ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආබාධ සහිත පුද්ගලයින්ට දුම්රිය ස්ථානවල ප්‍රවේශ පහසුකම් සලසන්නැයි අධිකරණයෙන් 'ඓතිහාසික තීන්දුවක්'
- Author, බීබීසී සිංහල
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට වව්නියාව දක්වා අතර පිහිටි සියලු දුම්රිය ස්ථානවල අබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ පහසුකම් සලසන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට එම අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ දුම්රිය සාමාන්‍යධිකාරිවරයාට අද (සැප්තැම්බර් 18 වන දා) නියෝග කළේ ය.
මෙරට මහාධිකරණයකින් මෙවැනි නඩු තීන්දුවක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බව නීතිඥවරු පැවසූහ.
ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති එන්. ඩී. කමලාවතී අනුරාධපුර මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.
මෙම නඩුවේ පෙත්සම්කාරිය වෙනුවෙන් දෘශ්‍යාබාධිත නීතිඥවරයෙකු වන ඉසුරු මහේෂ් පණ්ඩිත ද පෙනී සිටියේ ය.
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කරයි
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 23 වගන්තිය මගින් තහවුරු කර ඇති පෙත්සම්කාර ආබාධිත තැනැත්තන්ගේ අයිවාසිකම්, නඩුවේ වගඋත්තකරුවන් විසින් උල්ලංඝනය කරනු ලැබ ඇති බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් මෙම නඩුවේ අබාධ සහිත පෙත්සම්කාරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරනු ලැබී ය.
මහව සිට වව්නියාව දක්වා අතර ඇති දුම්රිය ස්ථාන 2006 අංක 01 පනතේ නියෝගවලට අනුව නවීකරණය කළ යුතු බවට ද වගඋත්තරකරවන්ට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලැබෙන ප්‍රතිපාදනවලින් මෙම නවීකරණ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු බවට ද නියෝග කෙරිණි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු වගඋත්තරකරුවන් සමග සාකච්ඡා කොට මෙම නවීකරණ කටයුතුවලට අදාළ ක්‍රියාකාරී සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති දෙපාර්තෙම්න්තුවට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්නගත මෙම නවීකරණ කටයුතු අවසන් වන තෙක් ඒවායේ ප්‍රගතිය විමසා බැලීම සඳහා මෙම නඩුව වරින් වර කැඳවීමට ද නියෝග කෙරිණි.
මෙසේ නියෝග කළේ, ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව මහව සිට වව්නියාව දක්වා කොටසේ ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී එම දුම්රිය ස්ථානවලට ප්‍රවේශ වීමට ආබාධ සහිත පුද්ගලයින්ට පහසුකම් නොසලසා ප්‍රමිතියෙන් තොරව දුම්රිය ස්ථාන අලුත්වැඩියා කර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා අති නඩුව යළි කැඳවූ අවස්ථාවේ එම නඩුවේ තීන්දුව ලබා දෙමිනි.
ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති එන්. ඩී. කමලාවතී අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, ප්‍රවාහන මහමර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකරිවරයා සහ උතුරු පළාත සහ අනුරාධපුර ප්‍රදේශය භාර ඉංජිනේරු අධිකාරිවරයා සහ නීතිපතිවරයා යි.
ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමාගමීව මහව සිට අනුරාධපුරය දක්වා අතර ඇති දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 25 වන වගන්තිය යටතේ සාදන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2006 අංක 1 දරන (ප්‍රවේශ) අනුගමනය කිරීමකින් තොරව ප්‍රශ්නගත දුම්රිය ස්ථාන සංවර්ධනය කර ඇති බව මෙම පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මහාධිකරණයට කියා සිටියහ.
පෙත්සම්කාරියගේ නීතිඥවරුන් ස්වකීය කරුණු දැක්වීම්වලදී තවදුටරත් මහාධිකරණයට පවසා සිටියේ 1996 අංක 28 දරන අබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 24 (1) සහ 24 (3) වගන්ති ප්‍රකාරව ආබාධ සහිත පුද්ලයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවකදී ඊට අදාළව අධිකරණ බලය සහ සාධාරණ සහ යුක්තිසහගත ප්‍රතිකර්ම සහ සහන ලබා දීමට පළාත් බද මහාධිකරණයකට බලය පවතින බව ය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ අමන්දා කල්පශාඛාගේ උපදෙස් මත නීතිඥවරුන් වන ඉසුරු මහේෂ් පන්ඩිත සහ ධනුක කුමාරවඩු පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතිඥ සඳුනි මලවගේ පෙනී සිටියා ය.
මෙම නඩුව විභාග කිරීමට අනුරාධපුර මහාධිකරණයට අධිකරණමය බලය නොවැති බවට වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරුන් විවිධ නීතිමය තර්ක ගොඩ නැගූ පසුබිමට නඩුව විභාගයට ගෙන කෙටි කලක් තුළ එහි තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.