ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර තීරු බදු සාකච්ඡා පැවැත්වෙන්නේ කොහොම ද?

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් විසින් පසුගියදා ශ්‍රී ලංකාවට 30%ක තීරු බදු පැනවීමක් ප්‍රකාශයට පත් කළේය.

මෙලෙස පැනවු තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අද (ජූලි 18) සිට සාකච්ඡා පවත්වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ශ්‍රී ලංකාවේ නියෝජිතයන් කණ්ඩායම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ අදාළ රාජ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බවයි.

'නියෝජිත කණ්ඩායමක් ලංකාවෙන් යන්නේ නැහැ'

ඇමෙරිකා එක්සත් ජනපදය සමග තීරු බදු ප්‍රතිශතය අවම කර ගැනීම සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා සඳහා මෙරටින් නියෝජිතයින් පිරිසක් එක්වන බවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිදුකර තිබු ප්‍රකාශයට අනුව එවැනි කණ්ඩායමක් මෙරටින් පිටව ගියාද යන්න සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයාව බීබීසී සිංහල සේවය මගින් සම්බන්ධ කර ගන්නා ලදී

එහිදී ඔහු මෙලෙස කරුණු පැහැදිලි කළේය.

"ලංකාවේ ඉදලා නියෝජිතයින් පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා යන්නේ නැහැ. ලංකාවේ නියෝජිතයින් පිරිස මාර්ගගත ක්‍රමයට මෙම සාකච්ඡාවට එක්වෙනවා. ඇමෙරිකාවේ ඉන්න ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු කණ්ඩායමක් එතනට ගිහින් මේ සාකච්ඡා සඳහා එක්වෙනවා. අද ලංකාවේ වේලාවෙන් හවසට තමයි මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ" ඔහු පැවසුවේය.

මොකක්ද මේ තීරු බදු පැනවීම ?

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවලින් එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා විශ්වීය තීරු බද්දක් පැනවීමට තීරණය කළේ පසුගිය අප්‍රේල් මස 03 වනදාය. එහිදී අවම ප්‍රතිශතය 10%ක් වූ අතර ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ප්‍රකාශයට පත්කර තිබිණි.

මෙම නව බදු ප්‍රතිපත්තියට ලොව පුරා රටවලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර චීනය ප්‍රකාශ කළේ මෙම බද්ද ඉවත් නොකළහොත් ඊට එ‍රෙහිව දැඩි ප්‍රති පියවර ගන්නා බවයි. එක්සත්ව ඊට ප්‍රතිවිරෝධය දක්වන බව යුරෝපා සංගමය ද ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාවට එහිදී පනවනු ලැබූවේ 44 %ක තීරු බද්දකි. එවන් පසුබිමක ශ්‍රී ලංකා රජය ඇමෙරිකා වෙළඳ නියෝජිතායතනය සමඟ වහාම සාකච්ඡා ආරම්භ කරමින් මේ සඳහා සංශෝධන එකඟතා සඳහා පැමිණීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව සහ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ එම සාකච්ඡා සඳහා එක්වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.

ඉකුත් ජූලි මස 12 වැනි දා ඇමෙරිකාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පැනවූ 44% තීරු බද්ද, 30% දක්වා අඩු කරමින් නව තීරුබදු යෝජනාව පිළිබඳ ලිඛිතව දැනුම් දෙන ලදී. එම 30% ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනය සමඟ අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසූවේය.

ශ්‍රී ලංකාවේ වැඩි ම අපනයන ඇමෙරිකාවට

ශ්‍රී ලංකාවේ අපනයනවලින් වැඩි කොටසක් අපනයනය කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය වෙතයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව එම කොටස සමස්ත ඇඟලුම් අපනයනවලින් 23%කි.

අනෙකුත් රටවල්වලට ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයන එම ප්‍රතිශතයට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනියි.

වැඩි ම අපනයන සිදු කරන රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන එක්සත් රාජධානියට සමස්ත අපනයනවලින් අපනයනය කර ඇත්තේ 7.1ක් පමණි.

තීරු බදු අඩු කරගත් ආසියාවේ සෙසු රටවල් මොනවාද ?

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බදු අඩු කර ගැනීමට බොහෝ රටවල් මේ වන විටත් කටයුතු කරමින් සිටියි. විශේෂයෙන් අසල්වැසි ඉන්දියාව ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමකට එළඹීමට නියමිතව ඇති බව මීට දින කිහිපයකට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළ කළේය.

බංග්ලාදේශයට ද ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 35%ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය අඩු කර ගැනීම සඳහා මේ වන විටත් සාකච්ඡා සිදුකරමින් සිටියි.

මේ අතර ඉන්දුනීසියාවට පැනවූ 32%ක තීරු බද්ද පසුව 19%ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගනු ලැබීය.

එමෙන්ම ඇමෙරිකාව විසින් තායිවානයට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය 20% ක් පමණි.

'අපනයන කර්මාන්තයට මේක බලපානවා'

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු සියලු අපනයන කර්මාන්තවලට ඇමෙරිකාව විසින් පැනවූ 30%ක තීරු බද්ද ඍජුව බලපානු ඇතැයි කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ඊට කරුණු කිහිපයක් බලපාන බවයි.

"ශ්‍රී ලංකාවේ දැනටමත් විදුලිය, ජලය වගේ පහසුකම්වලට මිල ගොඩක් ඉහළ අගයක තියෙන්නේ. ඒ වගේ ම, කම්කරු වැටුප් වැඩි යි. ඉන්දියාවේ මේ සියලු දේ සඳහා යන වියදම අඩු යි. ඒ අතරේ, අපට වඩා අඩු තීරු බද්දක් ඉන්දියාවට දුන්නොත් මේ තියෙන තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන්. ආයෝජකයෝ සියලු දෙනා ඉන්දියාවට යයි. දැනටමත් වියට්නාමයට අපට වඩා අඩු තීරු බද්දක් පනවලා තියෙන්නෙ. මේ තත්ත්වය ඇඟලුම් කර්මාන්තයට ගොඩක් බලපානවා," ඔහු පෙන්වා දුන්නේ ය.