ධනවතුන්ගේ විලාසිතාවක් වී ඇති 'සුඛෝපභෝගී ජලය'

ඡායාරූප මූලාශ්‍රය, Milin Patel
- Author, සුනෙත් පෙරේරා
- Role, බීබීසී ලෝක සේවය
උසස් තත්ත්වයේ වයින් වීදුරුවක් වෙනුවට සුඛෝපභෝගී ජල වීදුරුවක් අඩංගු මෙනුවක් ලබා දෙන අවන්හලක් හෝ ෂැම්පේන් හෝ පළතුරු යුෂ වෙනුවට විසිතුරු ජල වීදුරුවක් ඔසවා නව යුවළට සවුදිය පුරන මංගල උත්සවයක් ගැන ඔබ කවදා හෝ අසා තිබේ ද?
ප්‍රශ්නගත ජලය, සම්මත ඛනිජමය ජලය හෝ නළ ජලයට වඩා වැඩි යමක් ලබා දෙන බවට සහතික වන අතර එවැනි ජල බෝතලයක් මිලට ගැනීමට ඔබට ඩොලර් සිය ගණනක් වැය කිරීමට සිදුවනු ඇත.
එය වයින් මෙන් මාළු සිට මස් වර්ග දක්වා විහිදෙන ආහාර සමග පිළිගැන්වනු ඇත.
ඉහළ මිලක් ඇති මෙම පානය 'උසස් තත්ත්වයේ ජලය (fine water)' ලෙස හඳුන්වන අතර ඒවා ලබා ගන්නේ ගිනිකඳු පාෂාණ, ග්ලැසියරවලින් හෝ තුෂර බිඳු වැනි ස්වභාවික ප්‍රභවයන්ගෙනි. ඒවා වළාකුළුවලින් පවා ඍජුව ම නිස්සාරණය කර ලබා ගත හැකි ය.
එවැනි සෑම ජල බෝතලයකට ම ඒවා ලබා ගන්නා ස්ථානයට අනන්‍ය ලක්ෂණ පවතින අතර, සාමාන්‍ය බෝතල් කළ ජලය මෙන් නොව, ඒවා සම්පූර්ණයෙන් ම පාහේ සැකසුම් ක්‍රියාවලියකට භාජනය නොවෙයි.
උසස් තත්ත්වයේ ජලය (fine water) දැන් ලොව පුරා වෙළෙඳනාම සිය ගණනක් යටතේ අලෙවි කෙරෙන අතර, ඒවා පිළිබඳව ඔබට උපදෙස් දිය හැකි විශේෂඥයින් පවා ඇත.
ජලයට රසයක් තිබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Milin Patel
වයින් රස බැලීම සේ ම, එක් එක් නිෂ්පාදන ඇගයීම සහ ඛනිජ ලවණ, රසය සහ මුඛයට දැනෙන ආකාරය අනුව ඒවා වෙන්කර හඳුනා ගැනීම ඔවුන්ගේ රාජකාරිය බවට පත් වුණු ජලය පිළිබඳ විශේෂඥ දැනුම ඇති (sommelier) පිරිස් සිටිති.
"වතුර කියන්නේ නිකම් වතුර විතරක් ම නෙවෙයි. අපේ ලෝකේ තියෙන හැම වතුර බින්දුවක් ම වෙනස්. ඒවාට රසයක් තියෙනවා," ලන්ඩනයේ තාවකාලික වෙළෙඳසලක් පවත්වාගෙන යන ජලය පිළිබඳ උපදේශකයෙකු සහ ජලය වෙන් වෙන්ව හඳුනා ගැනීමට දැනුමැති (sommelier) මිලින් පටේල් පැවසීය.
ඔහු නළ ජලය සහ බෝතල් කළ ජල ප්‍රභේද ඇතුළුව ජලය පිළිබඳව ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයින් සඳහා ජලය 'රස බැලීමේ' සැසි පවත්වයි.
පටේල් බීබීසීයට පැවසුවේ, තමන් විවිධ ජලය වර්ග සහ ඒවායේ රස පිළිබඳව ජනතාව, විශේෂයෙන් තරුණ පරම්පරාව දැනුවත් කිරීමේ මෙහෙවරක නිරත වන බව ය.
"මතක ද? අපි පාසලේදී ඉගෙන ගත්තා ජල චක්‍රය ගැන? වාෂ්පීකරණය, ඝනීභවනය සහ වර්ෂාව ඇති වන ආකාරය ගැන? ඒ කොහොම වුණත් අපිට එක තැනක් මග ඇරුණා. ප්‍රතිඛනිජකරණයට ලක්වීම (remineralisation)," ඔහු පවසයි.
"ඉතින්, මේ වැසි ජලය බිමට වැටුනට පස්සේ පොළොවට අවශෝෂණය කර ගෙන, විවිධ පාෂාණ වර්ග සහ පස් හරහා ගිහින් කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, සිලිකා වැනි ඛනිජ එකතු කර ගන්නවා. මෙම ක්‍රියාවලිය තමයි ජලයට ඛනිජවල රසය ලබා දෙන්නේ," පටේල් තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ස්වභාවිකව පොළව හරහා ගමන් කර නොමැති අයිස් කුට්ටි හෝ වර්ෂාව වැනි ප්‍රභවයන්ගෙන් ලැබෙන ජලයේ, සාමාන්‍යයෙන් උල්පත් සහ ළිංවලින් ලැබෙන ජලයට සාපේක්ෂව 'සම්පූර්ණ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය (TDS)' අඩු මට්ටමක පවතී.
පටේල් සතුව නළ ජලය සිට උසස් තත්ත්වයේ ජලය (fine water) දක්වා, බෝතලයක් පවුම් 250ක් (ඩොලර් 318) දක්වා මිලකට අලෙවි වන ලොව විවිධ ප්‍රදේශවලින් ලබා ගත් ජලය එකතුවක් ඇත. ඔහුගේ සැසිවාරවලදී පුද්ගලයෝ ඒවා රස බලා ඒවා එකිනෙක වෙනස් වන ආකාරය විස්තර කිරීමට උත්සහ කරති.
"අපි මිනිස්සුන්ට අවස්ථාව දීලා තියෙනවා, ජලය රසයක් නැති දෙයක් නෙමෙයි කියලා දකින්න. ඔබ ගවේෂණ කිරීමේ අරමුණින් සහ සිහිකල්පනාවෙන් ජලය පානය කරන්න පටන් ගත්තට පස්සේ, ඔබ පුදුමයට පත්වේවි ඒ ගැන විස්තර කරන්න ඔබට මොන තරම් වචන ගණනක් හිතට ඒවි ද කියන එක ගැන," පටේල් පැහැදිලි කළේ ය. "අපිට මෙන්න මේ ලස්සන වචන ගලාගෙන එනවා - මෘදු, ක්‍රීම් වගේ, පොපියන, වෙල්වට් වගේ, තිත්ත සහ ඇඹුල් වගේ වචන. මම ඒකට කියන්නේ, 'ජලය රස බැලීමේ විද්‍යාව (aquatasteology)' කියලා."
"ගොඩක් මිනිස්සු නිතර ම කියනවා - 'ඕහ්, මේක මට මගේ පොඩි කාලේ මතක් කරනවා,' මේක මට මම ගත කරපු නිවාඩු කාලයක් මතක් කරනවා' නැතිනම්, 'මේක මට මගේ මහගෙදර මතක් කරනවා'," ඔහු තව දුරටත් පැවසීය.
ජලය රස බැලීමේ තරග
'The Fine Water Society' නමැති සංසදය සෑම වසරක ම රැස් වන අතර, ලොව පුරා සිටින උසස් තත්ත්වයේ ජල (fine water) නිෂ්පාදකයින් එනම්, භූතානයේ සිට ඉක්වදෝරය දක්වා වන රටවල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර රස බැලීමේ තරග පවත්වයි.
මෙම වාර්ෂික සමුළුවට සහභාගි වන බොහෝ දෙනෙකු දුර බැහැර ප්‍රදේශවලින් ජලය රැස්කර නිෂ්පාදනය කරන පවුලක් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරවලට සම්බන්ධ පිරිස් වෙති.
"මුලදී ජලය රස බැලීමේ කටයුත්ත විහිළුසහගත දෙයක් විදිහට සැලකුවේ," ෆයින් වෝටර් සමිතියේ සහ The Fine Water Society සහ The Fine Water Academyහි සම-නිර්මාතෘ ආචාර්ය මයිකල් මාෂා පවසයි.
"මම මේ සමස්ත ක්‍රියාවලිය ම ආරම්භ කළේ, මීට වසර 20කට පමණ පෙර, මට මත්පැන් පානය නතර කිරීමට සිදු වූ අවස්ථාවේ," ඔහු බීබීසීයට පැවසීය. "වයින් බෝතලය එක පාරට ම ඉවත් කළා ම, මම මේසේ තියෙන අනිත් දේවල් දිහා බැලුවා. ඒ වෙලාවේ මම එක පාරට ම දැක්කේ තවත් බෝතලයක්, මම මීට කලින් එතරම් අවධානයක් යොමු නොකරපු. ඒකෙ තිබුණේ වතුර. මම හිතුවා සමහර විට මට කෑම බීම ගැන තියෙන කුතුහලය පාවිච්චි කරන්නත් ඒක වයින් වෙනුවට වතුරට අදාළ කරගන්නත් පුළුවන් වෙයි කියලා," ඔහු තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උසස් තත්ත්වයේ ජලය (fine water) හුදෙක් සජලනයට වඩා වැඩි යමක් සපයන බව ඔහුගේ විශ්වාසය යි: එය මිනිසුන්ට සුවිශේෂී යමක් ගවේෂණය කිරීමට, බෙදා ගැනීමට සහ භුක්ති විඳීමට අවස්ථාවක් සපයන අතර එය වයින්වලින් සැපයිය නොහැකි, දරුවන් සමග පවා ඔබට කළ හැකි දෙයකි.
උසස් තත්ත්වයේ ජලය (fine water) සඳහා දැන් වර්ධනය වන ඉල්ලුමක් පවතින බව ආචාර්ය මාෂා ප්‍රකාශ කරන අතර, ඊට හේතු වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමට ඇලුම් කරන තරුණ පරම්පරාව අඩුවෙන් මත්පැන් සහ කාබනීකෘත සිසිල් බීම පරිභෝජනය කිරීමේ ප්‍රවණතාවක් බව ඔහු විශ්වාස කරයි.
මීට අමතරව, මෙම දුර්ලභ, සකස් නොකරන ලද ජලය පැරණි වයින්වලට සමාන පසුබිම් කතාවක් සමග අලෙවි කළ හැකි අතර එය ඒවායේ ආකර්ෂණීයත්වය ඉහළ නැංවීමට උපකාරී වේ.
ජලය සහ ආහාර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ස්පාඤ්ඤය සහ එක්සත් ජනපදය වැනි රටවල ඇතැම් ආපනශාලා දැන් ඔවුන්ගේ ආහාර වර්ග තෝරාගත් උසස් ජලය (fine water) වර්ග සමග පිළිගන්වයි.
"මම දැනට එක්සත් ජනපදයේ තරු තුනේ මිෂෙලින් අවන්හලක් සඳහා ජල මෙනුවක් (menu) නිර්මාණය කරමින් ඉන්නේ. අපි ආහාර සහ ඒ පරිසරයට ගැලපෙන මනා සංයමයකින් යුතුව පිරිපහදු කළ ජලය වර්ග 12 සිට 15 දක්වා ගාණක් ඒකට ඇතුළත් කරන්න සැලසුම් කරනවා," ආචාර්ය මාෂා පවසයි.
"ඔබට ආහාරයට ගන්නේ මාළු නම්, මස් වර්ගයක් ආහාරයට ගනිද්දි පිළිගන්වනවාට වඩා වෙනස් ජලය වර්ගයක් තමයි ඔබට පිළිගන්වන්නේ. මාළුවල රසයට බාධාවක් නොවෙන්න අඩු ඛනිජ මට්ටමක් තියෙන්න ඕනේ."
ආචාර්ය මාෂා විවිධ වයින් වර්ග අඩංගු කුටි වෙනුවට 'water experience rooms' ඇතුළත් සුපිරි සුඛෝපභෝගී නිවාස සහ මහල් නිවාස ව්‍යාපෘතිවලට ද සම්බන්ධ වී සිටියි.
ආගමික හේතු මත මත්පැන්වලින් වැළකී සිටින සංස්කෘතීන් අතර ද (විශේෂයෙන් මංගල උත්සවවල) උසස් තත්ත්වයේ ජලය (fine water) ජනප්‍රිය බව ආචාර්ය මාෂා සඳහන් කරයි.
නමුත් මෙම ප්‍රවණතාව විවේචනය කරන පිරිස් ද සිටිති.
'සදාචාරාත්මක නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පිරිසිදු ජලය ලබා ගැනීමට අරගල කරන මිලියන සංඛ්‍යාත ජනතාවක් ලොව පුරා සිටින අතර, බොහෝ දෙනෙක් මේ ආකාරයෙන් මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවක් වන ජලයෙන් මුදල් ඉපැයීමේ අදහස තරයේ ප්‍රතික්ෂේප කරති.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ජලය ලබා ගැනීමට මූලික පහසුකමක් පවා නොමැති මිලියන 703ක් ද ඇතුළුව 2022 වසරේදී, බිලියන 2.2ක ජනතාවකට ඒ වන විටත් පානීය ජලය ලබා ගැනීමේ ආරක්ෂිත ක්‍රමවේදයක් නොතිබිණි.
වෙනත් විවේචකයින් තර්ක කරන්නේ, මෙම විලාසිතාව හුදෙක් රැවටීමක් බව ය; ජලය යනු ජලය පමණක් වන අතර බීමට ගත හැකි නළ ජලය, බෝතල් කළ ජලය සහ උසස් තත්ත්වයේ බව කියන ජලයේ (fine water) එහි මිල හැර වෙනසක් නැත. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ, ඕනෑ ම ආකාරයක බෝතල් කළ ජලය කුණු කසළ ලෙස හෝ අපද්‍රව්‍ය ලෙස ගොඩගැසෙන විට එය පෘථිවියට හානි කරන බව ය.
ලන්ඩනයේ ග්‍රේෂම් කොලීජියේ පරිසරය පිළිබඳ විශ්‍රාමලත් මහාචාර්ය, කැරොලින් රොබට්ස් විශ්වාස කරන්නේ, පිරිසිදු ජලය ලබා ගැනීමට මිලියන ගණනක් මිනිසුන් අරගල කරන අතරතුර ජල බෝතලයක් සඳහා ඩොලර් සිය ගණනක් වියදම් කිරීම සදාචාරාත්මක නොවන බව ය.
"ඒක හරියට ඔබ පිරිසක් එක්ක රාත්‍රී ආහාර ගන්න ගිය වෙලාවක ඔබේ වත්පොහොසත්කම් පෙන්නනවා වගේ වැඩක්. "ඔබ කිව්වොත්, 'හොදයි, මම මේ ලස්සන වතුර බෝතලයට ගෙවන්නේ ඒක ඇන්ටාක්ටිකාවේ ඉඳලා හරි හවායිහි ඉඳලා හරි ගෙනාවා' කියලා නම්, කෙනෙක් ඒකෙ වරදක් දකින එකක් නැහැ. ඒ කොහොම වුණත්, යථාර්ථය දිහා බැලුවා ම, කිසි කෙනෙකුට කිසිදු ප්‍රතිලාභයක් නැහැ. ඒ හැමදේම මුදල් ගැන විතරයි," ඇය බීබීසීයට පැවසුවා ය.
"ඒ වගේ ම, ඒක පරිසරයට ලොකු හානියක්. එය ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත් කරපු ප්ලාස්ටික් වේවා, නිෂ්පාදනය සඳහා ෆොසිල ඉන්ධන අවශ්‍ය වේවා, නැතහොත් ඉතා බරින් යුත් වීදුරු, දූරස්ථ ප්‍රදේශවලින් සැතපුම් දහස් ගණනක් දුර ප්‍රවාහනය කිරීම වේවා, කාබන් විමෝචනයට හානිකර බලපෑම් ඇති කරනවා," ඇය පැවසුවා ය.
"ඉතින්, ඒක මුදල් ගැන විතරයි නෙවෙයි. ඒක මේ ඊනියා උසස් තත්ත්වයේ ජලය (fine water) ඇති කරන පාරිසරික හානිය ගැන ත් වෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් ආචාර්ය මාෂා තර්ක කරන්නේ, ඩොලර් 2ක් පමණක් වැය වන ඇතැම් ගුණාත්මක උසස් තත්ත්වයේ ජලය (fine water) ඇති බැවින් එම ජලය පොහොසත් අයට පමණක් නොවන බව ය. ස්වභාවික උසස් තත්ත්වයේ ජලය (fine water) සහ අහිතකර පාරිසරික බලපෑම් ඇති කළ හැකි සකසන ලද ජලය අතර පැහැදිලි වෙනසක් ඇති බව ඔහු පවසයි.
"තිරසර දෘෂ්ටි කෝණයකින් බැලුවොත්, ප්ලාස්ටික් බෝතලයකට සකස් කරපු නළ ජලය දැමීම තේරුමක් නැහැ. ඔබ ඔබේ SUV රථයෙන් සුපිරි වෙළෙඳසලට ගිහින්, ප්ලාස්ටික් බෝතල් ගෙදර ගෙනැල්ලා, ඒවා බීලා, බෝතලය ඉවතට විසි කරනවා. ඒක ඇදහිය නොහැකි තරම් නාස්තියක්."
සකස් කරන ලද බෝතල් කළ ජලය භාවිත කිරීම වෙනුවට, සජලනය සඳහා නළ ජලය භාවිත කිරීමට ඔහු යෝජනා කරයි.
"බීමට සුදුසු නළ ජලය තිබීම ලොව පුරා බොහෝ දෙනෙකුට නැති වරප්‍රසාදයක් බව අපට බොහෝ අවස්ථාවලදී අමතක වෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.












