ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසන්ත මුදලිගේ සිරගත කර දින 150යි:අත්තනෝමතික රඳවා තබාගැනීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන 7කින් රජයට බලපෑම් !
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කර අදට (ජනවාරි 16 වැනිදාට) දින 150ක් සම්පුර්ණ වෙයි. ඔහු නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඇතුලු සංවිධාන අද කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ, වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකිරීමේ ප්‍රයත්නය තවත් තිව්‍ර කරමින්ය.
මානව හිමිකම් සංවිධාන 7කින් රජයට ඉල්ලීම්..!
මේ අතර වසන්ත මුදලිගේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහාම අවසන් කළයුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් අද (ජනවාරි 16 වැනිදා) අවධාරණය කළහ.
- ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
- මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA)
- CIVICUS
- පෙරටුගාමී ආරක්ෂකයින් (Frontline Defenders)
- හියුමන් රයිට්ස් වොච්
- ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම
- සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය යන සංවිධාන ඊට අයත්ය.
අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 07 ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, පෙන්වා දෙන්නේ, අවිහිංසාවාදී විරෝධතාවලට සම්බන්ධ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්තනෝමතික මෙලෙස රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්ත මර්දන නීති අනිසි ලෙස භාවිතා කිරීම ප්‍රකාශනයේ නිදහස, ඇසුරු කිරීම සහ සාමකාමී රැස්වීම යන අයිතිවාසිකම් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බවය.
රජයට එරෙහි විරෝධතාකරුවන් "ත්‍රස්තවාදීන්" සහ "ෆැසිස්ට්වාදීන්" බවටත්, පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ යළි විරෝධතා මතුවුවහොත් හදිසි නීතිය සහ හමුදාව යළි යොදවන බවටත් ජනාධිපතිවරයා තර්ජනය කර ඇතැයිද අදාළ සංවිධාන විසින් පෙන්වා දී ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ 2022 විරෝධතාවලට සහභාගී වූ බව කියන අනෙකුත් ක්‍රියාකාරීන් පසුපසද බලධාරීන් විසින් හඹා යමින් ඇති බවයි.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය නතර කළ යුතු අතර එය කඩිනමින් අවලංගු කළ යුතු බවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත.
සාධාරණ ඇප විභාග සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් සහතික කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින ඕනෑම අයෙකු රඳවා තබා ගැනීම සම්බන්ධයනේ බලධාරීන් වහාම සමාලෝචනය කළ යුතු බවත් අදාළ සංවිධාන අවධාරණය කළහ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන චෝදනාවලට මුහුණ දී සිටින සියලුම විරෝධතාකරුවන් ද නිදහස් කළ යුතු බව එම සංවිධාන පෙන්වා දෙති.
"ප්‍රකාශනයේ නිදහසට සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතියට ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන්ම ගරු කළ යුතුයි." අදාළ මානව හිමිකම් සංවිධාන අවධාරණය කළහ.
මර්දනයට බය නැහැ...!
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි අවධාරණය කළේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා අරගලකරුවන්ට එරෙහිව රජය ගෙන යන මර්දනයට රජය බිය නොවන බවයි “මර්දනයට ශිෂ්‍ය ව්‍යාපාරය බය නැහැ. මේ මර්දනයට අපි බය නැහැ.” උන්වහන්සේ අවධාරණය කළහ.
උන්වහන්සේ අවධාරණය කර සිටියේ “69 ලක්ෂයක් ඡන්ද ගත්තු, තුනෙන් දෙකක බලයක් ගත්තා කියලා පම්පෝරි ගහපු ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ රටේ ජනතාව පලවා හැරීමට උත්සහ කළා නම් කිසිම බලයක් නැති රනිල් වික්‍රමසිංහලට අපි කියනවා ඔය පම්පෝරි ගැහැලිවලට අපි බය නැහැ. ඔය නීතිය පාවිච්චිකරන මැදිහත් වීම්වලට අපි බය නැහැ.”
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොඩ්රිගූ පෙන්වා දුන්නේ වසන්ත මුදලිගේ දින 150ක්, මාස 05ක් සිරගතකර තබා ගෙන සිටින්නේ උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනා මත බවයි.
“උද්ඝෝෂණ කළා කියලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මාස 05ක් රඳවා තබා ගන්නේ මොන රටේද මොන ලෝකෙද කියලා අපි අහන්න කැමතියි.” ඔහු ප්‍රශ්න කළේය.
“මේ රටේ දැවැන්ත ජනතාවක් ඒ උද්ඝෝෂණවලට සහභාගි වුණා. වසන්ත සහෝදරය විතරක් නෙමේ. එතකොට කොහොමද වසන්ත සහෝදරයා විතරක් සිරකරලා තබාගෙන ඉන්නේ. ඒ නිසා වසන්ත සහෝදරයා නිදහස් කිරීමට අදාළ මැදිහත් වීම වහාම කරන්න කියලා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි බලකර සිටිනවා.”
වසන්තගේ නිදහස වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඇතුලු සංවිධාන පසුගිය සති කිහිපය තුළම විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය.
දැනට රක්ෂිත බන්ධනාගාරත කර සිටින වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්‍ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් (ජනවාරි 9 වැනිදා) පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්විණි.
ගාලුමුවදොරට පැමිණ සිටි පිරිස එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශවලට අත්සන් තැබූහ.
2021 වසරේ අගොස්තු 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ පැවැත්වූ විරෝධතාවක් අතරතුර වසන්ත මුදලිගේ ඇතුළු 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු හැර 15 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත ලබා ගත් රැඳවුම් නියෝගයකට අනුව වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි දින 90කට ආසන්න කාලයක් රඳවා තබා ගැණින.
අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් භාරයේ සිටි ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත ගුණතිලක පමණක් (ඔක්තෝබර් 7) වැනිදා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයෙන් මුදා හැරියේය. ඒ දින 50කට පසුවය.
හංවැල්ල කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, නාරාහේන්පිට ප්‍රදේශයේදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 2022 අගෝස්තු 22 වැනිදාය.
ඒ, 2022.06.09 වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමේ චෝදනා මතයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ නොවැම්බර් 23 වැනිදා නියෝග කරනු ලැබීය. ඒ, දින 108කට පසුවය.
මාර්ග අවහිරකර උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝග
කොළඹ මාර්ග අවහිරකර උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව බීබීසී සිංහල සමග පැවසුවේ කොම්පඤ්ඤ වීදිය හා මරදාන පොලිස් ස්ථාන මගින් එම අධිකරණ නියෝග ලබා ගෙන ඇති බවය.
ඒ අනුව යුනියන් පෙදෙස දෙසින් ගාලුමුවදොරට ඇතුලුවීම තහනම් කරමින් කොම්පඤ්ඤ වීදීය පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කොළඹ රෝහල් චතුරශ්‍රය හා අවට රෝහල්වලට බාධාවක් වන පරිදි ඩීන්ස් පාර - සීමන් හංදිය දක්වා මාර්ග සහ පදික වේදිකා භාවිත කළ නොහැකි පරිදි අවහිර කරමින් පවත්වන උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් මරදාන පොලිසිය විසින් ද අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇති බව ඔහු පැවසීය.