රක්ෂිත ප්‍රදේශ : උතුරේ ජනතාවට නැවත ඉඩම් දෙන ලැයිස්තුවට ජාතික වනෝද්‍යාන ඇතුළත් වූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, බීබීසී සිංහල
ගැසට් මගින් ජාතික වනෝද්‍යාන, අභය භූමි සහ ස්වභාවික රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති ආරක්‍ෂිත ප්‍රදේශවලින් නැවත නිදහස් කළ යුතු ඉඩම් ලේඛනයක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය හරහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.
එම ලේඛනයට අනුව චුන්ඩිකුලම, ඩෙල්ෆ්, ආදම්ගේ පාලම (සමුද්‍රීය ජාතික උද්‍යානය), මඩු සහ ලාහුගල - කිතුලාන යන ජාතික වනෝද්‍යාන වලට අයත් ඉඩම් ද ඇතුළත් වේ. එමෙන්ම වෙඩිතලතිව් හා නන්දිකඩාල් වැනි ස්වභාවික රක්ෂිතවලට අයත් ඉඩම් මෙන්ම කෝකිලායි සහ නගර්කෝවිල් වැනි අභය භූමිවලට අයත් ඉඩම් ද නිදහස් කළ යුතු ලැයිස්තුවට ඇතුළත් බව වාර්තා වේ.
මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද උතුරු හා නැගෙනහිර රක්ෂිත ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීමට අදාල ඉල්ලීමක් ලැබී අතර ඊට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව වන සංරක්ෂක ජනරාල් නිශාන්ත එදිරිසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.
උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවල යටතේ ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කළ ඉඩම් යළි නිදහස් කිරීමට අදාළ මෙම ඉල්ලීම් ඉදිරිපත්ව ඇත. දිස්ත්‍රික් ලේකම්වරු හරහා ලබාගත් තොරතුරු අන්තර් අමාත්‍යංශ කමිටුවක් හරහා සලකා බැලීමෙන් පසු ඉඩම් නිදහස් කිරීම සිදු කිරීමට නියමිතව තිබේ.
රජය නිදහස් කිරීමට සූදානම් වන, රක්ෂිත ප්‍රදේශවල ලැයිස්තුව බැලීමේ දී ජනතාවට නැවත ලබා දෙන බව කියන ඉඩම්වලට අමතරව වෙනත් පාර්ශවයන්ට ලබා දීමේ සුදානමක් පවතින ඉඩම් ද ඇතැයි යන සැකය මතුවන බව පරිසරවේදීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ජාතික වනෝද්‍යාන සහ ජාතික රක්ෂිත තුළ පුද්ගලික ඉඩම් තියෙනවා කියන එක බොරුවක්'
''පළවෙනි එක මෙච්චර කල් ඒවායේ මිනිස්සු හිටියා නම් ඒවා දෙපාර්තමේන්තුවල වැරදි. ඒ අය නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. දෙවැනි එක ජාතික වනෝද්‍යාන සහ ජාතික රක්ෂිත ලෙස හඳුන්වන ඒවා ඇතුළේ කොහොමත් පුද්ගලික ඉඩම් නැහැ. ඒවා ප්‍රකාශයට පත් කරන්නේ පුද්ගලික ඉඩම් සේරම පවරාගෙන. ඒ නිසා ජාතික වනෝද්‍යාන සහ ජාතික රක්ෂිත තුළ පුද්ගලික ඉඩම් තියෙනවා කියන එක බොරුවක්. තුන්වැනි කාරණය මිනිස්සුන්ට දෙන්නේ කියන මුවාවෙන් පිටස්තරයන්ට ඉඩම් දෙන්න පුළුවන්. වෙඩිතලතිව් ඉස්සෝ කොටු හදන්න අවසර ඉල්ලන්නේ කාලයක ඉඳන්. '' යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.
''අභය භූමියක් ඇතුළේ පුද්ගලික ඉඩම් තියෙන්න පුළුවන්. නමුත් ඒවායේ ගොවිතැන් කිරීම, ගෙයක් හදා ගැනීම, පාරම්පරිකව කරගෙන යන කටයුතු දැනටමත් කරගෙන යනවා. ඒකට පනතේ හත්වැනි වගන්තියයට යටත්ව අවසර දෙනවා. එතකොට මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා අභය භූමි බෙදලා දෙන්න යනවා කියන එක කිසිසේත් පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මෙතනින් පේනවා ඊට වැඩිය එහා ගිය යම්කිසි දේකට මේවා දෙන්න යනවා කියලා මිනිස්සුන්ට මුවා වෙලා.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් විස්තර කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු පළාතේ පිහිටි ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය සහ වෙඩිතලතිව් ස්වභාවික රක්ෂිතය ආදිය ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර කර තිබෙන්නේ රජය විසින්ම 2009 දී සකස් කළ 'උතුරේ ක්‍රමෝපායික පාරිසරික තක්සේරුවට' අනුවය. උතුරේ මිනිස්සුන්ට බෙදිය යුතු ඉඩම්, ජලජ ජීවි වගාව සඳහා යොදා ගතහැකි ඉඩම් ආදිය ඉවත් කර වැදගත්ම පරිසර පද්ධති රක්ෂිත බවට එහි දී ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින් විද්‍යාත්මක පදනමක් මත, පුළුල් අධ්‍යනයකින් පසු ස්ථාපිත කරන ලද රක්ෂිත ප්‍රදේශ යළි ජනතාවට බෙදා දීමේ තීරණය කොතරම් ඥානාන්විත වන්නේ දැයි ගැඹුරින් විමසා බැලිය යුතු කරුණකි.
''වෙඩිතලතිව් හි ඉස්සන් වගාව සඳහා ඉඩම් වෙන්කර ගැනීම 2017 රනිල් වික්‍රමසිංහ අගමැති කාලේ ඉඳලා උත්සාහ කරපු දෙයක්. ඒක ජනතාවට දෙන්න නෙමෙයි, ලොකු සමාගම්වලට දෙන්න හැදුවේ. ආදම්ගේ පාලම තියෙන උද්‍යානය කියන්නේ ජන ශුන්‍ය දූපත්. ඒවගේම සංක්‍රමණික පක්ෂීන්ගේ ගමන් මාර්ගයේ වැදගත් භූමි ප්‍රදේශයක් සහ මුහුදු ලිහිණි විශේෂ 11ක ලංකාවේ සුවිශේෂී ගහන හමුවන එකම ස්ථාන ටික. ආදම්ගේ පාලම ජාතික උද්‍යානයක් කළෙත් විශේෂයෙන් මේ කුරුල්ලෝ ගැන හිතලා. ඊළඟට ලාහුගල-කිතුලාන ගැන කියනවා නම් මං පුංචි කාලේ ඉඳලා දන්නා ප්‍රදේශයක්. ඒක ජන ශුන්‍ය ප්‍රදේශයක්. ඒක තුළට 2021 දී අනවසරයෙන් අල්ල ගන්න ප්‍රදේශයේ ඉන්න මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙක් කටයුතු කළා. ඒ නිසා අපිට සැකයක් තියෙනවා මේක නීති විරෝධීව ඉඩම් අල්ල ගන්න දෙන පිදේනියක් ද කියලා.'' යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම ඉඩම් නිදහස් කිරීමට අදාල යෝජනාව ගැන අපි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ද විමසීමක් කළෙමු.
''ඉඩම් බැහැරට දෙන්න බලයක් වනජීවී දෙපාර්තමේන්තුවට නෑ. අපිට තියෙන්නේ ප්‍රතිපත්ති කාරණා අනුව අන්තර් අමාත්‍යාංශ කමිටුවේදී ගන්න තීරණ අනුව ඉඩම් දෙන්න තීරණයක් ගත්තොත් ඉඩම් කොමසාරිස් ජනරාල්ට ඉඩමක් භාර දෙන එක විතරයි. වෙන කාටවත් ඉඩම් බැහැර කරන්න බලයක් අපිට නෑ. අපේ සියලු ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරලයි තියෙන්නේ. ඒවායේ නැවත මායිම සංශෝධනය කරනව නම් පනතේ හැටියටමයි කරන්න ඕනා.'' යනුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර BBC සිංහල සේවයට සඳහන් කළේය.
මේ පිළිබදව වන සංරක්ෂක ජනරාල්වරයාගෙන් ද විමසන ලදී.
''ජනාධ්පතිතුමා කිව්වා 1985ත් වගා කරලා දැනුත් වගා කරනවා නම් ඒ ඉඩම් දෙන්න කියලා. 85 වගා කරලා දැන් කැලේ නම්, පුද්ගලික නෙවෙයි නම් ඒ ගැන තීන්දු ගන්නේ නැහැ. එහෙම කරනවා නම් පරිසර ඇගයීම් කරලා තමයි කරන්න වෙන්නේ.'' යනුවෙන් වන සංරක්ෂක ජනරාල්වරයා BBC සිංහල සේවයට සඳහන් කළේය. කෙසේ නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින රක්ෂිත වලින් නිදහස් කිරීමට ඉල්ලා ඇති ඉඩම් මොනවාද යන්න මෙතෙක් දැන ගන්නන්ට ලැබෙන්නේ නැත.
ජනාධිපති රනිල්ට ඡන්දයට වැදගත් 'උතුරේ සාධකය'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උතුරු සහ නැගෙනහිර ඉඩම් ගැටලු විසඳන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ දේශපාලන පක්ෂ වෙත ප්‍රතිඥාවත් ලබා දී තිබේ. එමෙන්ම වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පවතින දීර්ඝ කාලයක් ජනතාව පදිංචිව සිටින හෝ කෘෂිකාර්මික කටයුතුවල නිරත ඉඩම් ගැටලු විසඳීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ද ගෙන ඇත. එහි මූලික අදියර ලෙස යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ගැටලු නිරාකරණයට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි 2023 ජනවාරි 23 වැනි දා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළාය.
රක්ෂිත ආශ්‍රිත ඉඩම් ගැටලු සෑම දිස්ත්‍රික්කයකම පවතින නමුත් ඉහත සදහන් දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට හේතු ලෙස කැබිනට් මණ්ඩලය දක්වා තිබෙන්නේ වනාන්තර බහුලව පැවතීම සහ යුද්ධයෙන් පීඩා විදීම යන නිර්ණායක සැලකිල්ලට ගත් බවය. යුද්ධයෙන් පීඩා විඳින ලද ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් අයිතිය නැවත ලබා දීම ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ ජනප්‍රිය මාතෘකාවකි. නමුත් ආරක්ෂක අංශ හෝ ව්‍යාපාරිකයින් අත්පත්කරගත් උතුරේ ඉඩම් සියල්ල මේ දක්වා මුල් පදිංචිකරුවන්ට භාර දී නොමැත.
උදා වූ 2024 වර්ෂය ද මැතිවරණ වසරකි. රටේ නීතිය අනුව මේ වසරේ දී ජනාධිපතිවරණයක් පැවැත් විය යුතු අතර මහ මැතිවරණයක් ගැන ද ඉඟි පළ වී තිබේ. එවැනි පසුබිමක් මත රක්ෂිතවලට පවරාගත් ඉඩම් නැවත ලබා දීමේ කතිකාව උතුරේ ජනතාවගේ ඡන්දය දිනා ගැනීමට සහ දෙමළ දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට දේශපාලනික වශයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉතා වැදගත් සාධකයක් වනු ඇත.
'ආරක්ෂක අංශ සහ හෝටල් වලට ගත්ත ඉඩම් නොදෙන්නේ ඇයි?'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය මගින් නිදහස් කිරීමට ඉල්ලා ඇති ඉඩම් ලේඛනයේ ආරක්ෂක අංශවලට හිමිවන ස්ථාන ද ඇතුලත් වේ.
උතුරු සහ නැගෙනහිර මුල් පදිංචිකරුවන්ට යළි ඔවුන්ගේ ඉඩම් ලබා දීම සදාචාරවත් සමාජයකට එරෙහි විය නොහැකි කරුණකි. නමුත් ඒ ක්‍රියාවලිය හරහා ඇතිවන පාරිසරික බලපෑම ලඝු කොට තැකීමේ හැකියාවක් ද නැත. ඊට හේතුව කිසියම් භූමියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව රක්ෂිත ප්‍රදේශයක් බවට ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේ එම පරිසර පද්ධතයේ වටිනාකම සැලකිල්ලට ගැනීමෙන් පසුව බැවිනි.
''මිනිස්සු පදිංචි වෙලා හිටපු තැන් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් දැන් තියෙන්නේ ආරක්ෂක අංශ යටතේ. සමාගම් යටතේ තව කොටසක් තියෙනවා. උතුරු හා නැගෙනහිර වෙරළ තිරය ගත්තොත් හෝටල් සඳහා පාරම්පරික ඉඩම් විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. ඇයි මිනිස්සුන්ගෙන් කොල්ලකාපු ඒ ඉඩම් නොදී මේ අයට ඕනා ඉඩම් විතරක් ආපහු වෙනස් කරන්නේ. එතකොට අර ඉඩම්වලට මොකද වෙන්නේ? '' යනුවෙන් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර කියා සිටියේය.
වනජීවී ඇමතිනිය ගමටත් සළකයි
1985 හෝ ඊට පෙර සිට ජනතාව භුක්ති විඳින ලද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස ගැසට් මගින් ප්‍රකාශට පත්කර තිබුණ ද එම ඉඩම් මුල් හිමිකරුවන්ට පවරා දීමට රජය කටයුතු කරගෙන යනු ලැබේ.
ඒ යටතේ ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් නොවූන ද පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ද රක්ෂිතවල පවතින ඉඩම් ගැටලු විසඳා ගැනීමට අවස්ථාව උදා වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ, බලංගොඩ රජවක රක්ෂිතය හා රත්නපුරයේ අනෙකුත් නීතියෙන් ආරක්‍ෂිත ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින ඉඩම්වල ගැටලු විසඳීම සඳහා සාකච්ඡාවක් 2023 නොවැම්බර් 23 වැනි දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ වන ගහනය 32% වැඩි කිරීම රජයේ ඉලක්කයක් බවට පත්ව තිබේ.
නීතියෙන් ආරක්ෂාව ලැබුන ද බොහෝ පරිසර අද තර්ජනයට ලක්ව ඇති බව නොරහසකි. එබැවින් ජනතාවට සහන සැලසීම සහ පරිසරයේ තුලනාත්මක බව රැක ගැනීමට දැන් රජයට ඇති තවත් අභියෝගයකි.














