හදාවඩාගත් වඳුරු පැටවා ඉල්ලා කඳුළු සලන අම්පාරේ ගොවි මහතෙක්

නිවසේ ඇති කළ වඳුරෙකු වනජීවී දෙපාර්තමේන්තුවට භාර දුන් පුද්ගලයෙකු නැවත එම වඳුරා තමන් වෙත ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා තැබූ සටහනක් පසුගිය දිනවල සමාජ මාධ්‍යය තුළ දැඩි කතාබහට ලක්ව තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය කරුණු සොයා බැලීමක් සිදුකළේ ය.

අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචි චානක විජයරත්න තමන් මුහුණ පෑ සිදුවීම පිලිබඳ මෙලෙස විස්තර කළේ ය.

සිදුවීමේ ආරම්භය

"හරියටම කිව්වොත් පසුගිය වසරේ ජුනි මාසේ 10 වෙනිදා මම උදේ නිවසේ ඉදලා ගොවිතැන් කටයුතු කරන තැනට යනවා. මම උක් ගස් වගාව කරන්නේ."

"මම වැඩ කරන ඉඩමේ ඉදලා මීටර් 75ක් පමණ දුරින් සතෙක් කෑගහන සද්දයක් ඇහෙනවා මට. මම ඊට පස්සේ ඒ ගැන විපරම් කරලා බලලා සතා කෑගහන තැන හොයාගෙන ගියා."

"යනකොට මම දැක්කා ලොකු වඳුරෙක් වැටිලා ඉන්නවා. ඒ වඳුරාගේ පැටියා ඇගේ එල්ලිලා කෑ ගහනවා. මේ වඳුරු පැටියා ඉපදිලා දවස් තුනක් වගේ වෙන්න ඇති කියලා මට හිතුනා. මම බලද්දී අර ලොකු වඳුරට වෙඩි තියලා ඒ සතා මැරිලා හිටියේ."

"මම ටක් ගාලා මම ඇදන් හිටපු ෂර්ට් එක ගලවලා යටින් ගැටයක් ගහලා අර වඳුරු පැටියව එකට දා ගත්තා. පස්සේ මම අර වඳුරු අම්මව වල දැම්මා. ඊට පස්සේ මම ඒ පැටියව ගෙදර අරන් ආවා."

"ඒ වඳුරු පැටියා අවුරුද්දයි දවස් 13ක් අපේ ගෙදර හැදුණා. එයාට අනිවාර්යෙන්ම එළකිරි ඕනෑමයි. දවසකට හතර පාරක්‌ දෙන්න ඕන. පොඩි කාලේ ඉදන් එයා සූප්පුවෙන් එළකිරි බොන්නේ."

"එළ කිරි දුන්නේ නැත්නම් ඇගිල්ල කටේ ගහගෙන අනිත් පැත්ත බලන් ඉන්නවා. අපි කියන දේ එයාට තේරෙනවා, නමුත් එයාට කතා කරන්න බැරිකමයි තියෙන්නේ. ඕන දෙයක් තේරෙනවා එයාට."

සියලු දෙනා සාකච්ජා කර ගත් අමාරු තීරණය

නිවසේ වසරකට වැඩි කාලයක් ගතකළ මෙම සත්ත්වයා ඉදිරියේ දී නැවත ඔහුගේ නිජභූමිය වෙත මුදා හැරීමේ අරමුණින් වනජීවී දෙපාර්තමෙන්තුවට භාරදීමට තීරණය කළ බව විජයරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"මම මගේ දරුවෝ දෙන්නයි, නෝනත් එක්කයි කතා කරලා මේ පැටියා අවුරුද්දක් විතර ගෙදර හැදුනානේ, එයාට එයාගේ ලෝකයේ ජිවත් වෙන්න ඕන කියලා තීරණයක් අර ගත්තා."

"දරුවෙක් වගේ හදලා මඩමකට ගිහින් දානවා වගේ හැඟීමක් හිතට ආවත්, අන්තිමේ දි මේ සතාව ඉකුත් ජුනි මාසයේ 23 වෙනිදා අම්පාරේ වනජීවී කාර්යාලයට ගෙනහිල්ලා භාර දුන්නා."

"ඊට පස්සේ මමයි, පොඩි දරුවයි පහුවෙනිදා උදේ (ජුනි මාසයේ 24 වෙනිදා) පැටවට දෙන්න කිරියි, තවත් පළතුරු එහෙම අරන් යනවා එතන ඉන්න අනික් සත්තුන්ට දෙන්නත් එක්ක."

"වනජීවී කාර්යාලයේ ගේට්ටුවේ ඉදලා මීටර් 100ක් විතර දුරින් තිබ්බ කුඩුවක තමයි වඳුරු පැටවාව දාලා තිබුනේ. අපිව ගේට්ටුව ළඟ දි දැක්ක ගමන් දුර තියා අඳුනගන්නවා. ඊට පස්සේ එයා කුඩුවේ ඇතුළේ එහෙට දුවනවා, මෙහෙට දුවනවා. ඒ අපි එයාව දාලා ගියා කියනා දුකට ද, එහෙම නැත්නම් අපි ආවා කියන සන්තෝෂයට ද කියලා දන්නේ නැහැ."

"මෙයා ගෙදර ඉද්දි එක වෙලාවකට අපිට අත දෙනවා, තව වෙලාවකට කකුල දෙනවා, එහෙම නැත්නම් පිට හරවනවා අත ගාන්න කියලා. එදා කුඩුව ලඟට ගියාට පස්සේ අර කුඩුවේ තියෙන පොඩි අතරින් අත එළියට දානවා, කකුලා එළියට දානවා අත ගාන්න කියලා."

"අපි ජුනි 25 වෙනිදා උදේ එයාව බලන්න ගියා. එතකොට අපිට තේරුණා එයා කලන්තේ දාලා වගේ වැටිලා ඉන්නේ කියලා. අවුරුද්දක් අපි ළඟ හැදුන නිසා අපිට එයාගේ වෙනස තේරෙනවා. පස්සේ මම එතන හිටපු අයට මේ ගැන කියලා ගෙදර ආවා. ඇවිල්ලා මම මගේ නෝනා එක්කයි ළමයි එක්කයි මේ ගැන කියලා ආපහු ගියා පැටියව බලන්න."

"මට එතනට ගියාම තේරුනා සතාට කෑමක් නැහැ, සාංකාව වගේ කියලා. පැටියා වැටිලා හිටියේ හොඳටම."

"පස්සේ මගේ පවුලේ අයත් එක්කම ගිහින් ඒ නිලධාරීන්ට කිව්වා අපි සතාව ගෙනල්ලා දෙද්දී හොදට හිටියා, දැන් සතා ඉන්නේ මෙහෙම කියලා. මේක අපිට ලොකු දුකක් හිතට, ඒ නිසා ආපිට මේ සතාව නැවත අරං යන්න ඕන කියලා."

ඉල්ලීමට වනජීවීයෙන් ලැබුණු ප්‍රතිචාරය

වඳුරු පැටවා නැවත රැගෙන යෑමට කළ ඉල්ලීමට අම්පාර වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයාගෙන් ලද ප්‍රතිචාරය එතරම් සුබවාදී නොවූ බව ඔහු අපට පවසා සිටියේ ය.

"නැවත වඳුරු පැටවාව රැගෙන යෑමට අවසර දෙන්න කියලා ඒ කාර්යාලයේ හිටපු පශු වෛද්‍ය නිලධාරිතුමාගෙන් ඉල්ලුවාට පස්සේ අකාරුණික විදිහට, මට ඒ වචන මෙතන භාවිත කරන්න බෑ, වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ඕනෑම කෙනෙක්ට මානුෂිය විදිහට කියන්න ඕන."

"එයා මගේ දරුවන් දෙන්නා ඉස්සරහා හැසිරුණු විදිහට මට හැසිරිලා මගේ දරුවන්ට නරක ආදර්ශයක් දෙන්න බැහැ. ඒ නිසා ඔහු හැසිරෙන්නේ ඔහුගේ මානසික ක්‍රමයට කියලා හිතලා වැඩිහිටියෙක් විදිහට මම නිශ්ශබ්දව එතැනින් පිටතට යන්න ආවා."

"එහෙම යන්න එද්දී ගේට්ටුව ළඟදි ඒ වෛද්‍යවරයා මට ආපහු කතා කළා මෙහෙ එන්න කියලා. කියලා කිව්වා 'ඔයාලා ආපහු මින් මත්තට මෙහේට එන්න එපා' කියලා. ඒ හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ."

"මම අවුරුද්දක් විතර දරුවෙක් වගේ හදාපු සතාව එක මිනිත්තු පහක් බලන්න දෙන්න එපා කියන එකෙන් එයාලගේ මානසිකත්වය කොයි තරම් පිරිහිලා ද කියලා හිතාගන්න පුළුවන් නිසා මම ඒ ගැන තර්ක කරන්න ගියේ නැහැ. ඒ වෙලාවේ මගේ නෝනා සහ ළමුන් දෙදෙනාත් හිටියා."

වේදනාත්මක සමුගැනීම

වසරක් පුරාවට තමන් ඇති දැඩි කළ වඳුරු පැටවා අවසන් වරට දැක ගැනීමට ලැබුණු අවස්ථාව ගැන චානක විජයරත්න අප වෙත විස්තර කළේ හැඬූ කඳුලින් ය.

"අපිට ආපහු එන්න එපා කිව්වට පස්සේ මම වඳුරු පැටියා දාලා හිටපු කුඩුව ලඟට ගියා. ගිහින් මම කිව්වා 'චූටි මැණික මම ඔයාට ලොකු අපරාධයක් කළා. හේතුව මම ඔයාව දරුවෙක් වගේ හදල අනාථ මඩමකට ගෙනල්ලා දැම්මේ කියලා කිව්වා. කවදා හරි දවසක මට ඒක සාපයක් වෙලා හරි එයි කියලා කිව්වා. මට වෛර කරන්න එපා. මම කිව්වා චූටි මැණික ඔයාව බලන්න එන්න එපා කියනවා ආපහු. ඒ නිසා මට ඔයාගේ පින්තූරයක් අවසාන වතාවට අර ගන්න දෙන්න. මම ඒක ගෙදර රාමු කරලා තියාගන්න කියලා."

"මම ෆොටෝ එක ගන්න ගියාම වඳුරු පැටියා කටේ ඇගිල්ල ගහගෙන අනිත් පැත්ත බලා ගත්තා. එතකොට මට දැනුණු වේදනාව මගේ පපුවට අලවංගුවකින් ඇන්නා වගෙයි. මට එතැනදී හිතුනා මගේ චූටි මැණිකේව ආපහු දකින්න නොලැබෙයි කියලා. මම හිතා ගත්තා මම පුළුවන් උපරිම ෆයිට් කරනවා කියලා ඔයාව අරගන්න කියලා. හොදින් ඉන්න ඔයා කියලා."

"මම කාගෙන්වත් මේ ගැන ඇහුවේ නැහැ. අහන්නේ නැතුවයි ඒ දේ කළේ. දැනුයි මට තේරෙන්නේ ඕනෑම දෙයක් තීරණයක් ගන්න කලින් දන්න කියන අයගෙන් අහල බලන්න ඕන කියලා."

"අපි මේ සතාව ගෙනිහින් භාර දුන්නේ මේ සතාව අපිට වඩා හොදින් බලා ගනීවි කියලා. එහෙම දෙයක් දන්නවා නම් කවදාවත් මේ සතාව භාර දෙන්නේ නැහැ."

සංවාදයට තුඩු දුන් සමාජ මාධ්‍ය සටහන

ඔහු මුහුණදුන් සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබීමට කටයුතු කළ බව ඔහු පැවසීය.

"ඒක ටික වෙලාවක් ඇතුලත වයිරල් වුණා," ඔහු කියයි.

"මේ වෙලාවේ දී අර පශු වෛද්‍යවරයාගේ හිතවතෙක් මගේ සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක් දාලා තිබුණා ඔහුට කලින්. ඒකෙ තිබුනේ 'අද සිට මේකේ සත්තු බලන්න කාටවත් දෙන්නේ නැහැ. කෑම අරන් සත්තු බලන්න එන්න එපා' කියලා."

"පස්සේ මේ කමෙන්ට් එකට අනිත් අය පිළිතුරු දීලා තිබුණා, එම තීරණය ඔවුන් තමන්ගේ වාසියට ගත්තු එකක් කියලා. පස්සෙ ඔහු ඒ පෝස්ට් එක ඩිලීට් කරලා තිබුණා."

වඳුරු පැටවා නැවත ලබාගන්නට ගත් උත්සාහය

වනජීවී භාරයේ සිටින ඔහු ඇති දැඩි කළ වඳුරු පැටවා නැවත ලබා ගැනීම සඳහා ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබාදී ඉල්ලීම් කළ බව ද චානක විජයරත්න පවසා සිටියේ ය.

"පස්සේ මම මේ ගැන කොළඹ සිටින වනජීවී එකේ ප්‍රධාන වෛද්‍යතුමා වෙන තාරක ප්‍රසාද්ට කතා කරල විස්තරය කිව්වා. එතුමා කිව්වා ඔහු ඒ ගැන කතා කරල බලලා මට නැවත ඇමතුමක් දෙන්නම් කියලා. මට තාරක ප්‍රසාද් මහත්තයා කිව්වා අපිට වඩා ඔයාලා ඒ සතාව හොදින් බලගන්නව නම් අපට ප්‍රශ්නයක් නැහැ. මම කතා කරලා බලලා කියන්නම් කියලා."

"පස්සේ ඩොක්ටර් තාරක අම්පාරේ ඉන්න පශු වෛද්‍යවරයාට කතා කරලා මට ආපහු කෝල් එකක් දුන්නා. දීලා කිව්වා ඒ වඳුරු පැටියව ජුනි 25 වෙනිදා රාත්‍රියේ දී මුදා හැරලා කියලා කැලයට."

"මම ඒ වෙලාවෙම ඩොක්ටර්ට කිව්වා ඒ කතාව බොරුවක් කියලා. මොකද මගේ යාලුවෙක් ඉන්නවා සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ. ඔහු ගිහින් තිබුණා ජුනි මාසේ 26 වෙනිදා උදේ මේ ගැන කතා කරන්න කියලා වනජීවී කාර්යාලයට. ඒ වෙලාවේ පශු වෛද්‍යවරයා ඉදලා නැහැ කාර්යාලයේ. ඔහු ඒ වෙලාවේ දී දැකලා තියෙනවා වඳුරු පැටවාව දාලා තිබුණු කුඩුවේ ඒ සතා හිටිය බවට."

"මම ඔය කතාව දැන ගත්තම ආපහු වනජීවී කාර්යාලය ඉස්සරහට ගියා. එතැන ගොඩනැගිල්ලක් ඉදිකරනවා. ඒකෙ වැඩකරන අය ආව එතන තිබ්බ තේ කඩයකට ආවා වෙලේ මම මේ සිද්ධිය කිව්වා. පස්සේ ඒ ගොඩනැගිල්ලේ වැඩ කරන අය කිව්වා ඒදා උදේ 11.40ට විතර අර කුඩුවේ හිටපු වඳුරු පැටවාව වනජීවී එකේ සේවකයෙක් අරන් කාර්යාලයේ පිටිපස්සට අරං යනවා දැක්කා කියලා."

"එදා ඉදන් අද වෙනකම් මේ සතාව අපි කවුරුත් ඇහැට දැකලා නැහැ. අඩුම තරමින් ඒ සතා ජීවතුන් අතර ඉන්නවද කියලවත් දන්නේ නැහැ."

"අම්පාරේ වනජීවී එකේ පශු වෛද්‍යවරයා කමෙන්ට් එකක් දාලා තිබුණා මේ සත්ත්වයා වනයට මුදා හරින්න බැරි තරම් නිවසේ හුරතල් වෙලා කියලා. එහෙම ප්‍රකාශයක් ඔහු කරලා තියෙද්දී දවස් දෙකක් ඇතුළත වඳුරව කැලයට හුරු කලේ කොහොමද? වන සත්තුන්ට හුරුකළේ කොහොමද?"

"මේ අය කිව්වේ වඳුරව රෑ කැලයට මුදාහැරියා කියලා. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ සතා අපේ ගෙදර හතර දෙනා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක යන්නේ නැහැ. අඩුම තරමින් ගෙදර ඉස්සරහ තියෙන ගහක් උඩ තිබ්බත් අපි ළඟ ඉන්න ඕන. එහෙම නැත්නම් ඒ සතා බයට පත්වෙනවා."

"මට මේ සිද්ධියේ දී ගොඩක් උදව් කළා හාමුදුරුවෝ. උන්වහන්සේ මාත් එක්ක වනජීවී කාර්යාලයට පවා ගියා. මාව ගේට්ටුවෙන් එළියේ තියලා ගියේ. පස්සේ ආවට පස්සේ උන්වහන්සේ වනජීවී එකේ උසස් නිලධාරීන් දෙන්නෙක්ට දුරකථනයෙන් කතා කළා. ඒ අවස්ථාවේදී ඒ නිලධාරීන් දෙදෙනා කියලා තිබුණා අම්පාරේ පශු වෛද්‍යවරයා කිව්ව විදිහට වඳුරු පැටවාව 25 වෙනිදා රාත්‍රියේ දී කැලයට මුදා හැරලා නැහැ, සත්ත්වයා ඉන්නවා කිව්වා. මේ මොහොතේ සත්ත්වයා ඉන්නවා.ඒ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ."

වනජීවී දෙපාර්තමේන්තුවට එල්ලවන චෝදනාවක්

වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත්කරන සතුන්ට නිසි පරිදි ආහාර ලබා නොදීම ගැන ඔහු සමාජ මාධ්‍යයේ පවා සටහන් තැබූ බවත්, ඊට හේතුව වූයේ ඔහු එය සියැසින් දැකීම බවත් චානක විජයරත්න පැවසුවේ ය.

"වනජීවී එකේ අය ඇඹුල් කෙසෙල් ගෙඩිය දෙකට කපලා කුඩුවේ ඉන්න සතුන්ට එක කෑල්ල ගානේ දාන්නේ. දවසටම ඔවුන්ට ලැබෙන ආහාරය ඒක තමයි. මම ඒක මගේ ඇස්වලින්ම දැක්කා. ඊට පස්සෙයි මම ඒක ගැන සමාජ මාධ්‍යයේ සටහනක් තැබුවේ."

"ඒ පස්සේ ඔවුන් වනජීවී එකේ ගේට්ටුව වසා දැමුවා. පශු වෛද්‍ය පුෂ්පකුමාර හාමුදුරුවන්ට කියලා තිබ්බා වනජීවී අධ්‍යක්ෂකවරයා කිව්වොත් සත්ත්වයාව මුදා හරින්න පුළුවන් කියලා. මේ නිසා මගේ ළමයින් මානසිකව වැටිලා ඉන්නේ. මම වනජීවි එකේ අධ්‍යක්ෂකවරයා ගෙන් ඒ ගැන කියලා ලිඛිත ඉල්ලීමක් පවා සිදුකළා."

"අපි කරපු ලොකුම පව්කාර වැඩක් මේක කියලා මට හිතෙනවා. මට කාගේවත් රැකියාවන්වලට හානියක් කරන්න ඕන නැහැ."

"මට සමාජයේ ගොඩක් දෙනා බයිනවා ඇයි මෙහෙම කළේ කියලා. මම හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. පුදුම දුකකින් ඉන්නේ. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මම හිතින් විඳව විඳව මැරී මැරී ජීවත් වෙන්නේ. පුදුම වේදනාවකින් ඉන්නේ."

සිදුකර තිබෙන්නේ නීති විරෝධී වැඩක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්පකුමාර ගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් සිදු කළේ ය.

එහිදී පශු වෛද්‍යවරයා පවසා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් කතා කිරීමට වෙලාවක් නොමැති බව යි.

අනතුරුව අපි වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් කරුණු විමසීමු.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙරට වන සත්ත්වයෙක් ළඟ තබා ගැනීම නීතිවිරෝධී වරදක් බව යි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, "මේ කාරණාවට අනුව සමස්ත සිද්ධිය අරන් බැලුවොත් ඔවුන් කරලා තියෙන්නේ නීතිවිරෝධී වැඩක් අපේ පනතට අනුව,"යි ප්‍රකාශ කළේ ය.

"එතකොට කවුරුහරි කෙනෙක් තමන්ගේ සන්තකයේ වනජීවීයෙක් කියලා හඳුන්වන මේ රටේ ජීවත්වන සතෙක් ළඟ තියන් ඉන්නව නම් ඒක අනීතික යි. සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට විතරයි එහෙම අවසරයක් තියෙන්නේ."

"එතකොට මේ අයගේ ප්‍රකාශිත කාරණාවේ දී කියැවෙන්නේ මේ සතා අනතුරට ලක්වෙලා හිටියා කියලා. ඒ අය වැඩිහිටි පුද්ගලයෝ විදිහට ඒ සතාව වනජීවී දෙපාර්තමේන්තුවට භාර දෙන්න ඕන. මොකද මෙයාලා ජීවත් වෙන අම්පාර ප්‍රදේශය කියන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැන හොදටම දන්නා දිස්ත්‍රික්කයක්. වනජීවී එකේ කටයුතු සිදුවෙන ආකාරය ගැන ඒ අය හොදින්ම දැනුවත් වෙනවා. ඒ වගේම වැඩිහිටියෝ විදිහට රටේ නිතිය ගැන දැනුවත් වෙන්නත් ඕන."

"එතකොට මේ සතා හදාවඩා ගත්ත එක වැරදියි. ඒ සතාව අපිට භාර දෙන්න තිබුණා. නොදැනුවත්භාවය කියන එක අපි පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් ජීවත්වෙන ප්‍රදේශයේ තමයි වනජීවී කාර්යාල වැඩි ප්‍රමාණයක් පිහිටලා තියෙන අධික ක්‍රියාකාරකම්වලින් යුත් ප්‍රදේශයක්."

"අනෙක් කාරණාව තමයි මේ සතාව අපට භාර දුන්නා නේ. අපි ගිහින් අනීතික දෙයක් වටලලා ගත්තේ නැහැ. මොකද හේතුව අපි අනීතික දෙයක් ඔවුන් ළඟ තිබුණාට අපට ඒ ගැන තොරතුරු ඇවිත් තිබුනේ නැහැ. අපි ගිහින් වැටලීමක් කරලා අත්අඩංගුවට ගත්ත සතෙක් නෙමෙයි. එයාලම ඇවිල්ලා අපට භාර දුන්නා. එයාලා භාර දුන්නේ වනජීවී සතෙක්. ඒ සත්ත්වයා ඔවුන්ගේ පරම්පරාව සිටින කැලයට මුදා හරින එකයි අපේ සංරක්ෂණ ක්‍රියාවලිය."

"හේතුව, ඒ සතාව අපි ළඟ තියාගෙන ඔහුගේ අයිතිවාසිකම් නැතිකරන එක නෙමෙයි අපේ කාර්යය. වනජීවී නිලධාරින් වැඩ කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්."

"ඔවුන් කියන තවත් කාරණාවක් තමයි සතාට සැලකුවේ නැහැ කියලා. ඒගොල්ලෝ දැන ගන්න ඕන කාරණාවක් තමයි ඔය සිද්ධියට අදාළව ස්ථාන භාරව ඉන්නේ මේ දෙපාර්තමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම පශු වෛද්‍යවරයෙක්. අත්දැකීම් බහුල, ඔය වගේ නෙමෙයි ඔයිට වඩා භාරදුර සංරක්ෂණ කටයුතුවලට දායකවුණ පශු වෛද්‍ය කෙනෙක්. ඒ වගේමයි එයාගේ කාර්ය මණ්ඩලයත්. ඔවුන් ඉතා අසීරූ සංරක්ෂණ ක්‍රියාවලියන්වලට දායකවුණ කෙනෙක්."

"ඔවුන් මේ සතාව, සතාගේ නිදහස ලැබෙන විදිහට සලකලා සාමාන්‍ය පරිසරයට මුදා හරින්න අවශ්‍ය පුහුණුව තමයි කරලා තියෙන්නේ. එහෙම නැතුව ඒ සතාට කන්න, බොන්න නොදී අඩම්තේට්ටම් කරලා නැහැ."

"තමන් අතින් සිද්ධ වුණ වැරැද්ද වහගන්න අපේ නිලධාරීන්ට දෝෂාරෝපණය කරන එක වැරදියි. ඔහු කරලා අනීතික දෙයක් තමයි කරලා තියෙන්නේ. ඔහුට මේ සතා ගැන ප්‍රශ්න කරන්නවත් අයිතියක් නැහැ, නෛතික වශයෙන් වැරැද්දක් කරපු කෙනෙක්ට. මේ සතා ගැන එතුමාට සද්භාවයක් ඇති. නමුත් අපි සතාව ළඟ තියන් ඉන්නේ නැහැ. අවශ්‍ය සංරක්ෂණ කටයුතු කරලා ඒ සත්ත්වයාව වනයට මුදාහරින්න කටයුතු කළා," වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.

වන සතෙක් ළඟ තබා ගන්න පුළුවන් ද?

වන සත්ත්වයෙකු ළඟ තබා ගැනීම සහ එහි නීතිමය තත්ත්වය පිළිබඳව අපි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකළෙමු.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රචාරණ අංශයේ ප්‍රධානි හසිනි සරත්චන්ද්‍ර ප්‍රකාශ කළේ, එලෙස වන සත්ත්වයෙකු ළඟ තබා ගැනීම හා ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස වන සංරක්ෂණ හා වෘක්ෂලතා ආඥා පනතේ සඳහන් බවයි .

"ආඥා පනතේ හැටියට එහෙම වන සතෙක් ළඟ තබාගැනීම හෝ ප්‍රදර්ශනය කිරීම සිදුකරන්න බැහැ. සතෙක් තුවාල වෙලා හෝ අතරමං වෙලා ඉන්නවා නම් ජනතාවට අපට 1992 කියන දුරකථන අංකය ඔස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න පුළුවන්. එවිට වනජීවී නිලධාරින් ඒ සම්බන්ධයෙන් ගන්න ඕන උපදෙස් ලබාදීම සිදුකරනවා," ඇය ප්‍රකාශ කළා ය.

"උදාහරණයක් විදිහට ගත්තම පහුගිය දවස්වල කොටි පැටවුන් දෙදෙනෙක් ගැන වාර්තා පළවුණා. ඒ වෙලාවට මිනිස්සු ඒ පැටවුන් ස්පර්ශ කළාම කොටි මව ඔවුන්ව භාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. හොඳම දේ තමයි ඒ වෙලාවට සත්තුන්ව අල්ලන්න යන්නේ නැතිව දෙපාර්තමේන්තුව දැනුවත් කරන එක. එවිට අපේ නිලධාරින් ඇවිල්ලා නැවත ඔවුන්ව වනයට මුදාහරින්න අවශ්‍ය පියවර ගන්නවා."

"වන සතුන් ළඟ තබා ගන්නා කෙනෙක්ට නීතියෙන් කටයුතු කරන්න පුළුවන්. අත්අඩංගුවට අරගෙන උසාවි දාලා දඩ නියම කරන්න හෝ සිර දඬුවම් ලබාදෙන්න හැකියාව තියෙනවා. එහෙම වනජීවී සතෙක් ළඟ තබා ගැනීම තහනම්," ඇය පැවසුවා ය.

පරිසර නීතිය පිළිබඳ විද්වතෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය: "වන සත්ත්වයෙක් තියා ගන්නවා නම් එයට බලපත්‍රයක් ගන්න ඕන. තුවාල වුණ හෝ අතරමං වූ සතෙක් හම්බ වුණොත් වනජීවී එකට භාර දෙන්න ඕන. ඒකයි සිදුකළ යුතු පළමු දේ."

"වනජීවී සතෙක් කියන්නේ රජයට අයිති සතෙක්. විශේෂයෙන් වදුරන් වගේ සත්තුන්ව අතපත ගාන්න ගියාම ඔවුන්ව නැවත කැලයට මුදා හරින්න බැරි වෙනවා. එතකොට වනජීවී දෙපාර්තමේන්තුව පවා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා මේ සත්තුන්ව පුනුරුත්ථාපන මධ්‍යස්ථානයක රඳවා ගන්න හරි එසේ නැත්නම් සත්වෝද්‍යානයකට දෙන්න වෙනවා. මොකද සත්ත්වයා මිනිස් ඇසුරට පුරුදු වෙලා නිසා."

"වඳුරන් හා රිලවුන් මිනිසුන්ට පහර දෙන්න හදන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පහුගිය සොයා බැලීම් සිදුකළා. එතකොට තේරුම් ගිය දෙයක් තමයි මේ සතුන් මිනිස් ඇසුරේ හැදුන සහ පසුව අත්හැර දමා ගිය අය ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ කියලා. සත්ත්ව චර්යාවන් ගැන අප සමාජ මාධ්‍යයන් හරහා ජනතාවට දැනුවත් කරන්නේ ඒ නිසයි. මිනිස්සු ඒ ගැන දැනුවත් විය යුතුයි," නීතිඥවරයා පැවසුවේ ය.