ගවයින් වෙනුවට ගව ශුකාණු ආනයනය කරන බව නාමල් කරුණාරත්න කියයි

විදේශ රටවලින් ගවයින් ආනයනය කරනවා වෙනුවට උසස් තත්ත්වයෙන් යුත් ගවයින් තෝරාගෙන ඔවුන්ගේ ශුක්‍රාණු මෙරටට ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ජාතික පශු සම්පත් සැලැස්ම එළිදැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ය.

රජය මීට පෙර ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ගවයින් ආනයනය කිරීමට කටයුතු කළ අතර එම ව්‍යාපෘතිය අසාර්ථක වූ බව ද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න එහිදී පැවසීය.

රජයේ සැලසුම ගැන නියෝජ්‍ය ඇමති කී දේ

විදේශ රටවලට ඩොලර් ඇදී යාම වැළැක්වීම සඳහා මෙරටට ගැලපෙන ගවයින් බිහිකර ගැනීම වෙනුවෙන් විශේෂයෙන් ම ලිංග නිර්ණය කරන ලද ගව ශුක්‍රාණු ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, "හොඳ ම සත්තු ලබා දීම සඳහා අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන් ම ලිංග නිර්ණය කරන ලද ශුක්‍ර වඩි ආනයනය කරලා ඉතාමත් දියුණු සත්තු 15,000කට වැඩි සංඛ්‍යාවක් රට තුළ නිර්මාණය කර ගැනීමේ සැලැස්මක් අපේ දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තියෙනවා.''

''පහුගිය කාලයේ ඔස්ට්‍රේලියාවෙන් ගෙනාවා හරක්. ගෙනල්ලා විශාල විනාශයක් රටට කළා. ඒ හරක් අපේ රටට ගැලපෙන්නේ නැහැ. හරක් 5,000ක් ගෙනල්ලා අද හරක් 400ක් වත් නැහැ. ඒ හරක්ට විශාල වශයෙන් ලෙඩ තිබුණා. අකටයුතුකම් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි එවැනි දේවල් තෝරනවා වෙනුවට ඒ දියුණු සතුන්ගේ තෝරා ගත්ත ශුක්‍රාණු අපේ රටට ගෙනල්ලා ඉවර වෙලා අපේ රටේ සත්තුන්ට අපිට උචිත විදිහට කර්මාන්තය ගොඩනගන සැලැස්මක අපි ඉන්නේ.''

''විශාල ඩොලර් ප්‍රමාණයක් අපි කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් පිටරටට යවනවා. ඒක උපරිම වශයෙන් අවම කර ගැනීම සහ ඒකට නැවතීමේ තිතක් තබන තැන දක්වා මේ කර්මාන්තය නගා සිටුවන එක අපේ ඉලක්කය වෙලා තියෙන්නේ," ඔහු පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කර ගත් අතර එහිදී ඔහු කියා සිටියේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවමින් සිටින බව ය.

'දැනටත් ශුක්‍රාණු ආනයනය කරනවා'

ගව ශුක්‍රාණු ආනයනය කිරීම දැනටමත් සිදුකරන බව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ මහනුවර සත්ව අභිජනන මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙක් පැවසීය.

"මහනුවර, කුණ්ඩසාලේ කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානයක් තියෙනවා. එතැන ගව ශුක්‍රාණු නිෂ්පාදනය කරන පිරිමි ගවයින් ඉන්නවා. ඒ සතුන් හරහා ගව ශුක්‍රාණු නිෂ්පාදනය කරනවා. ඒ වගේ ම විටින් විට විදේශ රටවලිනුත් ගවයින් ගෙනල්ලා ගව ශුක්‍රාණු ගන්නවා. ලංකාවෙත් හොඳ ගවයින් තෝරාගෙන ගව ශුක්‍රාණු නිෂ්පාදනය කරලා බෙදා හරිනවා.''

''ලංකාව කියන්නේ කුඩා රටක් නිසා විවිධත්වයක් ඇති කරන්න අවශ්‍ය නිසා හොඳ ජාන තියෙන පිරිමි ගවයින්ගෙන් ගත්ත ගව ශුක්‍රාණු ආනයනය අපි දැනටමත් සිදුකරනවා. ඒක ගොඩක් කල් ඉඳලා සිදුකරන ක්‍රියාවලියක්, අලුත් දෙයක් නෙමෙයි."

''ලංකාවට ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දියාව සහ පකිස්ථානය කියන රටවල්වලින් ගව ශුකාණු ආනයනය කිරීම සිදුකරනවා. මිල ප්‍රමාණය අධික නිසා ආනයනය කරන්නේ සුළු ප්‍රමාණයක්," එම වෛද්‍යවරයා පැවසුවේ ය.

කෘත්‍රිම සිංචනය කිරීම යනු කුමක් ද?

කෘත්‍රිම සිංචනය කිරීම යනු එළදෙනකගේ ගර්භාෂයට නිරෝගී පිරිමි ගවයෙකුගෙන් ගන්නා ශුක්‍රාණු තැන්පත් කොට පැටවෙකු ලබා ගැනීම සඳහා කරන ක්‍රියාවලියක් බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ය.

ඇය සඳහන් කළේ, නිරෝගී පිරිමි ගවයෙකුගෙන් ලබා ගන්නා ශුක්‍රාණු වසර 06ක් දක්වා සුරක්ෂිතව තබා ගත හැකි බව ය.

"අවුරුද්දකට එළදෙනෙකගෙන් පැටවෙකු ලබා ගැනීම සඳහා ස්වභාවිකව ක්‍රම දෙකක් තියෙනවා. පළමු ක්‍රමය හැටියට හොඳ පට්ටි ගොනෙක් දාලා පැටවූ ගන්නත් පුළුවන්. ඒ සඳහා අපි භාවිතා කරන්නේ ලංකාවේ ඉන්න පට්ටි ගොනුන් විතරයි.''

''ඊට අමතරව ලෝකයේ පිළිගත් තවත් ක්‍රමයක් තියෙනවා පිරිමි ගවයෙකුගෙන් කෘත්‍රිමව ගත්ත ශුක්‍රාණු එළදෙනකගේ ගර්භාෂයේ තැන්පත් කළා ම ඒක සංසේචනය වෙලා පැටියෙක් බිහිවෙනවා. මේ ක්‍රමය හරහා පට්ටි ගොනෙක් නඩත්තු කරන්න යන වියදම අඩු වෙනවා. ඒ වගේ ම කෘත්‍රිම සිංචන ක්‍රියාවලිය සඳහා අපි විදේශ රටවලින් ගව ශුක්‍රාණු ආනයනය කිරීම සිදුකරනවා.''

''ඒ වගේ ම මහනුවර, කුණ්ඩසාල ප්‍රදේශයේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගව ශුක්‍රාණු නිෂ්පාදන මධ්‍යස්ථානයක් තියෙනවා. මේ ගව ශුක්‍රාණු නිෂ්පාදනය කරලා අවුරුදු 06ක් විතර තියාගන්න පුළුවන්. හොද වර්ගයේ සතෙකුගේ නම් ඒ ශුක්‍රාණු අරන් ලංකාව පුරා තියෙන පශු වෛද්‍ය කොට්ඨාස හරහා බෙදා හරින්න කටයුතු කරනවා සතුන් බිහි කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන්," ඇය පැවසුවා ය.