2026 අවුරුද්ද සාර්ථක කර ගැනීමට ඔබ අනුගමනය කළ යුතු ක්‍රම 5ක්

Woman's hand writing goals 2026 for New Year. New Year Routine

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, යස්මින් රූෆෝ
    • Role, බීබීසී පුවත්

"අලුත් අවුරුද්ද, අලුත් වෙන ඔබ" යන අරුත ඇති ධනාත්මක පණිවිඩ දැන් සෑම තැනක ම දක්නට ලැබේ.

කායවර්ධන මධ්‍යස්ථාන සහ ආහාර සැලසුම් පිළිබඳ දැන්වීම් සමාජ මාධ්‍යවල දිස්වීමට පටන් ගන්නා අතර, මිනිසුන් නැවත රැකියාවට යන විට, ජනවාරි මාසයේදී සෑම කෙනෙක් ම අත්හරින, ආරම්භ කරන හෝ වැඩිදියුණු කිරීමට උත්සහ කරන දේ පිළිබඳ සංවාද ගැන ද අවධානය යොමු කරති.

එහෙත් බොහෝ අලුත් අවුරුදු අධිෂ්ඨාන කල් පවතින්නේ නැත. ජනවාරි මැද වන විට අපගෙන් බොහෝ දෙනෙකු අපගේ ඉලක්ක අතහැර දමනු ඇත.

නමුත්, මේ අවුරුද්දේ වෙනසක් සිදුවිය හැකි යි. අලුත් අවුරුදු අධිෂ්ඨානයන් ඇති කරගෙන ඒවාට කැපවී සිටින්නේ කෙසේ ද යන්න පිළිබඳව අපි විශේෂඥයින්ගෙන් විමසා සිටියෙමු.

01. යථාර්ථවාදී වෙන්න

2026 ඔබ, "බර අඩු කර ගන්නා", "රැකියාවේ වෙනසක් කරන" හෝ "නිවස මාරු කරන" වසර වේවි ද?

ප්‍රවේශම් වන්න. මේවා පැහැදිලි ක්‍රියාකාරී සැලසුම් නොවේ. ඒවා පීඩනයේ ප්‍රකාශන බව හිටපු වෛද්‍යවරියක සහ අභිප්‍රේරණ පුහුණුකාරියක වන ආචාර්ය ක්ලෙයාර් කේයි අනතුරු අඟවයි. අලුත් අවුරුදු අධිෂ්ඨාන බොහෝවිට අසාර්ථක වන්නේ ඒවා අපැහැදිලි, යථාර්ථවාදී නොවන සහ ඕනෑවට වඩා පුළුල් නිසා බව ඇය පවසයි.

ඇයගේ උපදේශය වන්නේ, ඔබේ ජීවිතයේ සාර්ථක දේවල්, ඔබව වෙහෙසට පත් කරන හෝ තවදුරටත් නොගැලපෙන දේ සහ ඔබව නිරායාසයකින් යොමුවන දේවල් පිළිබඳව සටහන් කර ගන්නා ලෙස ය.

"ඔයාට ඉවත් වෙන්න ඕනේ දේවල් විතරක් නෙවෙයි ඔයාට වැඩියෙන් ම අවශ්‍ය මොනවා ද කියලත් තේරුම් ගත්තා ම වෙනසක් කරන එක සෑහෙන්න පහසු වෙනවා," ඇය පවසයි.

"නිශ්චිත දෙයකට වඩා දිශාව සහ අත්දැකීම්" කෙරෙහි අවධානය යොමු කරමින් ඔබේ ඉලක්ක සටහන් කර ගන්න.

"බර අඩු කර ගැනීම" යන අදහස, "මගේ ශරීරයට වඩාත් ජවසම්පන්න සහ සුවපහසුවක් දැනීමට සහ මට එසේ දැනෙන්නට උපකාර වන දේ තේරුම් ගැනීමට මට අවශ්‍ය යි," යනුවෙන් නැවත සකස් කළ හැකි බව ඇය යෝජනා කරයි.

"වෘත්තීය වෙනස් කිරීම" වෙනුවට, එය මෙසේ ලිවිය හැකි ය: "මට ශක්තිය සහ අර්ථය ලබා දෙන රැකියාව කුමක් දැයි ගවේෂණය කිරීමට සහ ඊට ළඟා වීමට තැබිය යුතු එක් කුඩා පියවරක් හඳුනා ගැනීමට මට අවශ්‍ය යි."

02. මේ වචන දෙක පාවිච්චි නොකරන්න

High angle view of unrecognizable young woman wearing a robe sitting on bed writing on journal in cozy bedroom

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සැමවිට ම ' හෝ 'කිසිදාක නෑ' වැනි ස්ථාවර වචන භාවිත කිරීමෙන් සියල්ල හෝ කිසිවක් අත්පත් කර ගත නොහැකි මානසිකත්වයකට මග පෑදිය හැකි ය.

ඔබේ ඉලක්ක ලිවීමේදී වළක්වා ගත යුතු තවත් දෙයක් නම්, "සැමවිට ම" හෝ "කවදාවත් නෑ" වැනි ස්ථාවර යෙදුම් බව මනෝවිද්‍යාඥ කිම්බර්ලි විල්සන් පවසයි.

එවැනි යෙදුම් මගින් අරමුණු සමග රැඳී සිටීමට අතිශයින් දුෂ්කර වන සියල්ල හෝ කිසිවක් නොවන ප්‍රවේශයක් නිර්මාණය කරයි.

"මම හැම බදාදා දවසක ම දුවන්න යනවා" හෝ "මම ආයේ කවදාවත් බොන්නේ නැහැ" කියා ඔබට ම පොරොන්දු වීම ඔබව කඩා වැටීමකට පොළඹවයි.

බීබීසීයේ What's Up Doc පොඩ්කාස්ට් වැඩසටහනකදී ඇය පැවසුවේ, "ආහාර පාලනය හෝ ව්‍යායාම කියන පොදු උදාහරණයේදී මිනිසුන්ට හැඟෙන්නේ එක් දිනක් අසාර්ථක වුවහොත් මුළු උත්සහයෙන් ම කිසිදු වටිනාකමක් නෑ කියලා," යනුවෙනි.

ඇය පවසන්නේ, මිනිසුන් එක් කුඩා තීරණයක් කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමු කරන බවත් එය විශාල පින්තූරයේ කොටසක් ලෙස දැකීම අමතක කරන බවත් ය.

"මට අත්හදා බැලීමට අවශ්‍ය යි", "මට වැඩි ඉඩක් නිර්මාණය කිරීමට අවශ්‍ය යි" හෝ "මට ගැලපෙන දේ මම ඉගෙන ගන්නේ කවදා ද?" වැනි නම්‍යශීලී වාක්‍ය ඛණ්ඩයකින් ඉලක්ක ලිවිය යුතු බව ආචාර්ය කේයි පවසයි.

03. නරක තත්ත්වය ගැනත් සැලසුම් කරන්න

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔබට සති ගණනක් හොඳින් ඔබේ අධිෂ්ඨාන වෙනුවෙන් වැඩ කළ හැකි නමුත්, එක් දිනක් ව්‍යායාම කිරීමට නොහැකි වීමක්, එක් අතපසු වීමක්, හෝ එක් නිදි වැරීමක් නිසා හදිසියේ ම ඔබට පරාජිත බවක් දැනිය හැකි අතර ඔබේ උත්සහය අවසන් වූ බව සිතිය හැකි ය.

ඇතැම් යෝජනා අසාර්ථක වීමට හේතුව, "මිනිසුන් සැලසුම් සකස් කරන්නේ තමාට අවශ්‍ය උපරිම ආකාරයට වන නිසා" බව විල්සන් පවසයි.

"ඔවුන් ප්‍රතිඵල ප්‍රමාදවීමකට හෝ රැකියාවේ දුෂ්කර දිනවලට සූදානම් නැහැ, එහෙම තත්ත්වයක් උද්ගත වුණොත්, ඔවුන්ට ඊට මුහුණ දෙන්න සැලැස්මක් නැහැ," ඇය පවසයි.

විල්සන් පවසන්නේ, අධිෂ්ඨානය සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස නැවත ආරම්භ කිරීමට හැකි බව පිළිගැනීම වැදගත් බව ය. එයින් අදහස් වන්නේ, ඔබ අසාර්ථක වී ඇති බවක් නොවන අතර එයින් අදහස් කරන්නේ නොපසුබට උත්සහය පරිපූර්ණත්වයට වඩා වැදගත් බව ය.

"ඉලක්කය පරිපූර්ණත්වය නොවෙයි, එක් කුඩා පසුබෑමක් සැලැස්මේ සම්පූර්ණ බිඳීමක් බවට පත්වීම වැළැක්වීම" සිදු කිරීමට මතක තබා ගැනීම වැදගත් බව ආචාර්ය කේයි පවසයි.

ඔබ වැරැද්දක් කළහොත්, "හොඳ ම ප්‍රතිචාරය වන්නේ විවේචනාත්මක වීමට වඩා කුතුහලයෙන් සිටීම යි," ඇය පවසයි. ඊළඟ සතිය හෝ ඊළඟ මාසය නැවත ආරම්භ වන තෙක් බලා සිටීම වෙනුවට, ඔබ සෑම දිනක් ම නව ආරම්භයක් ලෙස සැලකිය යුතු ය.

04. ඔබේ පැරණි පුරුදු මත අලුත් පුරුදු ගොඩනගා ගන්න

Vertical portrait of unrecognizable woman reading a book in bed while having morning coffee.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ ඉලක්කය නින්දට පෙර කියවීම නම්, ඔබේ පොත කොට්ටය මත තබා ගන්නා ලෙස, වෘත්තීයමය අභිප්‍රේරිකාවක වන එමා ජෙෆ්රිස් පවසයි

ඔබේ අලුත් අවුරුදු අධිෂ්ඨාන සාර්ථක කර ගැනීමට උපකාර කළ හැකි එක් ක්‍රමයක් වන්නේ, "ඔබේ පැරණි පුරුදු මත අලුත් පුරුදු ගොඩනගා ගැනීමේ" ක්‍රමය යි. එහිදී ඔබ දැනටමත් දිනපතා කරන දෙයකට නව හැසිරීමක් සම්බන්ධ කරන බව එමා ජෙෆ්රිස් පවසයි.

"ඉතින් උදාහරණයක් ලෙස, මම දත් මැද්දට පස්සේ, මම පුෂ්-අප්ස් දහයක් කරනවා. වයින් ටිකක් ගත්තට පස්සේ, මම විනාඩි දහයක් ලියනවා. මගේ දරුවන්ව නින්දට යැවුවට පස්සේ, මම ව්‍යායාම ටිකක් කරනවා වගේ ඒවා," ඇය පවසයි.

"ඔබ ඔබේ පිඟානට තවත් කෑම බෙදා ගන්නේ නැහැ; ඔබ දැනටමත් කරන දේවල චර්යාවන්ට නව හැසිරීම් ගලපමින් සිටිනවා."

අභිප්‍රේරණය මත පමණක් රඳා නොසිට, සාර්ථකත්වය සඳහා ඔබේ පරිසරය සකස් කර ගැනීම ද විශාල වෙනසක් ඇති කළ හැකි බව ජෙෆ්රිස් පවසයි.

"ඉතින්, ඔබට තවත් කියවීමට අවශ්‍ය නම්, පොත ඔබේ කොට්ටය මත තබා ගන්න, එතකොට ඔයාට නින්දට පෙර ඒක දිග හරින්න සිදු වෙනවා," ඇය පවසයි.

05. ඉලක්ක ධනාත්මක කර ගන්න

Woman putting savings in a white piggy bank.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔබේ අලුත් අවුරුදු අධිෂ්ඨානය මුදල් ඉතිරි කිරීම හෝ ඔබේ වියදම් වඩා හොඳින් කළමනාකරණය කිරීම නම්, එය ධනාත්මක දෙයකට සම්බන්ධ කළ විට එය සාර්ථක වීමට වැඩි ඉඩක් ඇති බව විශේෂඥයෝ පවසති.

ඔක්ටපස් මනීහි පෞද්ගලික මූල්‍ය සම්බන්ධ අංශයේ ප්‍රධානී ටොම් ෆ්‍රැන්සිස් පවසන්නේ, "නිවාඩු දිනයක් හෝ හදිසි අරමුදලක් වේවා පැහැදිලි හා ආකර්ෂණීය ඉලක්කයක් තිබීම ඉතිරි කිරීම සීමා කිරීමට වඩා අරමුණු සහිත බවක් ඇති කරයි," යනුවෙනි.

එකවර ඕනෑවට වඩා වෙනස් කිරීමට උත්සහ නොකිරීම වැදගත් බව ඔහු පවසයි. මන්ද, එය ඉටු කිරීම ඉතා අසීරු බැවිනි.

"පැහැදිලි ප්‍රමුඛතා දෙකක් හෝ තුනක් පමණක් තෝරන්න. නිදසුනක් වශයෙන්, ඔයා හීන දකින නිවාඩුවක් සඳහා පවුම් 1,200ක් ඉතිරි කිරීම අධික ලෙස දැනෙන්නට පුළුවන්, නමුත් මසකට පවුම් 100ක් ඉතුරු කර ගන්න එක කරන්න පුළුවන්," ඔහු පවසයි.

ඔබට අනපේක්ෂිත වියදමක් ඇති වුවහොත් මදක් ප්‍රමාද කිරීම වරදක් නැතැයි ඔහු පවසයි.

"උදාහරණයක් ලෙස මාසික ඉතිරි කිරීමක් පවුම් 100 සිට පවුම් 20 දක්වා අඩු කිරීමෙන් අදහස් වන්නේ, ඔබ ඉදිරියට යන බව, වඩාත් ම වැදගත් දෙය නම් පුරුද්ද අඛණ්ඩව තබා ගැනීම යි."