ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය: "ඉල්ලන පාරේ යන්නේ ටිකට් අරගෙන ද ?"

ඡායාරූප මූලාශ්‍රය, වනජීවී අඩවි සහකාර වෘතිකයන්ගේ සංගමය
- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, බීබීසී සිංහල
සිංහරාජය හරහා යන ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් මතු වූ විරෝධය මෙන් තවත් විරෝධයක් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් මතුවෙමින් පවතී.
ඒ, ශ්‍රී ලංකාවේ වියළි කළාපය තුළ පිහිටි එකම තෙත් බිම් ජාතික ජාතික වනෝද්‍යානය වූ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් කිලෝ මීටර 13 ක් දිග මාර්ගයක් ජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස දේශපාලන අධිකාරිය විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද දැනුම් දීම හේතුවෙනි.
මෙය නීති විරෝධී ක්‍රියාවක් මෙන්ම පරිසර විනාශයට නව මාර්ගයක් විවෘත කිරීමක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන්ට පෙන්වා දී ඇතත් ඊට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බව වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්.ජී වීරසේන බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
''වස්ගමුව ජාතික වනෝද්‍යානයේ ඉඳලා සෝමාවතිය දක්වා අලි යන කොරිඩෝ එක මේක. අංගමැඩිල්ල, මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානවලට සහ ත්‍රිකෝණ මඩු රක්ෂිතය දක්වා අලි ඇතුළු වන සතුන් හුවමාරු වෙන්නේ මේක හරහා. ඒ මැද්දෙන් පාරක් දාල ඇතිවෙන ප්‍රශ්න ගැන හිතන්නේ නැද්ද? මේක මිනිස්සුන්ගේ ඉල්ලීමක් විදියට ඉදිරිපත් වුණාට වැලි නිධිය හා වෙනත් දේවල් ඉලක්ක කර ගත්ත යෝජනාවක් වෙන්නත් පුළුවන්.'' යනුවෙන් ඔහු වැඩිදුරත් පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, වනජීවී අඩවි සහකාර වෘතිකයන්ගේ සංගමය
'විල් අලින්ගේ' තෝතැන්න
මහවැලි ගඟේ පිටාර ජලයෙන් පෝෂණය ලබන විල්ලු සහිත තෙත්බිම් පරිසර පද්ධතියක් වන ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ශ්‍රී ලංකාවේ 'විල් අලි' ලෙස හැඳින්වෙන අලි උප විශේෂය දක්නට ලැබේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට වනාන්තර අක්කර ලක්ෂයකට වඩා එළිපෙහෙළි කිරීම නිසා ඉන් අවතැන්වන වනසතුන් සඳහා මෙම ජාතික වනෝද්‍යානය ඇතුළු වනෝද්‍යාන කිහිපයක් ප්‍රකාශයට පත්කර කෙරුණි.
1984 වසරේ අගෝස්තු 07 දිනැති අංක 309/4 දරන ගැසට් පත්‍රයේ පළවූ නියෝගයක් මගින් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර තිබේ.
'යක්කුරේ' ට යන පාර
මනම්පිටිය පාලම අසළින් ආරම්භ වන, මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ සහ නුවරගල දෙසට ගමන් කරන පැරණි මාර්ගයක් විය..
එහෙත් 1984 දී මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දැමුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඊට විකල්පයක් ලෙස ජනතාවගේ ගමන් පහසුව සඳහා සිරිපුර හරහා වැටි ඇති පොළොන්නරුවේ සිට මහියංගනය දක්වා දිවෙන කාපට් ඇතිරූ මාර්ගය භාවිතයට ගන්නා ලදී.
වසර 36ක් වල්බිහිවූ මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කර ජනතාවට විවෘත කිරීමේ උත්සාහයට රොෂාන් රණසිංහ සහ විමලවීර දිසානායක යන අමාත්‍යවරු මැදිහත්වී සිටිති.
ඊට අදාළ සාකච්ඡාවක් නොවැම්බර් 15 දින ද පොළොන්නරුවේ දී පැවැත්විණි.

ඡායාරූප මූලාශ්‍රය, වනජීවී අඩවි සහකාර වෘතිකයන්ගේ සංගමය
''ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක්''
''මේ මාර්ගය 2005 දක්වා ජනතාව භාවිත කළ එකක්. බෝක්කු සේරම දාලා මේක මහවැලි ප්ලැන් එකේ තියෙන මාර්ගයක්. පරිසරයත් ආරක්ෂා වෙන පරිදි ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම අපේ යුතුකමක්. ජාතික වනෝද්‍යාන හරහා ලංකාවේ තියෙන එකම මාර්ගය නෙමෙයි මේක. කොළඹ ඉන්න NGO දන්නේ නෑ පොළොන්නරුවේ ඉන්න මිනුස්සුන්ගේ ප්‍රශ්න. මේකත් ලංකාගම ප්‍රශ්නය වගේම තමයි. '' යනුවෙන් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
ඔහු මෙන්ම විමලවීර දිසානායක අමාත්‍යවරයා ද අවධාරණය කරන්නේ මෙය ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක් බැවින් එය ඉටු කළ යුතු බවය.
''ඒක අලුත් පාරක් නෙමෙයි. යුද්දෙ කාලේ යන්නඑන්න බැරුව වහපු පාරක්. මහාමාර්ග ඇමතිතුමාගෙන් ජනතාව ඉල්ලලා තියෙනවා ඒ පාර ඇතුළු තව පාරවල් ගණනාවක් විවෘත කරන්න කියලා. මම සහ අපේ ඇමතිවරු ගණනාවක් ගිය වෙලාවේ නැවත ඕක ඉදිරිපත් වුණා. යක්කුරේ පීඩිත ජනතාවගේ සානුකම්පිත ඉල්ලීමක් අනුව තමයි මේ පාර දෙන්නේ.'' යනුවෙන් විමලවීර දිසානායක අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට අදහස් පළ කළේය.
වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන ඔහු වැඩිදුරටත් මෙලෙස කියා සිටියේය.
''රෑට ඒ ගම්වල අලි ගහලා, සර්පයෝ කාලා විවිධ හේතු මත මිය ගිහිල්ලා තියෙනවා විශාල පිරිසක්. ඒ සියල්ල සලකලා පාර කාපට් කරන්නේ නැතුව, තාර දාන්නේ නැතුව ප්‍රතිසන්කරණය කරලා පාවිචිචියට ගන්න ඉඩ දෙනවා. ඒ පාර පාවිච්චි කරන්න පුළුවන් යක්කුරේ සහ අවට ගම්මානවල අයට විතරයි. හවස හයට පාර වහන එකත් අපේ කොන්දේසියක්.''
''හැමෝම ටිකට් අරගෙනද පාරේ යන්නේ?''
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ (Fauna and Flora Protection Ordinance), 2(1) වගන්තිය යටතේ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර ඇත.
එම පනත අනුව ජාතික වනෝද්‍යානය ස්ථාපනය කරන අවස්ථාවේදී පැරණි මාර්ගයේ අයිතිය ජනතාවට ඉතිරි කර තිබුණ ද අනුයාතව අවුරුදු දෙකක් එය භාවිත නොකළානම් ඒ අයිතිය අහෝසි වන බව පනතේ තුන්වන වගන්තියේ සඳහන්ව ඇතැයි ජ්‍යේෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේය.
''එතකොට මේක ප්‍රකාශයට පත් කරලා අවුරුදු 36කට පස්සේ ඒ අයිතිය ආපහු නැවත ඉල්ලන්න නීතියට අනුව කිසිම කෙනෙකුට බෑ. අනිත් කාරණාව තමයි ජාතික වනෝද්‍යානයකට කෙනෙකුට ඇතුළු වෙන්න පුළුවන් පනතේ 05 වගන්තියේ තියෙන කාරණා වලට විතරයි. ඒ කියන්නේ විනෝදාස්වාදයට සතුන් නැරඹීමට හෝ අධ්‍යයන හෝ පරීක්ෂණ සඳහා පමණයි. ඒකට ඇතුළු වෙන්නත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් ගන්න ඕනා. එතකොට හැමෝම ටිකට් අරගෙනද පාරේ යන්නේ.'' යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
''දේශපාලනඥයෝ කවුරුහරි කියනවනම් මෙහෙම තීන්දු ගන්න කියලා අපිට නිලධාරීන්ට කියන්න සිද්ධ වෙනවා ගිය සතියේ දීපු අපි විල්පත්තුව කියල හඳුන්වන නඩු තීන්දුව නැවත කියවන්න කියලා. දේශපාලනඥයන්ගේ ඉල්ලීම හෝ බලපෑම මත තමන් වැරදි තීරණයක් ගත්තොත් අන්තිමට අත්සන වැදෙන්නේ තමන්ගේ. ඒක නිසා කවදාහරි දවසක අධිකරණයක් ඉදිරියේ හෝ කොමිසමක් ඉදිරියේ වරදකරු වෙන්නේ තමන්.'' යනුවෙන් නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේය.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රතිචාරය
සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් ද බීබීසී සිංහල සේවය විමසීමක් කළේය.
''පාර විවෘත කරන්න කියලා පොළොන්නරුවේ තිබුණු රැස්වීමකදී ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ අපි කිවුවා මේක කරන්න නුසුදුසු දෙයක් කියලා. නමුත් අර ඇමතිතුමා ප්‍රතිපත්තිමය වශයෙන් කිවුවා ඒ ගැන හොයලා බලන්න කියලා. ඒ අනුව හොයලා බලනවා අපි.'' යනුවෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.








