විරෝධතා හමුවේ විදුලි සැපයුම් ඒකක සැපයීමේ ටෙන්ඩර් එක රජය ආපසු හරවා ගත්තේ ඇයි?

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම් පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලිපියක් මගින් නිවේදනය කර තිබේ.

අදාළ ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334කට හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදුලි සැපයුම් ඒකක 700ක් රු. මිලියන 50කට අධික මුදලක් වැය කරමින් මිල දී ගැනීමට Browns Engineering & Constrcutions (Pvt) Ltd සමාගමට මෙම ප්‍රසම්පාදනය පිරිනමා තිබිණි.

ඒ පිළිබඳව ද මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ පී.ටී.ජී. පෙරේරා 2025 ජූනි 6 වන දින නිකුත් කර තිබුණු ලිපියක සඳහන් විය.

කෙසේ වෙතත්, එය ප්‍රදානය කළ සමාගම වෙත පිරිනමා ඇති ප්‍රසම්පාදනය අවලංගු කරන බවට සඳහන් 2025 ජූලි 7 දිනැති ලිපියේ දැක්වෙන්නේ, අදාළ "ප්‍රසම්පාදනය අවලංගු කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය තීරණය කර ඇති බව ත් සිය "ලංසු සුරැකුම පසුව ලැබීමට සලස්වන" බව ත් ය.

ප්‍රශ්නසහගත සිදුවීම් දෙකක්

  • දේශපාලන හිතවත්කම්

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල වාර්තා පළ වීමත් සමග විවිධ පාර්ශවවලින් දැඩි විරෝධයක් සහ විවේචන එල්ල විය.

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ චෝදනා කළේ, ඒකකයක මිල රු. 72,517ක් ලෙස විද්‍යුත් ජාතික හැඳුනුම් පත් ව්‍යාපෘතිය සඳහා විදුලි සැපයුම් ඒකක 700ක් රජය මිල දී ගැනීමට සූදානම් වන බවත් ඊට අදාළ ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීමට "මිල ගණන් අධික" ආයතනයක් තෝරාගෙන ඇති බවත් ය.

ඒ අනුව, මෙම ක්‍රියාවලිය හරහා "වංචාවක්, දූෂණයක් සහ නාස්තියක්" සිදුවන්නේ දැයි විමර්ශනය කරන ලෙස අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඔහු ඉකුත් සතියේ (ජූලි 9) පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

"රුපියල් ලක්ෂ 517කට මේ විදුලි සැපයුම් ඒකකයක් ලබා දීමේ ටෙන්ඩරය කියලා කියන්නෙත්, අපි විශ්වාස කරනවා නාස්තිකාර වියදමක් කියලා. ඒ වගේ ම, මේක ලබා දීලා තියෙන්නේ තමන්ගේ දේශපාලන හිතවත්කම් අනුව කියලා," එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.

එහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසීය:

"ඒකට හේතුව තමයි මේ ටෙන්ඩර් එක කෝල් කරද්දී දුන්නු කොන්දේසි ටික බැලුවට පස්සේ ඕනේ ම කෙනෙකුට තේරෙනවා, මේ කොන්දේසි ටික සම්පූර්ණ කරන්න පුළුවන් ආණ්ඩුව මේ ටෙන්ඩර් එක පිරිනමලා තියෙන ආයතනයට විතර යි."

ඔහු චෝදනා කළේ, ප්‍රසම්පාදනයට සම්බන්ධ නිවේදනය නිකුත් කර ඇත්තේ ම ප්‍රශ්නගත සමාගමට එය පිරිනැමීමේ අරමුණින් යැයි තමන් සැක පළ කරන බව ය.

  • ඉන්දියාවේ මැදිහත් වීම

මෙම ප්‍රසම්පාදනය පිරිනැමීමට ප්‍රථම සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කළේ ය.

"Pre-Bid මීටින් එකේදී ලංසු ඉදිරිපත් කිරීමට කැමති අය ගෙන්නලා ආයතනයෙන් දැනුවත් කිරීමක් කරනවා. ඒ දැනුවත් කිරීමේදී ඔවුන් නිශ්චිතව කියනවා, 'ඕගොල්ලෝ ලංසුව ඉදිරිපත් කරද්දී ඉන්දියානු සමාගම්වලින් අකමැති නැති සමාගම්වල ඒවා ඉදිරිපත් කරන්න,' කියලා. එතකොට තියෙන ප්‍රශ්නය තමයි, ලංකාව ටෙන්ඩර් එකක් කෝල් කරනවා, ටෙන්ඩර් එක කෝල් කරද්දී ම කියනවා ඉන්දියාව කැමති ඒවා විතරක් ඕගොල්ලෝ දාන්න. ඉන්දියාව කැමති ප්ලග් බේස් විතරක් ඕගොල්ලෝ ඉදිරිපත් කරන්න. ඉන්දියාව කැමති විදුලි සැපයුම් ඒකක ඉදිරිපත් කරන්න."

ඊට හේතුව ලෙස බලධාරීන් උපුටා දක්වා ඇත්තේ, මෙම ව්‍යාපෘතියට මුදල් ලබා දෙන්නේ ඉන්දියාව බව යැයි බලධාරීන් පවසා ඇති බව ය.

"ඒකට බලධාරීන් කියලා තියෙන හේතුව තමයි මේ ක්‍රියාවලියට මුදල් ලබා දෙන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව රු. බිලියන 10ක් මේකට ලබා දෙනවා, ඒ නිසා මේකට ගන්න ඕන සියලු දේවල් ඉන්දියාවට සම්බන්ධ දේවල් ගන්න ඕනේ කියන එක තමයි ඔවුන්ගේ පැහැදිලි කිරීම. එහෙම කොහොම ද කරන්නේ?" ඔහු චෝදනා කළේ ය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය චෝදනා ප්‍රතික්ෂේප කරයි

මෙම චෝදනා සම්බන්ධයෙන් 2025 ජූලි 7 වන දා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, "ප්‍රසම්පදනයේ අවසන් තත්ත්වය වනුයේ, සුදුසුකම් ලැබූ ලංසු අතරින් සාරානුකූලව ප්‍රතිචාර දැක්වූ අවම පිරිවැය ඉදිරිපත් කළ සමාගම හඳුනා ගැනීමක් පමණක් වන අතර එහිදී කිසිසේ ත් ම අවසානාත්මක ප්‍රදානයක් හෝ ගෙවීමක් දක්වා කටයුතු කර නොමැත." යනුවෙනි.

එමෙන් ම, එහි තවදුරටත් දක්වා ඇත්තේ, "ලංසු ඉදිරිපත් කර මූලික අවශ්‍යතා අසම්පූර්ණ වීමෙන් අසමත් වූ පිරිස් හා සෙසු පාර්ශව විසින් ඍජුව ම හා වක්‍රව විවිධ මාධ්‍ය මගින් දක්වා සිටි පරිදි අසාමාන්‍ය ලෙස අධිමිලැති විදුලි සම්බන්ධතා ඒකක ලබා ගැනීමට රජය පියවර ගෙන ඇති බවට ත්, රජයට හිතවත්කම් ඇතැයි දක්වන ව්‍යාපාර වෙත මෙමගින් අයථා වාසි ලබා දීමට කටයුතු කර ඇති බවටත් දක්වන වාර්තා ප්‍රතික්ෂේප" කරන බව ය.

ප්‍රසම්පාදනය අවලංගු කළේ ඇයි?

මෙම ප්‍රසම්පාදනය අවලංගු කිරීම පිළිබඳව බීබීසී සිංහල ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාලගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු තහවුරු කළේ, ප්‍රසම්පාදනය පිරිනැමීම අවලංගු කර ඇති බවත් මුල් සිට යළි එම ක්‍රියාවලිය සිදු කෙරෙනු ඇති බව ත් ය.

නමුත් ඊට පෙර මෙම විදුලි සැපයුම් ඒකක මේ මොහොතේ අත්‍යවශ්‍ය ද යන්න විමසා බැලිය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

"මිල පරාසය වැඩියි [රේන්ජ් එක වැඩියි.] ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හරියට ගිහිල්ලා තියෙනවා. නමුත් අවශ්‍යතාව බලලා අපිට දැන් ම ම ඕනේ ද?, තව ටිකක් කල් බලලා, තව සැරයක් අපි ටෙක්නොලොජි එක බලලා ඉන්න ඕනේ ද?, මීට වඩා ලෝ කොස්ට් එකක් තියෙනවා ද?, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මේක සවි කර ගත්තොත් මීට වඩා අඩුයි ද? කියලා ඒවා බලන්න," අවශ්‍ය බව වැඩබලන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

'අපි බලාපොරොත්තු වෙනවා මේකට විධිමත් විමර්ශනයක් සිද්ධ වේවි කියලා' - වසන්ත මුදලිගේ

ප්‍රසම්පාදනය අවලංගු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසුවේ, එය "ජනතාව ලද ජයග්‍රහණයක්" බව ය"

ඔහු පෙන්වා දුන්නේ, තමන් හෙළි කළ කරුණු ව්‍යාජ බව පැවසූ රජය දැන් ප්‍රසම්පාදනය අවලංගු කරන බව නිවේදනය කර ඇති බව ය.

"මෙන්න අද දවසේදී ආණ්ඩුව නිකුත් කරලා තියෙනවා නිවේදනයක්, ටෙන්ඩර් ක්‍රියාවලිය අත්හිටුවනවා කියලා එතකොට මේක තමයි ජනතාව ලබපු ජයග්‍රහණය.

"අපි කියනවා මේක හොඳයි. යම් තොරතුරු ඉදිරිපත් කළා ම තොරතුරු ලබා දුන්නා ම, මේ පිළිබඳව අනාවරණයක් කළා ම මේ ටෙන්ඩරය අවලංගු කරන්න රජය තීරණය කරලා තියෙනවා," ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම "ප්‍රසම්පාදනය අදාළ සමාගම වෙත පිරිනැමුවේ ඇයි? එම සමාගම තෝරා ගත්තේ ඇයි? ඊට අත යටින් සිදුවුණු එකඟතාව කුමක් ද?" යන්න සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.