බීබීසී ලෝක සේවය පෝෂණය කළ කුඩා නගරයක වසර 100ක සුවිසල් ඉතිහාසය

A woman broadcasting from Daventry in 1951
ඡායාරූප ශීර්ෂ වැකිය, 1951දී භාවිත කළ ඩැවන්ට්‍රිහි ඇති මෙම සම්ප්‍රේෂකය (transmitter) තෝරා ගත්තේ එය මධ්‍යම එංගලන්තයේ උස් ස්ථානයක පිහිටා තිබූ බැවිනි.
    • Author, නිව්ස්ඩෙස්ක්
    • Role, බීබීසී නෝර්තැම්ප්ටන්ෂයර් සහ බීබීසී ලෝක සේවය

වසර සියයකට පෙර, සුන්දර කුඩා වෙළෙඳ නගරයක පරීක්ෂණ මට්ටමේ පැවති රේඩියෝ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ විය. මධ්‍යම එංගලන්තයේ ඩැවන්ට්‍රිහි පිහිටා ඇති මෙම නගරය වෙත වැඩි කල් නොගොස් ලොව පුරා ජනතාවගේ අවධානය යොමු වන්නේ බීබීසීය මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය හරහා වැඩසටහන් ප්‍රචාරය කිරීම ඇරඹීමත් සමග ය. එකල බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික සබ්මැරීන විසින් රටේ තත්ත්වය පිළිබඳව යාවත්කාලීන වී සිටීම සඳහා මෙම වැඩසටහන්වලට සවන් දුන් බව පැවසේ.

පසුව මෙම නගරයේ සිට බීබීසී ලෝක සේවය ලොව පුරා ප්‍රචාරය කෙරිණි. ඉන් නිකුත් වූ තරංග කෙතරම් ප්‍රබල ද යත් ඩැවන්ට්‍රි වැසියෝ තම ටෝස්ටර් යන්ත්‍රවලින් පවා රේඩියෝ වැඩසටහන් ශ්‍රවණය වූ බව වාර්තා කළහ. සරදමට නොව සත්‍ය වශයෙන් ම ඔවුහු ඒ බව පවසන්නට වූහ.

අලුත් මාතෘකාවක් නොවුණ ද රේඩියෝව ගැන ජනතාව තුළ වූ පුදුමසහත හැඟීමේ අඩුවක් නොවූ අතර 1925 ජූලි 27 වන දින සිදුවූ එහි [විකාශන මධ්‍යස්ථානයේ] ආරම්භය වැදගත් සංධිස්ථානයක් විය.

ඉංග්‍රීසි කවියෙකු, කෙටිකතා රචකයෙකු සහ නාට්‍ය රචකයෙකු වන ඇල්ෆ්‍රඩ් නොයිස් "ඩැවන්ට්‍රි කෝලින්..." යන කවියකින් එය ආරම්භ කළ අතර, ඉන් පසුව, ඩැවන්ට්‍රිහි තැපැල්පතිවරයාගේ සහ නගරාධිපතිවරයාගේ දේශන එහි ඇතුළත් විය. ඔවුන් හඳුන්වා දෙන ලද්දේ බීබීසී සභාපති ගේන්ෆර්ඩ් සාමිවරයා විසිනි.

5XX ලෙස හැඳින්වෙන මෙම සම්ප්‍රේෂකය, පළමු වරට එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවලට සුපැහැදිලි ලෙස රේඩියෝව ශ්‍රවණය කිරීමට ඉඩ සැලසීය.

St John the Baptist Church, Lower Shuckburgh, Daventry, UK in winter. Snow covers the ground. Blue skies with dramatic clouds above. View of the church with gate and hedge surrounding the graveyard in the foreground.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නෝර්තැම්ප්ටන්ෂයර්හි පිහිටා ඇති සුන්දර නගරයක් වන ඩැවන්ට්‍රිහි ජනතාව වාර්තා කළේ තම ටෝස්ටර් සහ වැකුම් ක්ලීනර් යන්ත්‍රවලින් පවා බීබීසී ලෝක සේවය ශ්‍රවණය වීමට තරම් තරංග ප්‍රබල වූ බව ය.

අගමැති ස්ටැන්ලි බෝල්ඩ්වින් විසින් එහි ආරම්භය පිළිබඳව සිදු කරන ලද ප්‍රකාශයක් 'රේඩියෝ ටයිම්ස්' සඟරාවේ මෙසේ පළ වී තිබුණි.

"ඩැවන්ට්‍රිහි රැහැන් රහිත විකාශන මධ්‍යස්ථානය විවෘත කිරීම... මිලියන 20කට නොඅඩු පිරිසකට මිලෙන් අඩු සහ සරල උපකරණ හරහා අධ්‍යාපනය සහ විනෝදාස්වාදය යන දෙක ම ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇත; ජනතාව සමාජ අභිවෘද්ධිය කරා යන ගමනේ තවත් සංධිස්ථානයක් ලෙස මම ඩැවන්ට්‍රි දෙස බලමි."

Empire Short Wave Service in Daventry in 1936
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුව බීබීසී ලෝක සේවය බවට පත් වූ එය ඇරඹියේ ඩැවන්ට්‍රි නගරයේ සිට ක්‍රියාත්මක වූ මෙම රේඩියෝ සම්ප්‍රේෂක මධ්‍යස්ථානයෙනි. 1936 ගත් මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ එහි ප්‍රචාරණ කටයුතු සිදුවූ සම්ප්‍රේෂක ශාලාවකි.

බීබීසී ලෝක සේවය

ඩැවන්ට්‍රිහි සාර්ථකත්වය, කුඩා, අඩු බලැති සම්ප්‍රේෂක ජාලයක් වෙනුවට අධි බලැති සම්ප්‍රේෂක භාවිත කිරීමේ ප්‍රතිලාභය තහවුරු කළේ ය.

1932 දෙසැම්බර් මාසයේදී, බීබීසී ලෝක සේවය බවට පත් වූ එම්පයර් කෙටි තරංග සේවය, ආරම්භ වූයේ බොරෝ හිල් සිට සිදු කරන ලද විකාශන සමග ය.

ලොව පුරා පැතිර ගිය කෙටි තරංග සංඛ්‍යාත භාවිත කරමින් එක්සත් රාජධානියේ සිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පුරා ප්‍රචාරය කරන ලද පළමු රේඩියෝ විකාශනය එය යි. මෙය තාක්ෂණික ස්වභාවය අනුව එක්සත් රාජධානිය සහ අවට රටවලට පමණක් ළඟා විය හැකි දිගු තරංග සංඛ්‍යාතවලට වඩා වෙනස් විය.

Antennas on Borough Hill in Daventry
ඡායාරූප ශීර්ෂ වැකිය, එහි උච්චතම අවස්ථාවේදී හෙක්ටයාර සිය ගණනක් පුරා විහිදී ගිය සම්ප්‍රේෂණ කුළුණු 40කට වඩා එය සතු විය.

ඩැවන්ට්‍රි කෞතුකාගාරය මෙම මධ්‍යස්ථානය ගෝලීය විකාශනයේ සංධිස්ථානයක් ලෙස විස්තර කරයි. "දෙවන ලෝක යුද්ධ සමයේදී, එය බුද්ධි අංශ සහ ප්‍රචාරක මෙහෙයුම්වලදී රහසිගත කාර්යභාරයක් ඉටු කළේ සන්නිවේදන ඉතිහාසයේ එහි ස්ථානය තවදුරටත් තහවුරු කරමිනි."

"ඔබේ ටෝස්ටරයෙන් හෝ වැකුම් ක්ලීනරයෙන් ලෝක සේවය ශ්‍රවණය වීමට තරම් රේඩියෝ සංඥාව ප්‍රබල වූ ස්ථාන නැති තරම් ය. නමුත් පරම්පරා ගණනාවක් තිස්සේ බොරෝ හිල් සිට බීබීසීය සිය විකාශන කටයුතු කරන අතරතුර ඩැවන්ට්‍රිහි සිදු වූයේ එයයි," ඩැවන්ට්‍රි කෞතුකාගාරයේ සටහනක විය.

මෙම සංසිද්ධිය අද ඔන්ලයින් ෆෝරම්වල පවා සඳහන් වන අතර, ඇතැමෙකු පවසන්නේ ඔවුන්ගේ විසන්ධි කරන ලද ඉලෙක්ට්‍රොනික උපාංග සහ දන්ත පිරවුම්වලින් පවා අසල ඇති ගුවන් විදුලි මධ්‍යස්ථානවල ශබ්දය ඇසෙන බවයි.

 Two men at work in the control room at the BBC transmitter in Daventry

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1951දී ඩැවන්ට්‍රිහි බීබීසී සම්ප්‍රේෂකයේ පාලක කාමරය

එහි සේවය කළ සහ දැන් කෞතුකාගාර ස්වේච්ඡා සේවකයෙකු ලෙස කටයුතු කරන රොඩ් විවීෂ් පවසන්නේ; "ඒකෙ ප්‍රබල ම කාලයේදී ගෙදර තියෙන එක එක උපකරණවලට මධ්‍යස්ථානයෙන් නිකුත් වුණ තරංග හසු වුණා. රූපවාහිනිය ආවට පස්සේ ඒක කරදරයක් වුණා. මොක ද ඒ තරංග රූපවාහිනිය බලන්න බාධාවක් වුණ නිසා."

"එතකොට අපිට ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ." යනුවෙනි.

The 5XX transmitter in Daventry

1992 දක්වා ඩැවන්ට්‍රි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය අඛණ්ඩව භාවිත කරන ලද අතර එහි උච්චතම අවස්ථාවේදී එය සම්ප්‍රේෂණ කුළුණු 40කට අධික ගණනකට හිමිකම් කීවේය. අසල මාර්ගවල ගමන් ගත් රියැදුරන්ට පවා එය හොඳින් දැක ගත හැකි විය.

දැන් එහි ඇත්තේ තනි රේඩියෝ කුළුණක් පමණක් වන අතර එය බීබීසී ජාතික ඩිජිටල් ශ්‍රව්‍ය විකාශන (DAB) ජාලයේ කොටසකි.

බීබීසී ලෝක සේවය භාෂා 40කට වඩා වැඩි ගණනකින් සිය මාධ්‍ය මෙහෙවර සිදු කරන අතර සෑම සතියක ම මිලියන 312ක ජනතාවක් වෙත ළඟා වේ. කෙසේ වෙතත්, බොහෝ සේවාවන් දැන් මාර්ගගතව හෝ රූපවාහිනියෙන් පමණක් ක්‍රියාත්මක වන අතර තවදුරටත් රේඩියෝ විකාශන සේවාවක් නොමැත.

බොහෝ විකාශකයින් දිගු තරංග සම්ප්‍රේෂණයෙන් ඉවත් වී ඇත. කෙසේ වෙතත්, උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියාවේ දූරස්ථ ප්‍රදේශ ආවරණය කිරීම සඳහා Arctic 252 (90 සහ 2000 දශකවල අයර්ලන්ත පොප් සංගීතය ප්‍රචාරය කළ රේඩියෝ නාලිකාවක් වූ Atlantic 252 අනුව නම් කර ඇත) නමින් දිගු තරංග රේඩියෝ නාලිකාවක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී.