ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'බිත්තර වී, පොහොර ටික ගන්න අත පයේ තිබ්බ දේවල් ඔක්කොම උකස් කරලා කුඹුරු වගා කළේ' : දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ හානිය කොපමණ ද?
"නොවැම්බර් 10 වෙනිදා වෙද්දී අක්කර 05ක වී වගා කරලා තිබුණා. ගොයමට තෙල් පොහොර එහෙම ගහලා ගොයම් ගස් හොඳ මට්ටමේ තිබුණේ. ආව වැස්සත් එක්ක දවස් 08ක් වගේ මේ වෙද්දී වතුරෙන් යටවෙලා තියෙන්නේ. මේ වෙනකොට මම වගා කරපු කුඹුරු අක්කර 05යි, බඩ ඉරිඟු අක්කරයයි සම්පුර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි" අනුරාධපුරය දිස්ත්‍රික්කයේ එප්පාවල, කොනිත්ත ප්‍රදේශයේ ජීවත් වන 25 හැවිරිදි තරුණ ගොවි මහතෙකු වන අශාන් ප්‍රමෝදය පළිහක්කාර පවසයි.
පසුගිය නොවැම්බර් මස 26 වනදා සිට මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් මෙරට කෘෂි කර්මාන්තයට දැඩි ලෙස හානි සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් Reliefweb අඩවිය නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ.
ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ මහ කන්නය වෙනුවෙන් කුඹුරු අක්කර 510,000ක් සහ තවත් අක්කර ලක්ෂයක් පමණ වෙනත් බෝග ගොවීන් විසින් වගා කර තිබු බවයි.
'ගොයම් ගස් කුණු වෙලා ගැලවිලා ගිහිල්ලා'
අශාන් පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස සේවය කරන අතර වාරයේදී වසර 05ක කාලයක් පුරා ගොවිතැනේ ද නිරත වෙයි.
ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය සමග තමන් වගා කළ කුඹුරු අක්කර 05ට මෙන්ම බඩ ඉරිඟු වගාවට ද දැඩි ලෙස හානි සිදුව ඇති බවත් එය මූල්‍යමය වශයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වන බවත් ඔහු පැවසීය.
"කුඹුරට කිට්ටුවෙන් කොනිත්ත කියලා ඇලක් ගලාගෙන යනවා. වෙලට ගංවතුර ඇවිල්ලා දවස් 08ක් වෙනවා මේ වෙද්දී සම්පුර්ණයෙන්ම වෙල යටවෙලා තියෙන්නේ. ඒ වගේම පාරේ දාලා තිබ්බ වැලි සම්පුර්ණයෙන්ම වෙලට ගහගෙන ඇවිල්ලා සම්පුර්ණයෙන්ම දැන් කුඹුර ලොකු වැලි තට්ටුවකින් වැහිලා තියෙන්නේ. මේ වෙද්දී ගොයම් ගස් ගැලවිලා ගිහිල්ලා කුණු වෙලා තියෙන්නේ. අක්කර භාගයක් වගෙයි ඉතුරු වෙලා තියෙන්නේ. බඩ ඉරිඟු අක්කරෙන් එක ගහක්වත් ඉතුරු වෙලා නැහැ. මේ පැත්තේ ගොවිතැන් කරපු අක්කර 200 -300ක් වගේ ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ." ඔහු පැවසුවේය.
ඇතිවූ සොභාවික ව්‍යසනය නිසා ඉදිරියේදී කන්න ප්‍රමාද ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් එය රටට බලපෑමක් එල්ල කරනු ඇති බව ඔහු කියා සිටියේය.
"මහ කන්නයේ වගාව අපි මේ වෙද්දී ආරම්භ කරලා තිබ්බේ. දැන් ආපහු මුල ඉඳලා ගොවිතැන් කරන්න පටන් ගන්න වෙනවා. මම ආපහු වෙල සුද්ද කරලා ගොවිතැන පටන් ගන්නවා. මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ ඉස්සරහට බලපාන ඊසානදිග මෝසම් වැස්සත් එක්ක ගොවිතැනට බාධාවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් කන්න වගාව පරක්කු වෙනවා. එතැනදී බලපෑමක් එල්ල වෙන්න තියෙන ඉඩ වැඩියි."
ආහාර සහ ජන ජීවිතය සම්බන්ධයෙන් නිකුත් වූ UN වාර්තාව
ගංවතුර හේතුවෙන් බෝග හානි මෙන් ම රට තුළ මිරිදිය ධීවර කර්මාන්තයට හා ඉස්සන් වගාවට මෙන්ම උපකරණ වලට හානි සිදුවී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් Reliefweb වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
පශු සම්පත් ආශ්‍රිත ගොවීන් මුහුණ දෙන සත්ව ආහාර හිඟය, ගොවිපලවලට හානි සිදුවීම සහ සතුන් අතර රෝග ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යාම මෙන්ම මාර්ගවල අවහිරතා හේතුවෙන් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඇති ප්‍රවේශය සීමා වීම හේතුවෙන් වෙළඳපොළ ආශ්‍රිත අත්‍යවශ්‍ය ආහාර ප්‍රවාහනය සඳහා දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
සැපයුම් හිඟවීම හේතුවෙන් වෙළෙදපොලේ එළවළු මිල 30%-200% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර සහල් සහ පරිප්පු මිල ගතවූ දින කිහිපය තුලදී 2%-5% අතර ප්‍රමාණයකින් සුළු වැඩිවීමක් පෙන්නුම් කරන අතර ආහාර සුරක්ෂිතතා උත්සාහයන්ට සහාය වීම සඳහා අඛණ්ඩ අධීක්ෂණයක් අවශ්‍ය බව එම වාර්තාවේ දැක්වේ.
අපේක්ෂිත අස්වැන්න සැලකිය යුතු අඩුවීමක්
ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ වගාවන් සඳහා දැඩි ලෙස බලපා ඇති අතර, වී සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග යන දෙකටම විශාල හානියක් සිදුවී ඇති බව එක්සත් ජාතීන්ට සම්බන්ධ Reliefweb වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
දිට්වා සුළි කුණාටුවට පෙර, ගොවීන් 774,996 ක් විසින් වගා කරන ලද ඇස්තමේන්තුගත වී හෙක්ටයාර 563,950 ක් තීරණාත්මක වර්ධන අවධියේ පසුවූ බවත්, දැඩි හා දිගු කාලීන වර්ෂාපතනයෙන් පසු විශාල ප්‍රදේශයක් දැන් ජලයෙන් යටවී ඇති අතර එමඟින් අපේක්ෂිත අස්වැන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වන බව පුරෝකථනය කර ඇත.
සාමාන්‍යයෙන් කුඹුරු වගා බිම් කෙටි කාලීන ගංවතුරට ගොදුරු විය හැකි නමුත්, ජලයෙන් යටවන අවස්ථාවේ දී ගොයම් පැල පසුවන වර්ධන අවධිය අනුව ඊට සිදුවන හානියේ ප්‍රමාණය පුළුල් ලෙස වෙනස් වන බව එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
ඊට අමතරව, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, කෙසෙල් සහ විවිධ එළවළු භෝග ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර භෝග හෙක්ටයාර 95,799 ක් සහ එළවළු හෙක්ටයාර 13,463 ක් ගංවතුරට හසුවීමෙන් සහ දිගුකාලයක් ජලයෙන් යටවීම සහ දැඩි සුළං බලපෑම හේතුවෙන් හානියට ලක්ව තිබේ.
'හානිය ගැන ගණනය කරමින් ඉන්නේ'
දිට්වා සුළි කුණාටුවෙන් පසුව මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට එල්ල වී ඇති හානිය සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීම සඳහා බීබීසී සිංහල සේවය ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා වන ධම්මික රණතුංග සම්බන්ධ කර ගනු ලැබූ අතර එහිදී ඔහු කියා සිටියේ කෘෂිකර්මාන්තයට සිදුව ඇති හානි සම්බන්ධයෙන් මේ වන විට කරුණු එක්රැස් කරමින් පවතින බව ය.
"දැනට අපි ඒ ගැන ගණනය කරමින් ඉන්නේ. නිශ්චිත තොරතුරු නැහැ මේ වෙනකොට. මහා කන්නයට වී හෙක්ටයාර 510,000ක් වගේ ප්‍රමාණයක් වගා කරලා තිබ්බේ. එතකොට සෑහෙන්න ප්‍රමාණයක් වතුරට යට වෙලා තියෙන්නේ මේ වෙනකොට. ජලයෙන් යට වුණා කියලා ඒකෙන් කියැවෙන්නේ නැහැ සම්පුර්ණයෙන්ම ඒ වී වගාව විනාශ වුණා කියලා. සමහරවිට සෑහෙන්න ප්‍රමාණයක් රිකවර් කර ගන්න පුළුවන් වෙයි. ඒක හරියටම ගණනය වෙන්න තවත් දවස් කිහිපයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් මහ කන්නයේ අපි බලාපොරොත්තු ප්‍රමාණයෙන් සීයයට 60ක් වගේ ප්‍රමාණයක් වගා කරලා තිබුණේ."
"සමහර වෙලාවට වී වපුරපු ගමන් මේ වගේ තත්ත්වයක් ඇතිවුණා නම් ඇතිවෙන්න පුළුවන් හානිය වැඩියි. නමුත් සමහර ප්‍රදේශවල වී වපුරලා මාසයක් වගේ වෙනවා. ඒ වගේ කාලයක් ගත වෙච්ච කුඹුරකට මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා දවස් 3-4ක් වතුරෙන් යටවෙලා තිබුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ."
"එළවළු, බඩඉරිඟු හෙක්ටයාර ලක්ෂයක් වගේ වගා කරලා තියෙනවා. ඒවටත් අත්වෙලා තියෙන්නේ මේ වගේ තත්ත්වයක්. උඩරට එළවළුවලට වගේ යම් ආකාරයේ හිඟයක් ඇති වෙන්න පුළුවන්. නමුත් සහල් නිෂ්පාදනයට මේකෙන් බලපෑමක් එල්ල වෙයිද කියලා කියන්න දැන්ම කල් වැඩියි." ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
මේ අතර බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පැවසුවේ හානියට පත්ව ඇති මහ කන්නයේ වගා කන්නය නැවත මෙම මාසය තුළදී ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන බව යි.
"මේ වෙද්දී කුඹුරු ඉඩම් වලට තමයි වැඩිම හානිය වෙලා තියෙන්නේ. කුඹුරු ඉඩම් හෙක්ටයාර 137,000 කට හානිවෙලා තියෙනවා මේ වෙද්දී. බඩ ඉරිඟු වගේ වෙනත් බෝග, එළවළු වගා කරපු ඉඩම් ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා."
"කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ක එකතු වෙලා ගොවීන්ට බිත්තර වී, බිම් සකසන්න අවශ්‍ය ආධාර ලබාදීලා අපි කොහොම හරි මහ කන්නයේ වගා කටයුතු නැවතත් දෙසැම්බර් මාසයේදීම ආරම්භ කරන්න උත්සාහ කරනවා." ඔහු පැවසුවේය.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ වාරිමාර්ග ක්ෂේත්‍රයට ද හානි සිදුව තිබෙන බව යි.
"මේ වෙන කොට කුඩා වැව් 65කට පූර්ණ හානි සිදුවෙලා තියෙනවා. අර්ධ හානි සහ සුළු හානි වෙච්ච කුඩා වැව් ගණන 510ක් තියෙනවා. ඒ වගේම පූර්ණ, අර්ධ සහ සුළු වශයෙන් හානි වූ අමුණු ගණන 583ක් වෙනවා. ඊට අමතරව ඇල මාර්ග 1935කට හානි සිදුවෙලා තියෙනවා." ඔහු පැහැදිලි කළේය.
'ඇත්තටම අපි අසරණයි'
මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ දෙහිඅත්තකණ්ඩිය බෙදුම්ඇල 404 ඩී -1 ගොවි සංවිධානයේ සභාපති මිත්‍රරත්න එදිරිසිංහ කියා සිටියේ ඇතිවූ ගංවතුර තත්ත්වය සමග සිය ජිවිකාවට දැඩි ලෙස හානි සිදුවී ඇති බව යි.
"ඇත්තටම මේ පාර ආපු ගංවතුරෙන් අපේ ගමේ ගොවි ජනතාවගේ සියලුම කුඹුරු වගාවන් විනාශ වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. බිත්තර වී, පොහොර ටික ගන්න අත පයේ තිබ්බ දේවල් ඔක්කොම උකස් කරලා කුඹුරු වගා කළේ. හැමදේම විනාශ වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඉක්මනින් ඇල පාර හදලා අපිට ආපහු කුඹුරු ටික වගා කරන්න උදව් කරන්න" ඔහු ඉල්ලා සිටියේය.
හානි වී ඇති වගා බිම් ප්‍රමාණය කොපමණ ද?
පැවති ආපදා තත්ත්වයෙන් කෘෂිකර්ම හා පශු සම්පත් ක්ෂේත්‍රයට සිදුවූ හානිය පිළිබඳ මෙන්ම එම හානි සඳහා මුල්‍ය සහන ලබා දීම පිළිබඳ දැනුවත් කිරීමට අද (දෙසැම්බර් 08) වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්විණි.
එහිදී කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම්, ඩී. පී. වික්‍රමසිංහ සඳහන් කළේ, මහ කන්නයේ වගා කරන ලද කුඹුරු හෙක්ටයාර් 108,000ක්, බඩ ඉරිඟු හෙක්ටයාර් 6,600ක් සහ අනෙකුත් බෝග හෙක්ටයාර් 11,000ක ප්‍රමාණයක් පූර්ණ හානියට පත්ව ඇති බවය.
"මහ කන්නයේ වගා කරලා තිබුණා ඒ වන විට හෙක්ටයාර් 615,000ක ප්‍රමාණයක්, එයින් හෙක්ටයාර් 108,000ක පමණ ප්‍රමාණයක් පූර්ණ වශයෙන් හානියට ලක්වෙලා තියෙනවා. බඩ ඉරිඟු හෙක්ටයාර් 87,244ක් වගා කරලා තිබ්බා, ඒකෙන් හෙක්ටයාර් 6,600ක් පමණ ප්‍රමාණයක් පූර්ණ වශයෙන් විනාශයට පත් වෙලා. අනිකුත් ක්ෂේත්‍ර බෝග වශයෙන් ගත්තාම හෙක්ටයාර් 27,600 පමණ ප්‍රමාණයක් අපි වගා කරලා තියෙනවා, එකෙන් හෙක්ටයාර් 11,000ක ප්‍රමාණයක් පූර්ණ වශයෙන් විනාශයට පත්වෙලා තියෙනවා. එළවලු ගත්තාම උඩරට හෙක්ටයාර් 5,893 කින්, හෙක්ටයාර් 2,613ක් සම්පුර්ණ වශයෙන් විනාශයට පත්වෙලා තියෙනවා. පහතරට එළවලු ගත්තාම හෙක්ටයාර් 8,990කින් හෙක්ටයාර් 5,530ක් සම්පුර්ණ වශයෙන් විනාශයට පත්වෙලා තියෙනවා."
වන්දි ලබා ගන්න අපහසුවක් ඇත්නම් කළ යුත්තේ කුමක්ද?
දැනට මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයෙන් සහන ලබා දෙන බවට සඳහන් කර ඇත්තේ, විනාශයට පත්ව ඇති ගොවි බිම්වල වගා කිරීමට දරන ලද වියදම සහ ගොවි බිම් නැවත වගාවට පරිවර්තනය කිරීම සඳහා බව ද ලේකම්වරයා පැවසුවේය.
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් මඟින් හානියට පත් වගා බිම්වල තොරතුරු එක්රැස් කරමින් සිටින බවත්, එම දත්ත ලද වහාම වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේය.
"යම් කිසි කෙනෙකුට මේ ආධාරය ලබා ගැනීමට යම් කිසි අපහසුතාවයක් ඇත්නම්, යම් ප්‍රමාදයක් වගේ පේනවා නම් ඔවුන්ට කෙලින්ම පුලුවන් අපගේ 1918 ක්ෂණික දුරකතන අංකයට කතා කරලා ඒ තොරතුරු කියන්න. මොකද සමහර ප්‍රදේශවල රාජ්‍ය නිලධාරිනුත් අහසුතාවයට පත්වෙලා තියෙනවා. ඔවුනුත් මේ පීඩාවට පත්වෙලා තියෙනවා. ඒ නිසා එවැනි කරුණුත් මඟ ඇරවා ගන්න අපේ ක්ෂණික දුරකතන අංකයෙන් අපට ලබා දෙන පණිවිඩ අපි ක්ෂණිකවම අදාළ ක්ෂේත්‍රවලට ඉදිරිපත් කරමින් ඒ කටයුත්ත අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා."
කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම්, ඩී. පී. වික්‍රමසිංහ ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් නිවැරදිව තමන්ට සිදුවූ හානිය ඉදිරිපත්කර වන්දි මුදල් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
සත්වයන්ට සිදුවූ හානිය කොපමණ ද?
මෙම මාධ්‍ය හමුවට එක්වූ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.කේ. සරත්, පැවති ආපදා තත්ත්වයෙන් හානි සිදුවූ සතුන් පිළිබඳව ද කරුණු දැක්වීය.
"කිරි ගව කර්මාන්තය ගත්තොත් සතුන් තිස්දාහක පමණ ප්‍රමාණයක් ලැබී තියෙන වාර්තා අනුව, එළුවන් පාලොස් දාහක් වගේ ප්‍රමාණයක් මේ ගංවතුර සහ නායයම් නිසා හානියට පත්වෙලා තියෙනවා. මේකේ වැඩිම හානිය වෙලා තියෙන්නේ උතුරු පළාතේ, මන්නාරම දිස්ත්‍රික්කයේ තමයි මේකේ සියයට අනූවකම මේ සතුන් හානියට පත්වෙලා තියෙන්නේ. සතුන් හානි වීමට අමතරව මේ තත්ත්වයෙන් ගොවීන්ගේ තෘණ බිම් විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. ගොවීන් වගා කරපු තෘණ බිම් වගේම ස්වභාවිකම තිබිච්ච තෘණ බිම් විශාල වශයෙන් ගංවතුරට යට වෙච්ච නිසා සහ ඒ එක්කම පස් සහ වැලිවලට යට වීම නිසා හානි වෙලා තියෙනවා. ඒක නිසා සතුන්ගේ පෝෂණ තත්ත්වයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කිරි නිෂ්පාදන කර්මාන්තයේදී ඒක නිසා සතුන් ගේ දුර්වල පෝෂණ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා."
එබැවින් ඉදිරියේ දී සතුන්ට නොයෙකුත් වසංගත රෝග ඇති විමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයෙන් සිටින ලෙස ද ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
බිත්තර, කුකුළු මස් මිල වැඩි වෙයි ද?
මහා පරිමාණ කුකුළු කර්මාන්තයේ තොරතුරු පමණක් සන්තකයේ ඇති බව පැවසු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඉන් වෙළදපොලේ සියයට දහයක පමණ නිෂ්පාදන අඩුවක් සිදුවනු ඇති බව කියා සිටියේය.
"සුළු පරිමාණ ගොවීන්, මධ්‍ය පරිමාණ ගොවීන්ගේ තොරතුරු තවම හරියට අපිට එකතු වෙලා නැහැ. කෙසේ නමුත් ඒ කර්මාන්තයේ ඇති වෙච්ච හානිය සමාන්‍යයෙන් සීයට දහයක විතර හෝ ඊට අඩු නිෂ්පාදනයක අඩුවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අඩු වීම නිසා වෙළඳපොලේ බිත්තර හිඟයක්, කුකුල් මස් හිඟයක් හෝ එහි මිල වැඩි වීමක් බලපාන්න හේතුවක් වෙන්නේ නැහැ. මොකද අපේ රටේ බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය අතිරික්ත මට්ටමකට ගිහිල්ලා තිබ්බා."
ඒවායේ මිල කෘතිමව ඉහළ දැමීමට උත්සාහ නොකරන ලෙස ඉල්ලා සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයා එසේ සිදුවුවහොත් රජයට මැදිහත් වීමට සිදුවන බව ද පැවසුවේය.
ආපදාවෙන් සිදුවූ හානියට ලැබෙන වන්දි මොනවාද?
ආපදාවෙන් බලපෑමට ලක්වූ වී, ධාන්‍ය, බඩ ඉරිඟු සහ ක්ෂේත්‍ර බෝග වගාබිම්වල වගා හානි හෝ නැවත වගා කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව හෙක්ටයාරයකට රු. 150,000.00කි.
ආපදාවෙන් බලපෑමට ලක්වූ එළවළු වගාබිම්වල වගා හානි හෝ නැවන වගා කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව හෙක්ටයාරයකට රු. 200,000.00ක් වේ.
එමෙන්ම ආපදාවෙන් බලපෑමට ලක්වූ සත්ත්ව පාලන ගොවිපළ සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව (ලියාපදිංචි ගොවිපළ හිමියන් වෙත පමණි) එක් ගොවිපළ හිමියෙකුට රු. 200,000.00ක් වන බව රජය නිවේදනය කර ඇත.