ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මනම්පිටිය බස් අනතුර:'බස් එක වැටිලා වතුර පිරීගෙන එනකොට හිතුණා මැරුණා තමයි කියලා'
"මම බස් එකෙන් ගොඩට ආවට පස්සේ පොඩි ළමයෙක් ඇවිල්ලා කිව්වා මාමේ මගේ අම්මා බස් එක ඇතුලේ හිරවෙලා කියලා. ආපහු මම වතුරට බැහැලා බස් එකේ හිරවෙලා හිටපු ඒ අම්මව බේර ගත්තා"
මනම්පිටිය ප්‍රදේශයේ දී ( ජුලි මස 09 වෙනිදා) සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින යුද හමුදා සෙබලෙකු වන නිසල් අචින්ත්‍ය තමන් මුහුණ දුන් අත්දැකීම පිළිබඳ බීබීසී සිංහල වෙත මෙලෙස අදහස් දක්වා සිටියේය.
පොළොන්නරුව, කදුරුවෙල සිට කාත්තන්කුඩි බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් මනම්පිටිය කොටලීය පාලමෙන් ඔයට පෙරළී යාමෙන් සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය බිබිසි සිංහල වෙත තහවුරු කළේය.
එලෙස මියගිය පිරිස අතරට පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද අයත්ය.
" මම නාවල්අඩි ආමී කෑම්ප් එකට යන්න බස් එකට නැග්ගේ. ඒ අන්තිම බස් එක. කදුරුවෙලින් බස් එක පිටත් වෙද්දී 7.20ට වගේ වෙන්න ඇති."
"බස් එක සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 70ක වගේ වේගයෙන් ගියේ. බස් එකේ රියදුරුට කොන්ට්‍රෝල් නැතුව වගේ ගියා. එක පාරටම බම්පරයක් උඩින් වගේ දැම්මා. සද්දයක් එක්ක එක පාරම බස් එක පල්ලෙහාට ගියා. හිතාගන්න බැරි වුණා මොකක්ද වුණේ කියලා."
"බස් එක වැටුණට පස්සේ වතුර මට්ටම පිරීගෙන ආවා. බස් එක සම්පුර්ණයෙන්ම වතුරෙන් පිරිලා ගියා. ඒ එක්කම හුස්ම ගන්න බැරිව ගියා. කළුවරයි මොකුත් පෙන්නේ නැහැ. බස් එකේ ඇතුලේ ලයිට් එක ඩිම් වෙනවා."
"ඊට පස්සේ බැලුවා එහේට මෙහෙට පැනලා ජනේලයක් තියනවද කියලා බැලුවා. කලුවරට ජනේලයක් හොයා ගන්න බැහැ. මිනිස්සුත් කලබල වෙලා කෑගහනවා. එක්කෙනාගේ ඇග උඩ එක්කෙනා නැග ගෙන. මිනිස්සු බයටත් එක්ක එතන ලොකු කලබලයක් අති වෙලා තිබුණේ."
"එහෙම ටිකක් වෙලා යද්දී එක පාරටම බස් එක අනිත් පැත්තට ආපහු පෙරළුනා. පෙරළුනාට පස්සේ ජනේලයක් හෙව්වා. අනිත් මිනිස්සු බස් එකෙන් ගිහිල්ලා මම ඒත් එක ඇතුලේ මිනිත්තු කිහිපයක් ඉදලා කියලා පස්සේ මට තේරුණේ. පස්සේ මට බස් එක ඇතුලේ හුස්ම ගන්න පුළුවන් කැල්ලක් සෙට් වුණා උඩ හරියට වෙන්න. මම ඒ වෙද්දීත් බස් එක ඇතුලේ හිටියේ."
"මම අත දාලා බලද්දී ජනේලයක් සෙට් වුණා. වීදුරුව සාමාන්‍ය ගානට කැඩීලා තිබුණේ. මම වීදුරුවට ගැහුවා. එළියේ හිටපු අයියා කෙනෙක් අත දුන්නා. එහෙම්ම නැග්ගා බස් එකේ උඩට. බස් එක උඩට නැගලා ටිකක් වෙලා හිටියේ හරියට සිහියක් එනකම්."
"ඒ එක්කම පොඩි ළමයෙක් ඇවිල්ලා කිව්වා ' මාමේ මගේ අම්මා බස් එක ඇතුලේ හිර වෙලා කියලා. ළමයා එහෙම කියද්දී පව් කියලා හිතුණා. පස්සේ ආපහු ගියා බස් එක ඇතුලට."
"ඇතුලට ගියාට පස්සේ ඒ ළමයාගේ අම්මාද කියලා දන්නේ නැහැ හිටපූ කෙනෙක් එක්ක ආවා එළියට. කොන්ඩේ තමයි ඇල්ලුණේ. ඒකෙන්ම ඇදන් එලියට අරන් ආවා. මුණ තුවාල වෙලා තිබුනේ ඒ කෙනාගේ. මගේ අම්මා ඉන්නවා කියලා ඒ ළමයා ආවා."
"ඊට පස්සේ මහත ළමයෙක්ව ගත්තා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 13-14ක් වගේ ඇති. ඒ ළමයාට වතුර පෙවිලා තිබුණේ. නමුත් පණ තිබ්බා. බේර ගන්න හැම කෙනාගේම මුලින්ම බැලුවේ පණ තියෙනවද කියලා. පස්සේ පෙවිලා තිබුන වතුර ටීක එලියට ගන්නා ට්‍රයි කළා. ඒ අතරේ මිනිස්සු එක එක පැතිවලින් බහිනවා වැටුන මිනිස්සුන්ව බේර ගන්න. "
"මම බස් එකේ වාඩි වෙලා හිටපු තැන කපල් එකක් හිටියා කියලා මතක් වුණා. ඒ අයට මොනවා වෙලාද කියලා හිතිලා බලන්න ආපහු බැස්සා. ඇතුලට ගියාට කිසිම දෙයක් පෙන්නේ නැහැ. බස් එකේ උඩ එල්ලිලා යටට කකුල් දාලා ටච් කරලා බලනවා කට්ටිය ඉන්නවද කියලා. එහෙම බලලා හිටපු අයව එලියට ගත්තා."
"වයසක සීයා කෙනෙක් හිටියා. එයා බස් එකේ හිරවෙලා හිටියේ. එයාව එලියට ඇදලා ගන්න ට්‍රයි කළා. එතකොටත් එයා නැතිවෙලා හිටියේ. පස්සේ තව අයියා කෙනෙක් එහා පැත්තෙන් ගිහිල්ලා ඒ සීයගේ කකුල් එලියට ගන්න ඇදලා දුන්නා. තව ටිකක් මහත ඇන්ටි කෙනෙක් හිටියා. එයත් නැතිවෙලා හිටියේ."
"තව අයියලා කිහිපදෙනෙක් හිටියා. අහුවෙන අහුවෙන කට්ටිය බේර ගත්තා. ගන්න පුළුවන් විදිහට කට්ටිය එලියට ගත්තා. බස් එකේ කවුරුත්ම නැහැ කිව්වට පස්සේ අන්තිම වතාවටත් බස් එකට බැහැලා බැලුවා. කවුරුත් හිටියේ නැහැ."
‘බස් එක සම්පුර්ණයෙන්ම වතුරෙන් පිරිලා ගියා’
"බස් එක වැටිලා වතුර පිරිගෙන එනකොට මැරුණා තමයි කියලා හිතුණා. බයක් හිතුනා. මට කෝල් එකක් ගන්න ඕන වුණා. මට පොඩි පුතෙක් ඉන්නවා, පුතාට තාම වයස අවුරුද්දයි මාස 08යි. පුතාටයි වයිෆ්ටයි කතා කරන්න හිතුනා මම මැරෙන්න යන්නේ, එහෙම කියන්න හිතුනා. ෆෝන් එක බැලුවා ඒත් ලඟ තිබුනේ නැහැ. "
"උඩට ආවට පස්සේ මට හුස්ම ගන්න පුළුවන් වුනාම මට හිතා ගන්න බැරි වුනා මොකක්ද වුනේ කියලා. මම බේරිලා ඉන්නවා. අර ළමයා අඬද්දී අම්මා නැහැ කියලා, ඒත් අම්මා කෙනෙක් නේද කියලා හිතුණා. ආයේ හිතුවේ බැලුවේ නැහැ. යටට ගිහිල්ලා පුළුවන් විදිහට කට්ට්ටිය බේර ගත්තා." යනුවෙන් අනතුරට මුහුණ පා දිවිබේරා ගත් යුද හමුදා සෙබළ නිසල් අචින්ත්‍ය බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම විස්තර කළේය.
රියදුරා ජූලි 24 වැනිදා දක්වා රිමාන්ඩ්
මෙම බස් රථ අනතුරින් තුවාල ලබා පොළොන්නරුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන රොහාන් නැමැති පුද්ගලයෙකු ද බීබීසි සිංහල සේවයට පැවසුවේ බස් රථය ඔයට වැටීමෙන් පසු තමන් ඉන් පිටතට පැමිණ ආධාර ඉල්ලා කෑගැසූ බවත් අවට සිටි ජනතාව බස් රථයේ සිටි මගීන් මුදවා ගැනීමට ඉදිරිපත් වූ බවයි.
" මම ඊයේ සවස 7.30 ට වගේ විතර සෙවණපිටියට යන්න කියලා බස් එකට කදුරුවෙලින් නැග්ගා. බස් එකේ මගීන් 60කට ආසන්න සංඛ්‍යාවක් හිටියා. බස් එක සාමාන්‍ය වේගයකින් ධාවනය වෙමින් තිබුණේ."
"පාලමෙන් දාද්දි එක පාරම බස් එක ගැස්සිලා පාරෙන් පිට පැනලා ඔයට පෙරළුනා. දුණු කොලයක් කැඩුනා කියලා තමයි අපිට ආරංචිය ලැබුණේ."
"ඊට පස්සේ මොකුත් නැහැ බස් එකේ ඉස්සරහා වින්ස්ක්‍රීන් එක කැඩිලා තිබුණා. මම එතනින් පීනලා උඩට ආවා. මම උඩට ඇවිල්ලා කෑගහලා එතන හිටපු අනිත් අයට කිව්වා බස් එකේ හිරවෙලා ඉන්න මිනිස්සු බේර ගන්න කියලා."
"ඒ එක්කම හිටපු අනිත් මිනිස්සුන්ව ඊට පස්සේ සිවිල් මිනිස්සු ඇවිල්ලා ඒ අයගේ උදව්වෙන් ගොඩට ගත්තා. ඊට පස්සේ මම රෝහලට ආවා."
"තව කිහිප දෙනෙක් නැති වෙලයි කියලා ආරංචියක් තියෙනවා. නමුත් මම ඒ ගැන හරියටම දන්නේ නැහැ." ඔහු පවසා සිටියේය.
මෙලෙස තුවාල ලද පිරිසෙන් අද (ජුලි 10 වෙනිදා) පස්වරුව වන විට පොළොන්නරුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ පුද්ගලයින් 17 දෙනෙකු පමණක් බව එහි ගිය අප වාර්තාකරු පැවසුවේය.
අනතුරට පත්වූ බස් රථය ධාවනය කළ රියැදුරු අත්අඩංගුවට ගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරන ලදී.
මේ අතර මියගිය පුද්ගලයින්ගේ දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පොලොන්නරුව ශික්ෂණ රෝහලේ දී අද සිදුකළ බව ද අප වාර්තාකරු පැවසුවේය.
මෙම අනතුරෙන් මියගිය පිරිස අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන් අද දිනයේදී භාර දීමට නියමිතව තිබු නිබන්ධනයක් රැගෙන විශ්ව විද්‍යාලය වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව ඔවුන්ගේ ඥාතින් පැවසීය.
මියගිය පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ගේ සහ කාන්තාවකගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැත.