍රායලයේ ආධාරකරුවන් බොහෝවිට පෙන්වා දී ඇත්තේ, බැල්ෆෝර් සාමිවරයා පලස්තීනුවන් ගැන පැහැදිලිව සඳහන් නොකළ බවත් ඔවුන්ගේ ජාතික අයිතිවාසිකම් ගැන කිසිවක් ප්‍රකාශ නොකළ බවත් ය.
ලැමී පැවසූ පරිදි, දේශපාලනඥයින් "'ද්වි-රාජ්‍ය විසඳුම' යන්න පුරුද්දක් ලෙස පවසන" බව ය.
මෙම වාක්‍ය ඛණ්ඩය, 1967 අරාබි-ඊශ්‍රායල් යුද්ධයට පෙර පැවති ආකාරයට ම, බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම ගැන සඳහන් කරයි. එම යුද්ධයෙන් පසු ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබ සිටි නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස සැලකේ.
නමුත් ද්වි-රාජ්‍ය විසඳුමක් ගෙන ඒම සඳහා වූ ජාත්‍යන්තර උත්සහයන් අසාර්ථක වී ඇති අතර, ජාත්‍යන්තර නීතිය යටතේ නීතිවිරෝධී වන බටහිර ඉවුරේ විශාල ප්‍රදේශ ඊශ්‍රායලය විසින් යටත් විජිතකරණය කිරීම, එම සංකල්පය බොහෝදුරට හිස් සටන් පාඨයක් බවට පත් කර තිබේ.
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නේ කවුද?
එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් 75%ක් පමණ පලස්තීනය රාජ්‍යයක් ලෙස මේ දක්වා පිළිගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ, එයට සහභාගී වීමට ඉඩ සලසන නමුත් ඡන්ද අයිතියක් නොමැති "ස්ථිර නිරීක්ෂක රාජ්‍යයක" තත්ත්වය ඇත.
එක්සත් රාජධානිය සහ ප්‍රංශය (කණ්ඩායමට කැනඩාව, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම සහ මෝල්ටාව ද ඇතුළත් වේ) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පොරොන්දු වීමත් සමග ඔවුන්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනෙකුගේ සහය වැඩි කල් නොගොස් ලැබෙනු ඇත.
චීනය සහ රුසියාව 1988 වසරේදී පලස්තීනය පිළිගත්තේ ය.
මෙය ඊශ්‍රායලයේ ශක්තිමත් ම මිතුරා වන ඇමෙරිකා එක්සත් ජනපදය සුළුතරයක් බවට පත් කරනු ඇත.
1990 දශකයේ මැද භාගයේ පිහිටවූ දා සිට, වොෂින්ටනය, වර්තමානයේ මහමුද් අබ්බාස් විසින් නායකත්වය දරනු ලබන පලස්තීන අධිකාරිය පිළිගෙන තිබේ.
එතැන් සිට, ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු ම අවසානයේ පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා තම සහයෝගය ප්‍රකාශ කර ඇත. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ගෙන් අයෙකු නොවේ. ඔහුගේ පරිපාලන කාල දෙක යටතේ, ඇමෙරිකානු ප්‍රතිපත්තිය ඊශ්‍රායලයට පක්ෂව බෙහෙවින් නැඹුරු වී තිබේ.
එක්සත් රාජධානිය සහ අනෙකුත් රටවල් දැන් පලස්තීනය පිළිගන්නේ ඇයි?
බලයට පත්වූ බ්‍රිතාන්‍ය ආණ්ඩු පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම ගැන කතා කර ඇති නමුත් ඒ අනෙකුත් බටහිර මිත්‍ර පාක්ෂිකයින් සමග ඒකාබද්ධව සහ "උපරිම බලපෑම ඇති මොහොතේ" සාම ක්‍රියාවලියක කොටසක් ලෙස පමණකි.
එය හුදෙක් සංකේතාත්මක ක්‍රියාවක් ලෙස කිරීම වරදක් වනු ඇතැයි ආණ්ඩු විශ්වාස කළහ. ඉන් මිනිසුන්ට යහපත් බවක් දැනෙන්නට සැලැස්විය හැකි නමුත්, එය සත්‍ය වශයෙන් ම බිම් මට්ටමේ කිසිවක් වෙනස් නොකරනු ඇත.
නමුත් සිදුවීම් කිහිපයක් ඔස්සේ පැහැදිලිව ම රජයන් කිහිපයකට ම අත තැබීමට බල කර ඇත.
ගාසාවේ ඔඩු දුවන සාගතය, ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම කෙරෙහි වැඩෙන කෝපය සහ මහජන මතයේ ප්‍රධාන වෙනස්කම් මේ සියල්ල අපව මෙම ස්ථානයට ගෙන ඒමට දායක වී ඇත.
ඇතමෙකු කොන්දේසි සහිතව සහය දීමට පොරොන්දු වී ඇත.
කැනඩාව සම්බන්ධයෙන් ගත් කල, පලස්තීනය පිළිගැනීම පදනම් වී ඇත්තේ ස්වයං ප්‍රතිසංස්කරණය, 2026දී මැතිවරණ පැවැත්වීම සහ නිරායුධ පලස්තීන රාජ්‍යයක් සඳහා පලස්තීන අධිකාරිය දක්වන කැපවීම මත ය.
බ්‍රිතාන්‍ය රජය තම තීරණය ප්‍රකාශයට පත් කළ විට, ඊශ්‍රායල රජය ගාසාහි දුක් වේදනා අවසන් කිරීමට, සටන් විරාමයකට එළඹීමට, බටහිර ඉවුරේ භූමි ප්‍රදේශය ඈඳා ගැනීමෙන් වැළකී සිටීමට සහ ද්වි-රාජ්‍ය විසඳුමක් ඇති කරන සාම ක්‍රියාවලියකට කැප වීමට තීරණාත්මක පියවර නොගතහොත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පලස්තීනය පිළිගන්නා බව පවසමින් ඔවුහු අනෙක් පැත්තට වගකීම පැවරූහ.
මෙම පියවර යම් ව්‍යාකූලත්වයක් ඇති කළ අතර, ඇතැම් විචාරකයින් තර්ක කළේ පිළිගැනීම කිසිසේත් ම කොන්දේසි සහිත නොවිය යුතු බවත්, විශේෂයෙන් ඊශ්‍රායලයේ පියවර මත නොවන බවත් ය.
නමුත් බ්‍රිතාන්‍යය විසින් උපුටා දක්වන ලද පියවර හතරෙහි සැලකිය යුතු ප්‍රගතියක් කිසි විටෙකත් සිදුවිය නොහැකි වූ අතර, පිළිගැනීම නොවැළැක්විය හැකි දෙයක් බවට පත් කළේ ය.
පලස්තීන රාජ්‍යය පිළිගැනීමට යෝජනා කරන රටවල් ඔවුන්ගේ ක්‍රියාවන් සම්බන්ධීකරණය කිරීමෙන්, ගාසාහි යුද්ධය අවසන් කරන්නේ කෙසේ ද? සහ කුමන ආකාරයේ දේශපාලන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු ද? යන්න පිළිබඳ චින්තනය ප්‍රබෝධමත් කිරීමට උපකාරී වන පරිදි විශාල බලපෑමක් ඇති කිරීමට බලාපොරොත්තු වේ.
ඇතැම් රටවල් තවමත් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළි නොගන්නේ ඇයි?
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළි නොගන්නා රටවල් සාමාන්‍යයෙන් එසේ කරන්නේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාකච්ඡාමය විසඳුමක් නොමැති බැවිනි.
"පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමේ අවශ්‍යතාවට කට වචනයෙන් විතරක් සහය දුන්නත්, එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඍජු සාකච්ඡා ගැන අවධාරණය කරනවා. ඉන් අදහස් කරන්නේ ස්වයං නිර්ණය සඳහා පලස්තීන අභිලාෂයන් සම්බන්ධයෙන් ඊශ්‍රායලයට නිෂේධ බලය ලබා දීම යි," ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ ජාත්‍යන්තර සබඳතා සහ මැද පෙරදිග දේශපාලනය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ෆවාස් ගර්ජස් පවසයි.
1990 දශකයේ සාම සාකච්ඡා ආරම්භ වූ අතර පසුව ඊශ්‍රායල් ජාතිකයින්ට සහ පලස්තීනුවන්ට වෙන ම රටවල එකට ජීවත් විය හැකි ද්වි-රාජ්‍ය විසඳුමක ඉලක්කය නියම කළේ ය.
කෙසේ වෙතත්, සාම ක්‍රියාවලිය 2000 දශකයේ මුල් භාගයේ සිට මන්දගාමී ලෙස පරිහානියට පත් වීම ආරම්භ වූ අතර, 2014ට පෙර පවා, වොෂින්ටනයේ ඊශ්‍රායල් සහ පලස්තීන සාකච්ඡා අසාර්ථක විය.
අනාගත පලස්තීන රාජ්‍යයක දේශසීමා සහ ස්වභාවය, ජෙරුසලමේ තත්ත්වය සහ ඊශ්‍රායලය නිර්මාණය කිරීමේ ප්‍රකාශයෙන් පසුව ඇති වූ 1948-49 යුද්ධයෙන් පසු පලස්තීන සරණාගතයින්ගේ ඉරණම ඇතුළු වඩාත් ම කටුක ගැටලු තවමත් නොවිසඳී පවතී.
පලස්තීනය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමට ඊශ්‍රායලය දැඩි ලෙස විරුද්ධ වේ.
2024 අප්‍රේල් මාසයේදී ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ තානාපති ගිලාඩ් එර්දාන් උපුටා දක්වමින් AFP වාර්තා කළේ, සාකච්ඡාව පැවැත්වෙන කාරණය "දැනටමත් ජන සංහාරක ත්‍රස්තවාදයේ ජයග්‍රහණයක්" බවත්, සාර්ථක උත්සහයක් ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදයට ප්‍රතිලාභයක් වීමට ඉඩ තිබූ බවත් ය.
ඊශ්‍රායලය සමග සුහද සබඳතා පවත්වා ගැනීමට අදහස් කරන රටවල්, පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම තම මිත්‍ර පාක්ෂිකයාගේ කෝපයට හේතු වන බව දැන ගනු ඇත.
ඊශ්‍රායල් ආධාරකරුවන් ඇතුළු ඇතැමුන් තර්ක කරන්නේ, 1933 මොන්ටිවිඩියෝ සම්මුතියේ අර්ථ දක්වා ඇති රාජ්‍යත්වය සඳහා වන ප්‍රධාන නිර්ණායකයන්ට - ස්ථිර ජනගහනයක්, නිශ්චිත භූමි ප්‍රදේශයක්, රජයක් සහ අනෙකුත් රාජ්‍යයන් සමග සබඳතාවලට එළඹීමේ හැකියාවට - පලස්තීනුවන් නොගැලපෙන බව ය.
නමුත් අනෙක් අය වඩාත් නම්‍යශීලී අර්ථ දැක්වීමක් පිළිගන්නා අතර, අනෙකුත් රාජ්‍යයන් විසින් පිළිගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබයි.
ඇමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ කුමක් ද?
ට්‍රම්ප් පරිපාලනය කිසිවිටෙකත් පලස්තීනය පිළිගැනීමට ඇති විරෝධය සඟවා නැත. සැප්තැම්බර් 18 වන දින එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී එක්සත් ජනපද ජනාධිපතිවරයා ම "[බ්‍රිතාන්‍ය] අගමැති සමග එම කරුණ සම්බන්ධයෙන් එකඟ නොවීමක්" ඇති බව පිළිගත්තේ ය.
සත්‍ය වශයෙන් ම, එක්සත් ජනපද ස්ථාවරය පලස්තීන නිදහස පිළිබඳ සංකල්පයට ම සම්පූර්ණයෙන් ම විරුද්ධ වීම දක්වා දැඩි වී ඇති බව පැහැදිලි ය.
පලස්තීනය පිළිගැනීමට ජාත්‍යන්තරව එල්ල වන බලපෑම නිසා හමාස් සංවිධානය "වඩාත් ධෛර්යවත් වනු" ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා තිබේ.
බටහිර ඉවුර ඈඳා ගැනීම සඳහා ඊශ්‍රායලය පොළඹවන බවට පලස්තීනය පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටින අයට එක්සත් ජනපදය අනතුරු අඟවා ඇති බව රූබියෝ පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පලස්තීනයට මේ සියල්ල බලපාන්නේ කෙසේ ද?
වතිකානයේ මධ්‍යම පාලන අධිකාරිය වන Holy Seeහි සිදුවන්නාක් මෙන් පලස්තීනුවන්ට ද සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍ය තත්ත්වය හිමි වේ.
2011 වසරේදී පලස්තීනය එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජික රාජ්‍යයක් වීමට අයැදුම් කළ නමුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහයෝගය නොමැතිකම හේතුවෙන් එම ඉල්ලීම අසාර්ථක වූ අතර කිසිවිටෙකත් ඡන්දයක් දක්වා නොපැමිණියේ ය.
කෙසේ වෙතත්, 2012 වසරේදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීනුවන්ගේ තත්ත්වය "සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක්" දක්වා උසස් කිරීමට ඡන්දය දුන් අතර, එමගින් ඔවුන්ට යෝජනා සඳහා ඡන්දය ප්‍රකාශ කළ නොහැකි වුව ද, සභා විවාදවලට සහභාගී වීමට ඉඩ සැලසී තිබේ.
2012 තීරණය මගින් බටහිර ඉවුර සහ ගාසා තීරය පිළිගැනීමට ලක්වූ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එය විවේචනය කරන ලදී. එමෙන් ම එය පලස්තීනුවන්ට 2015දී එක්සත් ජාතීන්ගේ ඉහළ ම අධිකරණය වන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බන්ධ වීම ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවලට සම්බන්ධ වීමට ඉඩ සැලසීය.
2024 මැයි මාසයේදී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, සංවිධානය තුළ පලස්තීනයේ අයිතිවාසිකම් වැඩි කළ අතර උණුසුම් විවාදයකින් පසුව, එය සාමාජිකයෙකු ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.
මෙම යෝජනාව මගින් පලස්තීනයට විවාදවලට සම්පූර්ණයෙන් ම සහභාගී වීමට, න්‍යාය පත්‍ර අයිතම යෝජනා කිරීමට සහ කමිටුවලට තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට අවසර ලබා දුන් නමුත් ඉන් ඡන්ද අයිතිය ලබා දුන්නේ නැත.
සාමාජිකත්වය ලබා දිය හැක්කේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණි.
එම වසරේ අප්‍රේල් මාසයේදී, ස්ථිර සාමාජිකයන් පස් දෙනාගෙන් එක් අයෙකු වන එක්සත් ජනපදය, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට "කල් වැඩි" ලෙස හඳුන්වමින්, නිෂේධ බලය භාවිත කළේ ය.
ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කිරීමට රටවල් නීත්‍යනුකූලව බැඳී සිටින අතර, මහා මණ්ඩල යෝජනා එසේ නොවේ.
"එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකයෙකු වීම පලස්තීනුවන්ට යෝජනා සඳහා ඍජුව ම දායක දැක්වීමේ හැකියාව, මහා මණ්ඩලයේ ඡන්දයක් ('සාමාජික නොවන' රාජ්‍යයක් ලෙස ඔවුන්ට දැනට නොමැති) සහ අවසානයේ ආරක්ෂක මණ්ඩලයේ ආසනයක්/ඡන්දයක් ඇතුළුව වැඩි රාජ්‍ය තාන්ත්‍රික බලයක් ලබා දෙනු ඇත," වොෂින්ටනයේ මැදපෙරදිග ආයතනයේ බුද්ධි මණ්ඩපයේ පලස්තීනය සහ පලස්තීන-ඊශ්‍රායල් කටයුතු පිළිබඳ වැඩසටහනේ අධ්‍යක්ෂ කලීඩ් එල්ජින්ඩි පවසයි.
"නමුත් මේ කිසිවක් ද්වි-රාජ්‍ය විසඳුමක් ගෙන එන්නේ නැහැ - එය සිදුවිය හැක්කේ ඊශ්‍රායලයේ අත්පත් කර ගැනීම් අවසන් කිරීමෙන් පමණ යි," ඔහු තවදුරටත් පවසයි.
කෙසේ වෙතත්, ලන්ඩනයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන පාසලේ සංවර්ධන අධ්‍යයන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය ගිල්බට් අච්කාර් විශ්වාස කරන්නේ, එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකත්වය සමග "පලස්තීන අධිකාරියට වැඩි යමක් අත්කර ගත නොහැකි" බව ය.
"එය බොහෝ දුරට සංකේතාත්මක ජයග්‍රහණයක් ලෙස පවතීවි. ඒ කියන්නේ 1967දී අල්ලා ගන්නා ලද භූමි ප්‍රදේශවලින් සුළු කොටසක බලරහිත 'පලස්තීන අධිකාරියක' යථාර්ථය සමග ප්‍රබන්ධමය 'පලස්තීන රාජ්‍යයක්' පිළිගැනීම සහ ඊශ්‍රායලය මත සම්පූර්ණයෙන් ම යැපීම ගැන සැලකුවා ම එය 'ස්වාධීන සහ ස්වෛරී පලස්තීන රාජ්‍යයකට' ආලෝක වර්ෂ ගණනක් ඈතින් පවතින," බව ද පවසයි.
බීබීසී ප්‍රවෘත්ති සහ BBC Global Journalism