'දෛනික ජල සැපයුම සැලකිය යුතු කාලයකට අඩාළ යි': ජල සම්පාදන මණ්ඩලය කියන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අපේ ගෙදර වතුර එන්නේ රෑ 12න් පස්සේ, අපේ ගේ ටිකක් උඩට වෙන්න තියෙන්නේ පහළ ගෙවල්වල දවල්ට වතුර පාවිච්චි කරද්දි අපිට වතුර නැහැ."
දිවයිනට බලපා ඇති වියළි කාලගුණයේ එක් ප්‍රතිඵලයක් ලෙස ජලය ලැබිමේ දුෂ්කරතාවයෙන් පීඩා විඳින [අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ] කුමාරසිංහ මේ දිනවල සිය අත්දැකීම බීබීසි සිංහල සේවයට පැවසීය.
පසුගිය වසරේ අවසන් කාලයේ සහ මෙම වසරේ ජනවාරි මාසය පුරා පැවති වැසි සහිත කාලගුණය මදක් අඩු වී වැසි රහිත උණුසුම් කාලගුණයක් උදාවත් ම ජල ගැටලුව මෙන් ම විදුලිය සැපයීමේ අර්බුදයක් පිළිබඳව ද මේ වන විට ඉඟි පළ වෙමින් තිබෙනු නිරීක්ෂණය කළ හැකි ය.
සති තුනක් පමන තිස්සේ කුමාරසිංහ ඇතුළු පවුලේ සාමාජිකයින් මෙම ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
"ළමයි තුන් දෙනෙක් ඉන්නවා, ඒ අයට [ඇඟ] හෝද ගන්නවත් බැහැ. රෑට ටැංකියට පිරෙන වතුර ටිකෙන් දවස ම බේරගන්න වෙලා තියෙන්නේ. එක දවසක් තිබුණා වතුර නැත්තට ම නැති වෙලා, අල්ලපු ගෙවල්වල ළිංවලින් ගෙනල්ලා තමයි පාවිච්චි කළේ," ඔහු තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේ ය.
'කෑම කෑවට පස්සේ අත හෝදගන්නවත් සමහර වෙලාවට වතුර නෑ'
කළුතරට නුදුරින් අවන්හලක් පවත්වාගෙන යන ෂෙහාන් [අන්වර්ථ නාමයකි] ද ජලය ලැබීමේ සීමා හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු කරගත නොහැකිව පීඩාවට පත්ව සිටී.
"කෑම කඩයක් වුණා ම වතුර කියන්නේ ඕන ම දෙයක් පිඟන්, කෝප්ප හෝදන්න විතරක් නෙමෙයි කෑම කෑවට පස්සේ අත හෝදගන්නවත් සමහර වෙලාවට වතුර නෑ," ඔහු පැවසීය.
මේ දිනවල පවතින ජල ගැටලුව හේතුවෙන් සිය ව්‍යාපාර කටයුතු ද අඩාල වී ඇති බව ෂෙහාන් පවසයි.
"බොන්න බෝතල් වතුර වෙන ම සල්ලි දීලා ගන්න වෙලා තියෙනවා, ඒක වෙන ම වියදමක්. බිල නම් වෙලාවට එනවා ඒත් වතුර දෙන්නේ නැහැ හරි විදිහට," යැයි ඔහු කනස්සල්ලෙන් පැවසීය.
දෛනික ජල සැපයුම 'සැලකිය යුතු කාලයකට අඩාළ යි'
පෙබරවාරි 25 වන දා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කරන ලද නිවේදනයකින් පරිභෝගිකයින් වෙත දැනුම් දී තිබුණේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෛනික ජල සැපයුම සැලකිය යුතු කාලයක් අඩාළ වන බව ය.
ජල මූලාශ්‍රවල ජල මට්ටම් පහළ අගයක පැවතීමත් ජනතාවගේ ජල පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යාමත් මෙම ජල කප්පාදුවට හේතු ලෙස එම නිවේදනයේ සඳහන් විය.
එසේ ම උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින්ට බවුසර් මගින් ජලය ලබා දීමට කටයුතු සලසා ඇති බවත් මෙම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ත් එම මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබිණි.
ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීමෙන් ඇති වූ ගැටලුව
"අපි සමාන්‍ය විදියට ජලය නිෂ්පාදනය කරනවා. නමුත් ජනතාවගේ ජල පරිභෝජනය වැඩි වෙලා තියෙනවා උෂ්ණත්වය වැඩි වෙච්ච නිසා. පාවිච්චිය 20%කින් විතර වැඩි වෙලා තියෙනවා. අපි අපේ නිෂ්පාදනයත් 10%කින් විතර වැඩි කරලා තියෙනවා. නමුත් ඊටත් වඩා පාවිච්චි කරනවා," මේ දිනවල පවතින ඉල්ලුමට අනුව සැපයුම ලබා දීමේ නොහැකියාව පිළිබඳව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පාරිසරික හා සමාජයීය අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වජිරා තිරාණගම බීබීසි සිංහල සේවය කළ විමසිමකදී පැවසුවා ය.
ඉල්ලුම වැඩි වීම හේතුවෙන් ජලය බෙදා හැරීමේ පීඩනය අඩු වී ඇති බැවින් උස් ප්‍රදේශවලට ජලය ලබා දීමේ අපහසුතාවක් ඇති වී තිබෙන බව ඇය පැවසුවා ය.
"සමාන්‍ය දවස්වලට ආපු ප්‍රෙෂර් එකකින් ගෙවල්වලට වතුර ලැබෙන්නේ නැතුව ඇති මේ දවස්වල ඒක තමයි තියෙන ප්‍රශ්නේ," ඇය සඳහන් කළා ය.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවල ජල මට්ටම අඩුවෙමින් පැවතිය ද එය මෙතෙක් ජල සැපයුමට බාධාවක් වන තත්ත්වයකට පත්ව නැති බව ද නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරිය පැවසුවා ය.
පිටරටින් ගෙන්වන ලද හුණුගල්වල ක්‍රෝමියම් අගය වැඩි වීමෙන් ගැටලුවක්
පානීය ජලය පිරිසිදු කිරීම සඳහා ජල සම්පාදන මණ්ඩලය විසින් පිටරටින් ගෙන්වන ලද හුණුගල්වල [ලයිම්] ක්‍රෝමියම් අගය නියමිත ප්‍රමාණයට වඩා වැඩි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පෙබරවාරි 6 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ හරහා පිළිකාව වැළඳීමේ අවදානමක් ඇති බවට ද මන්ත්‍රීවරයා අනතුරු ඇඟවීය.
"ලංකාවට කන්ටේනර් 27ක් ඇවිල්ලා තියනවා. මෙට්‍රික්ටොන් 550ක් ඇවිල්ලා තියෙනවා ලයිම්. මේ ලයිම් ලංකාවට එනකොට ම මෙහේ කණ්ඩායමක් ගිහිල්ලා ඒක ටෙස්ට් කරලා තියෙනවා. ටෙස්ට් කරලා තියෙද්දී, ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ ලැබ් එකේ ටෙස්ට් කරනවා. ලැබ් එකේ ටෙස්ට් කරා ම වාර්තා වෙනවා මේ ලයිම්වල ක්‍රෝමියම් කන්ටෙන්ට් එක තියෙනවා 14ක්. ඒ කියන්නේ පිළිකා හැදෙන්න පුළුවන් ලෙවල් ඒකේ ක්‍රෝමියම් කන්ටෙන්ට් එකක් තියෙනවා මේ ලයිම්වල," ඔහු පැවසීය.
ප්‍රමිතියට අනුව, හුණුගල් කිලෝ ග්‍රෑම් එකක පැවතිය යුතු ක්‍රෝමියම් අගය විය යුත්තේ මිලිග්‍රෑම් 10කි.
'අපි භාරගෙන නැහැ. ඒවා අපි රිටර්න් කරනවා'
මේ පිළිබඳව ද බීබීසි සිංහල සේවය නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වජිරා තිරාණගමගෙන් විමසීමක් කළේ ය.
"අපි තව ම ඒවා භාරගෙන නැහැ. සාම්පල් ටෙස්ට් කරලා තමයි ඒ ගේන සප්ලයර්ගෙන් ඒවා භාර ගන්නේ. අපි නිෂ්පාදනය කරන රටට ගිහිල්ලා චෙක් කරනවා. එතනදී සාම්පල් පාස් වෙච්ච නිසා තමයි ලංකාවට ඒක ගේන්න අවසරය දීලා තියෙන්නේ. නමුත් මෙහාට ගෙනාවට පස්සෙත් අපි ටෙස්ට් කරනවා. එහෙම ටෙස්ට් කරපු සාම්පල් ෆේල් වෙලා තියෙනවා. එතකොට ඒවා අපි භාරගෙන නැහැ. ඒවා අපි ආපහු රිටර්න් කරනවා. ඒ වෙනුවෙට සප්ලයර් අපිට හරි තත්ත්ව සහතිකයට තියෙන මැටීරියල් දෙන්න ඕනේ," ඇය පැවසීය.
නියං සායෙන් දොළොස් දාහකට වැඩි පිරිසක් අමාරුවෙන්
පවතින වැසි රහිත වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 2ක පවුල් 2,295ක පුද්ගලයින් 12,308 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙබරවාරි 27 වන දා නිකුත් කරන ලද තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.
කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 393ක පුද්ගලයින් 6,468 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1.902ක පුද්ගලයින් 5,840ක් මෙසේ පිඩාවට පත්ව ඇති බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත.
පවතින උණුසුම් සහිත කාලගුණය මැයි මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මීට ඉහතදී බීබීසි සිංහල සේවයට පැවසීය.














