පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීම සිදුවෙන්නේ මෙහෙමයි

- Author, බීබීසී සිංහල
පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට දිනයේ එනම් මැයි 06 වන දින ආරම්භ වීමට නියමිත ය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සහ කල්මුණේ නගර සභාව සඳහා මෙම ඡන්ද විමසීම නොපැවැත්වෙන අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නියෝජිතයන් තෝරාගැනීමේ ඡන්ද විමසීම මීට පෙර පැවැත්විණි.
ලක්ෂ 17කට අධික ඡන්ද හිමියන් සංඛ්‍යාවක් මෙවර පළාත් අපලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.
ඡන්දය පැවැත්වෙන්නේ කොහොම ද?
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට දිනයේ පෙ.ව. 7.00ට ආරම්භ වී ප.ව. 4.00 දක්වා පැවැත්වේ.
මහා නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් සඳහා නියෝජිතයන් 8,287ක් මෙම ඡන්ද විමසීමෙන් තෝරා පත් කරගැනීමට නියමිත ය.
මේ සඳහා දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධින කණ්ඩායම් 257කින් අපේක්ෂකයෝ 75,589ක් තරග වදිති.
ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,759ක් ඇති අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 5,783කි.
ඡන්ද ප්‍රතිඵල ලබාදෙන්නේ කොහොම ද?
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන බැවින් එම පළාත් පාලන ආයතන කොට්ඨාස කිහිපයකට බෙදී තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ දුර සහ පිහිටීම අනුව ඡන්ද ගණනය කිරීම ක්‍රම කිහිපයක් යටතේ සිදුකරනු ලබයි.
පළමුවන ආකාරයට කොට්ඨාසයක් තුළ පවතින්නේ එක් ඡන්ද මධ්‍යස්ථානයක් නම් අනිවාර්යයෙන්ම ඒ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණනය කිරීම සිදුකර ප්‍රතිඵලය ඒ ස්ථානයේදීම ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
දෙවන ආකාරයට එක් කොට්ඨාසයක් තුළ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් පවතින්නේ නම් ඇතැම් ස්ථානවල ඡන්ද මධ්‍යස්ථානයේදී ම ඡන්ද ගණනය අවසන් කොට ප්‍රතිඵල ලේඛණය පමණක් එම අදාල කොට්ඨාසයේ පවතින ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයට ඉදිරිපත් කෙරෙයි.
තෙවන ආකාරයට ඇතැම් ප්‍රදේශවල කොට්ඨාසය තුළ පවතින සියලු ඡන්ද පෙට්ටි පස්වරු 4.00න් පසුව ප්‍රතිඵල නිකුත් කරන අවසන් මධ්‍යස්ථානයට රැගෙන යනු ඇත. එසේ රැගෙනවිත් වෙන වෙනම ගණනය කොට ඒ මධ්‍යස්ථානයේදී කොට්ඨාසයේ ප්‍රතිඵලය සකස් කෙරෙයි.
කොට්ඨාසයේ ඇති ප්‍රතිඵල නිකුත් කරන මධ්‍යස්ථානයේදීම එම කොට්ඨාසයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරන අතර, එම ස්ථානයේදී ඒ ඒ කොට්ඨාසයේ වැඩි ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම නම් කිරීම සිදුකරයි.
ඉන් අනතුරුව එම ස්ථානයේදීම සියලු දෙනාගේ දැන ගැනීම සඳහා එහි එක් පිටපතක් ප්‍රදර්ශනය කරනු ලබයි.
පසුව එහි මුල් පිටපත කලාපය භාර තේරීම් භාර නිලධාරිවරයා විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙතට ඉදිරිපත් කිරීම සිදුවේ.
එක් එක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවා ඇති අතර ඒවායේදී සියලු ම ප්‍රතිඵල එක්කර පළාත් පාලන ආයතන වල මුළු ප්‍රතිඵලය සකස් කරනු ලබයි.
මේ අවස්ථාවේදී එක් එක් දේශපාලන පක්ෂය ලබා ගත් ආසන සංඛ්‍යාව ගණනය කිරීම සිදුවේ.
එමෙන් ම සමානුපාතික නියෝජනය යටතේ එක් එක් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ලැබිය යුතු මන්ත්‍රීධූර සංඛ්‍යාව ද තීරණය කරයි.














