ඇඟලුම්වලට බ්‍රිතාන්‍ය දුන් තීරු බදු නිදහස ක්‍රියාත්මකයි - ඉන් ලංකාවට ලැබෙන වාසි මොනවා ද?

නිෂ්පාදිත ප්‍රභවය පිළිබඳ බ්‍රිතාන්‍ය විසින් ලිහිල් කරන ලද නව නීති මගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තවත් ඇඟලුම් සඳහා තීරුබදු රහිතව එක්සත් රාජධානියට ඇතුළු වීමට දැන් ඉඩ සලසා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

ශ්‍රී ලාංකාවේ නිෂ්පාදනය කරනු ලබන නිමි ඇඳුම් අපනයන සඳහා එක්සත් රාජධානියෙන් ලබා දී තිබූ තීරු බදු රහිත ප්‍රවේශය බලාත්මක කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ එක්සත් රාජධානියේ වෙළඳ වැඩසටහනට (DCTS) අදාළ ප්‍රතිසංස්කරණවලට අනුව ජනවාරි 01 වෙනිදා සිට ලිහිල් කරන ලද වෙළඳ රීති / රෙගුලාසි ක්‍රියාත්මක බව කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

මෙම නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදුකෙරෙන නිමි ඇඳුම් අපනයන කැපීපෙනෙන තරමින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ලිහිල් කළ වෙළෙඳ රීති යටතේ ශ්‍රී ලාංකීය නිමි ඇඳුම් නිෂ්පාදකයෝ එක්සත් රාජධානියේ වෙළෙඳපොළ වෙත මින් පෙර නොවූ ආකාරයේ ප්‍රවේශයක් ලබනු ඇතැයි විශ්වාසය පළ කරති.

"නිමි ඇඳුම් සඳහා වූ යෙදවුම්වලින් 100%ක් දක්වාම ලෝකයේ ඕනෑම රටකින් ලබාගන්නා අතර, එක්සත් රාජධානියේ වෙළෙඳපොළ වෙත තීරු බදු රහිතව ප්‍රවේශය ලැබීමට නිෂ්පාදකයන්ට දැන් අවසරය හිමි වේ. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන නිෂ්පාදන පිරිසැකසුම් දෙකක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පෙර අදාළ කරගත් රීතිය වුවත්, දැන් යෙදවිය යුතු පිරිසැකසුම් අවශ්‍යතා වශයෙන් දක්වා ඇත්තේ ස්වල්පයකි."

'අපි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහයෝගය ලබාදෙනවා'

වෙළඳ සහයෝගීතා හරහා අභිවෘද්ධිය සඳහා වූ අවස්ථා නිර්මාණය කිරීමට එක්සත් රාජධානිය කැප වී සිටින බව බලාත්මක කර ඇති නව ප්‍රතිසංස්කරණ තුලින් පෙන්නුම් කරන බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් පවසයි.

"වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඉහළ නැංවීමෙන් සහ අපනයන තවදුරටත් විවිධාංගිකරණය කිරීම සඳහා සහය සපයමින්, අපි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහයෝගය ලබාදෙනවා. අපනයන විභවතාව වර්ධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා රජයේ අභිමතාර්ථය අපි හඳුනාගෙන ඉන්නවා. මෙම වැඩපිළිවෙළ ඒ සඳහා යොදාගැනීම අපි විශේෂයෙන්ම ධෛර්යමත් කරනවා. එබැවින්, මෙම ප්‍රතිසංස්කරණ මගින් ප්‍රතිලාභ ලැබිය හැක්කේ කෙසේදැයි ගවේෂණය කරන මෙන් සහ DCTS මගින් ලබාදෙන තීරු බදු රහිත සහනය සඳහා ප්‍රවේශය ලබාගන්නා මෙන් මං අපනයනකරුවන්ට ඇරයුම් කරනවා."

'සමාන මට්ටමින් තරග වැදීමේ හැකියාව ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන්ට දැන් තිබෙනවා'

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සම්මේලනයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් ප්‍රතිසංස්කරණ බලාත්මක කිරීම පිළිබඳව සිය ප්‍රශංසාව පළ කර ඇතැයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

"සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ එක්සත් රාජධානියේ වෙළෙඳ වැඩසටහනට ගෙන ආ ප්‍රතිසංස්කරණ මගින්, කලාපය තුළින්ම අමුද්‍රව්‍ය ලබාගත යුතු යැයි මින් පෙර පනවා තිබූ සීමා කිරීම් ඉවත් කර තිබෙනවා. ගෝලීය සැපයුම් දාම සඳහා ප්‍රවේශය ලබන්නට දැන් අවස්ථාව හිමි බැවින්, සමාන මට්ටමින් තරග වැදීමේ හැකියාව ශ්‍රී ලාංකීය නිෂ්පාදකයන්ට දැන් තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට අපනයනය කරන නිෂ්පාදන අතර 60%කටත් වඩා සමන්විත වන්නේ නිමි ඇඳුම්වලින්. එය මෙරට මිලියනයකට ආසන්න ජනතාවකගේ ජීවනෝපායට උර දෙනවා. සක්‍රීය වෙළඳපළක් වෙත අපේ අපනයන යොමු කිරීමේ විභවතාව ඉහළ නැංවීම සඳහා එය අතිශයින් වැදගත් බව අපේ වැටහීමයි. මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබමින් කැපී පෙනෙන වර්ධනයක් අත්කරගැනීම සඳහා ගැනුම්කරුවන් සහ නිෂ්පාදකයන් සමග කටයුතු කිරීමට අපි උනන්දුවෙන් බලා සිටිනවා."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම ප්‍රතිසංස්කරණ හරහා නිමි ඇඳුම් කර්මාන්තයට කැපී පෙනෙන අභිවෘද්ධියක් හිමි වන බව බ්‍රිතාන්‍යය සමග ව්‍යාපාරික ගනුදෙනු සඳහා වූ සභාවේ සභාපති මාර්ක් සර්ජනර් මේ සම්බන්ධව අදහසක් පළ කරමින් ප්‍රකාශ කර තිබේ.

"එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා මෙම ප්‍රතිසංස්කරණවලට ඇති විභවතාව සම්බන්ධයෙන් අපි දැඩි උනන්දුවෙන් සිටිනවා. නිමි ඇඳුම් කර්මාන්තයට මෙයින් කැපීපෙනෙන අභිවෘද්ධියක් හිමි වෙනවා. එක්සත් රාජධානියේ DCTS යටතේ 90%කටත් වැඩි නිෂ්පාදන තීරු බදු රහිත වර්ගීකරණය යටතට රැගෙන ඒම හේතුවෙන්, කලාපීය රටවල් විශාල සංඛ්‍යාවකින් අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ හැකියාව දැන් නිර්මාණය වී ඇති බැවින්, වෙනත් අංශවලින් ද එම ප්‍රතිලාභයන් හි ප්‍රයෝජන ලබාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. DCTS වැඩිදුරටත් සාධනීයව යෙදවෙනු ඇතැයි අපි උනන්දුවෙන් බලා සිටිනවා. මෙය, එක්සත් රාජධානිය සමග සිය වෙළඳ ගනුදෙනු වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලාංකීය ව්‍යාපාරයන්ට සහයෝගය දීම අරමුණු කරමින් දැනටමත් පවත්වාගෙන යන CBB හි තොරතුරු සැසිවල කොටසක් වනු ඇති."

මෙම වෙනස්කම් සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා රජය සහ නිමි ඇඳුම් නිෂ්පාදකයන්ගේ සම්මේලන සැසිය ද ඇතුළු, බොහෝ ව්‍යාපාර සහ රටවල් මගින් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් වශයෙන් බව ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

"ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවනුවට විශාලතම වෙළඳපොළක් ඇත්තේ එක්සත් රාජධානිය සමග වන අතර, එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 675ක් වුවත්, මෙම නව වැඩපිළිවෙළ යටතේ නිමි ඇඳුම් අපනයනය කැපී පෙනෙන මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ." යැයි නිවේදනයේ දැක්වේ.

''0%' බදු දක්වා අඩු කිරීමත් සමගම ලංකාවට අවස්ථාවක් ලැබෙනවා'

එක්සත් රාජධානියේ වෙළෙඳපොළ මෙරටට වැදගත් බව පවසන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 50කට වැඩි ප්‍රමාණයක් ඇඟලුම් කර්මාන්තයට හිමි බව ද කියා සිටියේය.

"මේකේ විශාලම වාසිය ලැබෙන්නේ අපේ ඇපරල් කර්මාන්තයට මොකද දැනට යවන අපනයන භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් අපි යවන්නේ, 80%කට වැඩි ප්‍රමාණයක් යවන්නේ ඇඟලුම්. ඒ අනුව මේ වෙනකොට දෙවනි විශාලතම වෙළඳපළ වෙලා තියෙන්නේ UK වෙළෙඳපොළ. තීරු බදු සීයට බින්දුව දක්වා අඩු කිරීමත් සමගම ලංකාවට අවස්ථාවක් ලැබෙනවා වැඩි ප්‍රමාණයක් ලංකාවේ භාණ්ඩ අපනයනය කරන්න එක්සත් රාජධානියේ වෙළඳපළට."

මෙම තීරු බදු සහනය ක්‍රියාත්මක වීම මෙරට තුළ අපනයනය පුළුල් කිරීමට හැකි බව මෙන්ම මෙහි වාසිය මෙරට අපනයනකරුවන්ට ලැබෙන බව ද ඔහු පැවසීය.

මානව හිමිකම්, කම්කරු නීති නොසලකා ලැබූ සහනය

බදු සහනය හරහා ඇඟලුම් මෙන්ම මෙරට නිෂ්පාදනය කරනු ලබන 90% භාණ්ඩ බදු රහිතව එක්සත් රාජධානියට අපනයනය කිරීමේ හැකියාව ලැබී ඇති බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු පවසයි.

"ඇඟලුම් පමණක් නෙමෙයි සීයට අනූවක භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ සීයයට අනූවකට වඩා ප්‍රමාණයකට එක්සත් රාජධානියට අපනයනය කරන්න පුළුවන් තීරු බදු සහ වෙනත් බදු රහිතව.විශේෂයෙන්ම අපේ සම්ප්‍රදායික අපනයන භාණ්ඩ, ඒ වගේම අනිකුත් කාර්මික අපනයන මේ දේවල් හැම එකකටම විශාල සහනයක් හම්බ වෙනවා මේ පළවෙනිදා ඉඳලා."

මානව හිමිකම්, කම්කරු නීති හෝ පරිසර නීති වැනි දෑ නොසලකා මෙම බදු සහනය ලබා දීම ඉතා වැදගත් බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා දෙවන විශාලතම වෙළෙඳපොළ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් සඳහා දෙවන විශාලතම වෙළෙඳපොළ වන්නේ එක්සත් රාජධානිය යි. එහි වාර්ෂික වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වේ.

මෙරට ඇඟලුම් අපනයනයෙන් 15%කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කෙරෙන්නේ, බ්‍රිතාන්‍යයට ය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඍජු හා වක්‍ර අයුරින් ජීවනෝපාය කර ගත් පිරිස මිලියනයකට අධික වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය

2023 දී දියත් කරන ලද DCTS යනු එක්සත් රාජධානියේ ප්‍රමුඛතම වරණීය වෙළෙඳ යෝජනා ක්‍රමය වන අතර ඉන් ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 65ක් ආවරණය වේ.

එමගින්, නිෂ්පාදන දහස් ගණනක් සඳහා අඩු කළ හෝ ශුන්‍ය තීරුබදු සහන ලබා දෙයි. එය ලෝකයේ මෙවැනි ආකාරයේ වඩාත් ම ත්‍යාගශීලී යෝජනා ක්‍රමවලින් එකකි. මෑත කාලීන වෙනස්කම් මෙම දීමනාව තවදුරටත් වර්ධනය කරනු ඇත.