රජයේ මාධ්‍ය හැඳුනුම්පත: මාධ්‍යවේදීන්ට අත්‍යවශ්‍ය ද?

ඕනෑම රටක ජනතාව තොරතුරු දැනගැනීමේ අභිලාෂයෙන් පසුවෙති. එම ජනතාවට අදාළ තොරතුරු ගෙන ඒම සඳහා සක්‍රීයව කටයුතු කරන්නේ ජනමාධ්‍යවේදියා ය.

විවිධ ක්ෂේත්‍ර පිළිබඳ ජනතා අභිලාෂයන් හඳුනාගෙන ඊට අදාළ වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්, තොරතුරු ගෙනඒමේ කාර්යයේ දී සුවිශේෂී මෙහෙයක් ඉටු කරති.

එනිසා, මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ වෘත්තීය කටයුතු සිදුකර ගෙන යෑම සඳහා පිළිගත් හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ.

ලෝකයේ බොහෝ රටවල මාධ්‍ය ආයතන ඔවුන්ගේ මාධ්‍යවේදීන් වෙත හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකරන අතර, ඇතැම් රටවල ජනමාධ්‍ය සංගම් විසින් ඒවා නිකුත් කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැඳුනුම්පත

ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, නිසි බලධරයා ලෙස කටයුතු කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව ය.

සෑම වසරකම 6,000කට ආසන්න පිරිසකට මෙම හැඳුනුම්පත් නිකුත් කරන බවත්, ඊට ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල සේවය කරන කැමරා ශිල්පීන්, කාර්මික අංශ ශිල්පීන් ද ඇතුළත් බව බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ජයතිස්ස ගමගේ පැවසුවේ ය.

මාධ්‍ය හැඳුනුම්පත රජය විසින් නිකුත් කිරීමට අදාළ නීතිය කුමක් ද?

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරුණු විමසීමක් සිදු කළේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටියේ, දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන්නේ එහි වාර්ෂික සැලැස්ම යටතේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස බව ය.

එමෙන්ම, ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ගැසට් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිකුත් කරනු ලැබුවේ කුමන නීතියක් යටතේ ද යන්න එහිදී ප්‍රශ්න කර තිබුණි.

ඊට පිළිතුරු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කරනුයේ ව්‍යවස්ථාපිත නීතියකට අනුව නොව ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනුමත කාර්ය පටිපාටිය යටතේ බව ය.

නීතියක් හෝ නිර්ණායකයක් නැහැ

මේ සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන බීබීසි සිංහල සේවය වෙත ප්‍රකාශ කළේ, එම ගැසට් නිවේදනය මඟින් ඇතැම් මාධ්‍ය ආයතනවලට වෙනස්කොට සැලකීමක් සිදුකර ඇති බව ය.

"පළවෙනි එක තමයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දැනට ජනමාධ්‍ය හැඳුනුම්පත කියලා එකක් නිකුත් කරනවා. එගොල්ලෝ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා, ඒ ගැසට් නිවේදනයේ තියෙනවා ප්‍රධාන මාධ්‍යවලට, වෙබ් සයිට්වලට හැඳුනුම්පත් කීයක් දෙනව ද කියලා. ඒ ගැසට් නිවේදනය මඟින් සමහර මාධ්‍ය ආයතනවලට වෙනස්කොට සැලකීමක් කරලා තියෙනවා, විශේෂයෙන් වෙබ් මාධ්‍යවලට."

"ලංකාවේ කිසිම නීතියක් නැහැ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ජනමාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කරන්න කියලා. නිර්ණායකයක් ඇත්තෙත් නැහැ. අපි ඒ ගැන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසීමක් කළාම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒක තහවුරු කළා. ඕක ආණ්ඩුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් විසින් අත්සන් කරනවා, එතකොට එක පැත්තකින් ආණ්ඩුවට විරුද්ධව මොකුත් කරන්න බැහැ වගේ එකක් තමයි එන්නේ."

"සාමාන්‍යයෙන් ලෝකයේ ඇතැම් රටවල ජනමාධ්‍ය සංවිධාන, ජනමාධ්‍ය කොමිෂන් සභාවන් එකතු වෙලා මේ හැඳුනුම්පත නිකුත් කරනවා. නමුත් අපේ රටේ ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඒ සඳහා අවශ්‍ය නීතියක් නැහැ, ඒ වගේම නිසි ක්‍රමවේදයකට නොවේ. මේ ජනමාධ්‍ය හැඳුනුම්පත සමහර බුද්ධි අංශ නිලධාරින් සතුව තිබෙනවා. ඇතැම් ජනමාධ්‍ය ආයතනවල රියැදුරන්ට පවා මේක නිකුත් කරලා තිබෙනවා," ජයවර්ධන ප්‍රකාශ කළේ ය.

"අපි කියන්නේ මේ හැඳුනුම්පත නිකුත් කිරීම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නතර කරන්න ඕන. එයාලට බැහැ මාධ්‍යවේදීන් කවුද කියන එක තීරණය කරන්න. තමන් සේවය කරන ආයතනය තමයි තීරණය කරන්න ඕන අදාළ කෙනා මාධ්‍යවේදියෙක් ද නැත්ද කියන එක. අපි පොලිස්පතිවරයාට ලිඛිත ඉල්ලීමක් කළා කිසිම වෙලාවක මාධ්‍ය හැඳුනුම්පත ප්‍රශ්න කරන්න එපා කියලා. නමුත් ඒකට මෙතෙක් පිළිතුරු ලැබුනේ නැහැ."

"අපි යෝජනා කරල තියෙනවා රටේ සියලුම ජනමාධ්‍ය සංවිධානවලට එකතු වෙලා ඒ හැඳුනුම්පත එම සංවිධාන හරහා නිකුත් කිරීමේ සාධාරණ ක්‍රමවේදයක් හදාගන්න ඕන කියලා. ඒ සම්බන්ධයෙන් මේ වෙන කොට ජනමාධ්‍ය සංවිධාන අතර සාකච්ජා පවත්වමින් තියෙනවා. ඒ මාධ්‍යවේදියෙක් කියා හඳුනා ගැනීමේ නිර්ණායක මොනවා ද යන්න ගැන තීරණය කිරීම ආදිය සම්බන්ධයෙන්," තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ ය.

තමන් ගොඩනගා ගැනීම මාධ්‍යවේදියා සතු කටයුත්තක්

ජනමාධ්‍යවේදීන් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියට අනුව කටයුතු කරමින් සිය වෘත්තීයභාවය ආරක්ෂා කර ගනිමින්, පෞරුෂත්වය ගොඩනංවා ගන්නේ නම් මාධ්‍ය හැඳුනුම්පතක අවශ්‍යතාවයක් පැන නොනගින බව, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

"මාධ්‍ය හැඳුනුම්පතේ අත්‍යවශ්‍යතාව පිළිබඳව මිශ්‍ර අදහසක් අපට තියෙන්නේ. ඒකට හේතුව, දැන් ඒ ඒ මාධ්‍යකරණය මත ඇතිවන ඇතැම් කේන්ද්‍රීය ප්‍රශ්න ගන්න පුළුවන් හේතුව විදිහට. දැන් ලංකාවේ මාධ්‍යකරණය මේ වෙනකොට මොනතරම් මට්ටමකට වෘත්තිය සහ ආචාර ධර්ම සහිත ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා නේ. එතකොට අපි දකිනවා ඇතැම් මාධ්‍යකරුවෝ මිනිසුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය කරනවා සහ ආචාර ධර්ම විරහිතව කටයුතු කරනවා. එතකොට පුරවැසියාට යම් කිසි අයිතියක් තියෙන්න ඕන මේ කවුද කියලා ප්‍රශ්න කරන්න."

"ඒ වෙලාවට මාධ්‍යවේදියාට තමන්ව හඳුන්වා දීමේ පත්‍රයක් තිබිය යුතු යි. හැබැයි ගුණාත්මක මාධ්‍යකරණයේ නිරතවන වෘත්තීය පෞර්ෂයක් තියෙන මාධ්‍යවේදියෙක්ට එහෙම දෙයක් අමුතුවෙන් උවමනා වෙන්නේ නැහැ, මිනිස්සු දන්නවා මේ අහවලා කියලා. ඒ තත්ත්වයට තමන්ව ගොඩනගා ගැනීම වෘත්තිමය සහ ආචාර සම්පන්න මාධ්‍යකරණයක් ඇතුළේ මාධ්‍යවේදියාගේ කාර්ය භාරයක්," ඔහු ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්වරයා පැවසුවේ, ජනමාධ්‍ය හැඳුනුම්පත රජය විසින් නිකුත් කිරීමේ දී රජය විවේචනයට ලක් කරන මාධ්‍යවේදීන් ඇතැම් විට එය ලබා නොගෙන සිටිමේ තත්ත්වයක් පැන නගින බැවින්, එම හැඳුනුම්පත නිකුත් කිරීමේ වගකීම කිසියම් ස්වාධීන සංවිධානයකට පැවරීම හෝ අදාළ මාධ්‍යවේදියා සේවය කරන ආයතනයට පැවරිය යුතු බව ය.

එමෙන්ම ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරන්නේ කාට ද යන්නත්, එහි ඇති වලංගුභාවය සම්බන්ධයෙන් රජය, ජනමාධ්‍ය සංවිධාන සහ ජනමාධ්‍ය ආයතන එක්ව සාකච්ජාකොට තීරණයකට එළඹීම වැදගත් බව ඔහු පැවසුවේ ය.

'රජයෙන් මාධ්‍ය හැඳුනුම්පතක් ගෙන වාර්තාකරණයේ යෙදීම රාජ්‍ය පක්ෂපාතිවීමක්'

රජයෙන් මාධ්‍ය හැඳුනුම්පතක් ගෙන වාර්තාකරණයේ යෙදීම රාජ්‍ය පක්ෂපාතිවීමක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

"පැහැදිලිවම රජයකින් ජනමාධ්‍ය හැඳුනුම්පතක් ගෙන වාර්තාකරණයේ යෙදෙනවා කියන්නෙම රාජ්‍ය පක්ෂපාති වෙන්න එපැ යි කියන එකනේ. එතකොට අපි රජයෙන් හැඳුනුම්පතක් දෙන කෙනෙක් විදිහටනේ ඉන්න වෙන්නේ."

"ලෝකයේ කොහෙවත් රජයෙන් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් දෙන ක්‍රමයක් නැහැ. මාධ්‍යවේදියෙක්ට හැඳුනුම්පතක් නිකුත් කරන්න ඕන එක්කෝ ආයතනයකින්. ඒකෙන් වෙන්නේ අදාළ පුද්ගලයාව මාධ්‍යවේදියෙක් හැටියට එම ආයතනය විසින් පිළිගෙන තිබෙනවා කියන එක. ලෝකයේ බොහෝ රටවල සිදුකරන්නේ එම රටේ පවතින ජනමාධ්‍ය වෘත්තීය සමිති විසින් මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීම සිදුකරනු ලබනවා. විශේෂයෙන් ජර්මනියේ වගේ රටවල."

"ඒ සංවිධානවල ඇති ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ආචාර්ය ධර්ම පද්ධතියට යටත් වෙනවා නම් ජනමාධ්‍යවේදියාට අදාළ හැඳුනුම්පත නිකුත් කරනවා. ඒකෙන් වෙන්නේ අදාළ මාධ්‍යවේදියා කිසියම් හෝ සමාජ විරෝධී ක්‍රියාවකට එක් නොවෙන බවට එම වෘත්තීය සමිතිය වගකියනවා. යම් හෙයකින් ඔහු අදාළ ජනමාධ්‍ය වෘත්තිය සමිතියේ නීතීන්ට ආචාර ධර්මවලට පටහැනිව කටයුතු කළොත් ඔහුට නැවත මාධ්‍යකරණයේ යෙදීමට අවසර ලැබෙන්නේ නැහැ."

"ආණ්ඩුවෙන් මාධ්‍ය හැඳුනුම්පත ලබා දුන්නා කියලා මාධ්‍යවේදියාට ගුටි කෑම, පහර කෑම නවතින්නේ නැහැ. ඉතිහාසය පුරාවට ආණ්ඩුවෙන් හැඳුනුම්පත ගත්ත අය තමයි ඝාතනය වුනේ සහ පහර කෑවේ. ඉතිං ආණ්ඩුවෙන් ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරන්න ඕන කියන තැන අපි නැහැ. අනිත් ඒක ඒ හැඳුනුම්පතට නිතිමය වලංගුභාවයක් ඇත්තෙත් නැහැ. මොකද මේක ඉදිරිපත් කරලා ආණ්ඩුවේ සිදුවන අක්‍රමිකතා ගැන විස්තර ගන්න පුළුවන් ද?" ඔහු ප්‍රශ්න කළේ ය.

"ආණ්ඩුව නිකුත් කරන ජනමාධ්‍ය හැඳුනුම්පත දෙන තැන ඉඳලම අවභාවිතා වෙනවා. ඇතැම් අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට, ජනමාධ්‍ය ආයතනවල රියැදුරන්ට පවා මේක නිකුත් කරලා තියෙනවා. මාධ්‍යවේදියා සේවය කරන ආයතනයට හෝ ඔහු නියෝජනය කරන වෘත්තීය සමිතියට අයිතියක් තිබෙන්න ඕන ඒ හැඳුනුම්පත නිකුත් කරන්න," ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ ය.

ජනමාධ්‍ය හැඳුනුම්පතක් අවශ්‍ය වන්නේ ඇයි?

නීතිඥවරියක මෙන්ම ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක ද වන දිල්රුක්ෂි හඳුන්නෙත්ති බීබීසි සිංහල වෙත පැවසුවේ, ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව ද මාධ්‍යවේදීන් සඳහා වන හැඳුනුම්පත දැඩි ලෙස නියාමනය කිරීමට උත්සාහ දරමින් සිටින බව ය.

"ඉන්දියාවේත් ප්‍රෙස් අයිඩින්ටි එක බොහොම දරුණු විදිහට මෙහෙ වගේම පාලනයකට ලක් කරන්න හදනවා. විරුද්ධ මතධාරී පුද්ගලයින්ට සහ ආයතනවලට නොදෙන විදිහේ තත්ත්වයක් තියෙනවා. මෙය ලංකාවට පමණක් විශේෂවූ කරුණක් නෙමෙයි. නමුත් එය හොඳම ක්‍රමය නෙමෙයි කියලයි අපි පිළිගන්නේ."

ජනමාධ්‍ය හැඳුනුම්පත අවශ්‍ය වන්නේ ඇයිදැ යි සොයා බැලීම අවශ්‍ය බව ඇය මෙහිදී ප්‍රකාශ කර සිටියා ය.

"විශේෂයෙන් පාර්ලිමේන්තු කටයුතු සහ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජා ආවරණය කරන්න, යුදමය තත්ත්වයක දී වාර්තාකරණයේ යෙදෙන්න වගේම විදේශගතව සිදුකරන මාධ්‍ය ආවරණයක් සඳහා යාමේ දී තානාපති කාර්යාලවලින් අවසර ගැනීමට මෙය අවශ්‍ය වනවා. දැන් මේ හැඳුනුම්පත පිළිගැනීමක් තියෙන තැනට පත්වෙලා තියෙන්නේ."

"උදාහරණයක් විදිහට ගත හොත් එංගලන්තයේ තියෙනවා British Association of Journalists කියලා සංගමයක්. ඒ සංගමය සහ UK Press Card Authourity කියන ආයතනය එක්ක එකතුවෙලා තමයි මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරන්නේ. පොලිසිය සහ රජයේ ආයතන ඒ හැඳුනුම්පත පිළිගන්නවා. UK Press Card Authourity කියන ආයතනය ස්වාධින එකක්. අත්‍යවශ්‍ය විදිහටම ඒ අයගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වසර දෙකක කාලයක් සඳහා එය ලබා දෙනවා."

"British Association of Journalists කියන සංගමය එයාගේ සාමාජිකයින් වගේම සාමාජිකයින් නොවන අයටත් ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීම සිදුකරනවා. නමුත් ලංකාවේ ජනමාධ්‍ය සංගම් විසින් මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරන්න ගියොත් තමන්ගේ සාමාජිකයින් නොවන අයට එය නිකුත් කරයිද කියන එක ගැන සාකච්ජා කළ යුතුව තිබෙන දෙයක්."

"එමෙන්ම එංගලන්තයේ දී ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරන්නේ තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මාධ්‍යකරණය හරහා උපයා ගන්නා අයවලුන්ටයි. එකේදී නිදහස් මාධ්‍යවේදීන්වත් අයත් වෙනවා. හැබැයි බ්ලොග් සහ ව්ලොග් කරණ අයට ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරන්නේ නැහැ," ඇය පැවසුවා ය.

ජනමාධ්‍යවේදීන් ලියාපදිංචි කළ යුතු ද?

ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය හැඳුනුම්පත නිකුත් කිරීම සම්බන්ධයෙන් 1985 වසරේ දී ඇමෙරිකාවේ නඩු කටයුත්තක දී ද කරුණු දැක්වීමක් සිදුකර තිබෙන බව නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති පැවසුවා ය.

ඇය ප්‍රකාශ කළේ, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය කඩවීම සම්බන්ධයෙන් එම නඩු විභාගයේ දී සිදුවූ මෙම අදහස් දැක්වීම ඉතා වැදගත් වන බව ය.

"1985 තරම් ඈත අතීතයේ දී කියනවා මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මේ ලයිසන් කරනවා කියන එක පටහැනියි කියලා America Court of Human Rights කියන එකෙන් අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකරනවා. ඒ සම්බන්ධයෙන් කොස්ටරිකා රජය විවාද කරනවා මාධ්‍යවේදීන් ලයිසන් කරන්න අවශ්‍යයි කියලා. ඒ ගැන දීර්ඝ වශයෙන් සාකච්ජා කරලා අවසාන නිගමනය විදිහට එන්නේ මහජනතාවට තොරතුරු ලබා දෙන්නේ මාධ්‍යවේදීන් නිසා සහ මාධ්‍යවේදියාට ලයිසන් එකක් නිකුත් කරනවා කියන එක අවැඩක් බව. එය අදහස් ප්‍රකාශ කිරීම යන අයිතියට සිදුවන බලපෑමක් බව එහිදී පෙන්වා දී තිබෙනවා."

"සාමාන්‍යයෙන් වෛද්‍ය හෝ නීති වෘත්තීය ලයිසන් කිරීම සාධාරණයි. මන්ද නිශ්චිත වෘත්තියක් සඳහා පුහුණුව ලබා ඇති බවට තහවුරු කිරීමට එය අවශ්‍ය බව එහිදී පෙන්වා දී තිබෙනවා. නමුත් ජනමාධ්‍ය කියන්නේ තොරතුරු සොයන, තොරතුරු එක්රැස් කරන, තොරතුරු බෙදා හරින තැනක්. අර අනෙක් වෘත්තීන් වගේ නෙමෙයි අදහස් ප්‍රකාශ කිරීම කියන මූලික අයිතිවාසිකම එක්ක පටලවා ගන්න එපා කියලා මේ නඩු තීන්දුවේ දී කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා."

"මේකෙන් පෙනී යන්නේ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් වූ පුළුල් සාකච්ජාවක් ඈත අතීතයේ සිට පවත්වා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් පත්කර තිබෙනවා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන්. ඔහු ඇතුළු තවත් සංවිධාන කිහිපයක් එක්ව මිට වසර 20කට පමණ ඉහතදී ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා ජනමාධ්‍යවේදීන් ලියාපදිංචි කරන්න අවශ්‍ය වන්නේ නැහැ කියලා," නීතීඥවරිය පැවසුවා ය.

ජනමාධ්‍යවේදීන් ලියාපදිංචි කිරීම කළ යුත්තේ කවුද?

ජනමාධ්‍යවේදීන් ලියාපදිංචි කිරීම කළ යුත්තේ කවුද යන මාතෘකාව සාකච්ජාවට බඳුන් විය යුතු බව දිල්රුක්ෂි හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

ඇය සඳහන් කළේ, ලංකාවේ පවතින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කරනු ලබන ස්වාධින ආයතනයක් බවට පිළිගත නොහැකි බවය.

"විශේෂයෙන් ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන්ට ඔවුන් විසින් හැඳුනුම්පත නිකුත් කිරීමක් කරන්නේ නැහැ කියලා සඳහන් වනවා. තරිඳු උඩුවරගෙදර, තරිඳු ජයවර්ධන ඇතුළු ගොඩ දෙනෙකුට මාධ්‍ය හැඳුනුම්පත දුන්නේ නැහැ කියලා, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පුද්ගලවාදීව ජනමාධ්‍ය හැඳුනුම්පත නිකුත් කරනවා කියලා චෝදනාවක් එල්ල වනවා."

"ඕනෑම මාධ්‍යවේදියෙක් රජය කරන වැරදි, හොද හෝ නරක සිදුවීම් වාර්තාකරණය කරනවා. එතකොට ඒ රජය යටතේම මාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගන්නවා කියන එක ඇතුළේ බැඳියාවන් අතර ගැටුමකට යනවා. අනෙක් ගැටලුව තමයි, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කොහොමද තහවුරු කරන්නේ මේ කෙනා මාධ්‍යවේදියෙක් කියලා? අදාළ පුද්ගලයා මාධ්‍යවේදියෙක් කියා තහවුරු කරන්න ඕන ඔහු සේවය කරන ආයතනය විසින්."

"ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා ස්වාධින ආයතනයක් නැහැ. නමුත් මේ වෙද්දී ජනමාධ්‍ය සංගම් හරහා එම හැඳුනුම්පත නිකුත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒක දැන් තියෙන තත්ත්වයට වඩා හොඳ දෙයක් කියලයි මා දකින්නේ. එම සංගම් හරහා මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත නිකුත් කරද්දී අවශ්‍ය වෙන කොන්දේසි සහ ආචාර ධර්ම පද්ධතිය වගේම ඊට අදාළ පියවර පිළිබඳ සාකච්ජා කර තීරණයකට එළඹීම වැදගත්," ඇය පෙන්වා දුන්නා ය.

ජනමාධ්‍යවේදියෙක්යැ යි හැඳින්වීමට ලොව පිළිගත් ක්‍රමවේදයක් තිබේ ද?

ජනමාධ්‍යවේදීන්ට යම් රටක රජයක් විසින් මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන අපි ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂකවරිය වූ ජේන් වර්තින්ටන්ගෙන් කරුණු විමසුවෙමු.

ඇය ප්‍රකාශ කළේ, ලෝකයේ ඇතැම් රටවල් විසින් ජනමාධ්‍යවේදීන් සඳහා තවමත් හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බව ය.

"මාධ්‍යවේදියෙකු විය යුත්තේ කවුරුන්ද යන්න හෝ අදාළ හැඳුනුම්පත නිකුත් කළ යුත්තේ කාට ද යන අවසන් තීරණය ගැනීමට රජය වගකිව යුතුයැ යි අප සිතන්නේ නැහැ. නමුත් බොහෝ රජයන් උත්සාහ කරනවා එය සිදුකරන්න. රජයන් මඟින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම ගැටලුකාරී ක්‍රියාවලියක්. මක්නිසාද යත් බොහෝ විට ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල රජය මෙය රටේ මාධ්‍ය ආවරණය පාලනය කිරීමට භාවිතා කරන අතරම මාධ්‍යවේදීන් ඉලක්ක කර ගැනීම සඳහා භාවිතා කරනු ලබනවා. එය අප අනුමත නොකරන ක්‍රියාවලියක්."

"ජනමාධ්‍යවේදියා කවුද කියා තිරණය කළ යුත්තේ ඔහු සේවය කරන ආයතනය විසින්. ආයතනය මඟින් හෝ ජනමාධ්‍ය සංගම් විසින් අදාළ හැඳුනුම්පත නිකුත් කරනු ලැබීමයි අප පිළිගන්නේ. සිය ව්‍යවස්ථාව මඟින් මාධ්‍ය නිදහස සහ භාෂණයේ නිදහස පිළිගෙන ඇති රාජ්‍යයකට මෙවැනි ආකාරයේ මාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම මඟින් එය දේශපාලනීකරණයකට වගේම පාලනය කිරීමට ලක් කිරීමක් කියා පෙන්වා දීමට කැමතියි."

ජනමාධ්‍යවේදියෙකු ලෙස නිශ්චිත ලෙස පිළිගැනීමේ ජාත්‍යන්තර ක්‍රමවේදයක් නොමැතිවීමම රජයන්ට භයානක වී ඇති බව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) ආසියානු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂකවරිය බීබීසි සිංහල සේවයට පැවසුවා ය.

"ජනමාධ්‍ය කියන විෂය පුළුල් පරාසයක් තුළ විහිදී තිබෙන දෙයක්. පාසැල් හෝ උසස් අධ්‍යාපනය හරහා ජනමාධ්‍ය වෘත්තියට එළඹෙන පිරිස් සිටිනවා. නමුත් එය පමණක් නොවේ, රැකියාවට අදාළව ලබන පුහුණුව මඟින් ජනමාධ්‍ය සංගමයක නියෝජිතයක් වීම හරහා ද ජනමාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්."

"ජනමාධ්‍ය සංගම් හරහා ලියාපදිංචි මාධ්‍යවේදියෙකු වීම පහසු කාර්යයක් නොවේ. එයට සම්බන්ධවන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂිත ක්‍රමවේදයකට මුහුණ දීමට සිදුවනවා. එමඟින් ජනමාධ්‍ය ආචාර ධර්ම සුරැකීම මෙන්ම එය ආරක්ෂා කිරීම කියන කරුණු ගැන වැඩි අවධානයක් යොමු කරනවා. එය පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් නිදහස් මාධ්‍යවේදීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අප සංගමය පෙනී සිටිනවා. ඔවුන්ගේ මාධ්‍ය හැඳුනුම්පත තමන් සිටින රටේ පවතින මාධ්‍ය සංගම් හරහා ඉල්ලුම් කොට ලබා ගන්න හැකියාව තිබෙනවා."

"මන්ද නිදහස් මාධ්‍යවේදීන් වාර්තාකරණයේ යෙදීමේ දී මාධ්‍ය හැඳුනුම්පත ලබා ගත යුතුය. එය ඔවුන්ගේ වාර්තාකරණයේ දී අත්‍යවශ්‍ය කරුණක්," ඇය පැවසුවා ය.