ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ICC ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම අඛණ්ඩව: පනවනු ලැබූ කොන්දේසි මොනවාද ?
ශ්‍රී ලංකාවට පසුගියදා පැනවූ ක්‍රිකට් තහනම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද (නොවැම්බර් මස 21 වැනිදා) රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් තීරණය කරන ලදී.
ඉන්දියාවේ දී අද රැස්වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවන ලද තහනමට අදාළ කොන්දේසි තහවුරු කළ බව නිවේදනයේ සඳහන්.
ඒ එම රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජනයට සවන් දීමෙන් පසුවයි.
ශ්‍රී ලංකාවට පනවනු ලැබූ කොන්දේසි මොනවාද ?
පනවා ඇති ක්‍රිකට් තහනම යටතේ ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ක්‍රිකට් සහ ICC ඉසව් දෙකෙහිම ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කළ හැකි බව අද රැස්වූ විධායක කමිටුවේදී තීරණය කරන ලදී.
ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් සැපයීම ICC ය විසින් පාලනය කරනු ලබන බව මෙම රැස්වීමේදී තහවුරු කරනු ලැබීය.
19 පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය ගැන තීරණයක්
ලබන ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සුදානම් කර තිබු අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට ICC විධායක කමිටුව අද තීරණය කර ඇත.
ICC පුර්ණ සාමාජිකයෙකු ලෙස එහි කටයුතු ස්වාධීනව සහ රජයේ මැදිහත්වීමකින් තොරව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය කඩ කිරීම හේතුවෙන් ICC ය විසින් ඉකුත් දා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවනු ලැබීය.
පැනවූ තහනම දීර්ඝ කිරීමේදී අවදානය යොමු කළ කරුණු මොනවාද ?
පනවා ඇති ක්‍රිකට් තහනම අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වූ තීරණය ගන්නා විට ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර ලෝක රග්බි සම්මේලනය සහ පාපන්දු සම්මේලනය විසින් පැනවූ තහනම පිිළිබඳව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද පැවති විධායක කමිටු රැස්වීමේදී සාකච්ජාවට ලක්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කිරීමේ ක්‍රියාවලිය ඉවත් කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති මෙම තහනම ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පැවති විධායක කමිටු රැස්වීමේදී අවධාරණය කර ඇත්තේ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයා වශයෙන් පිළිගනු ලබන්නේ එහි සභාපති වන ශම්මි සිල්වා බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.