ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මලාපවහන නළවලත් රත්‍රන් ඇති නගරය
ෆිරෝසාබාද් යනු ඉන්දියාවේ වීදුරුවලින් පිරි අගනුවරයි. එය සම්ප්‍රදායික වීදුරු වළලු නිෂ්පාදනය සඳහා වඩා ත් ප්‍රසිද්ධ ය. නමුත් සැඟවුණු සහ අතිශයින් වෙහෙස මහන්සි වී සොයාගත යුතු තවත් නිධානයකට මෙම නගරය උල්පතකි.
"එයා සාරිය පුච්චලා ඒකෙන් අපිට නුමුහුන් රිදී කෑල්ලක් දුන්නා," මගේ මව මීට වසර 30කට පෙර ෆිරෝසාබාද් නගරයේ ඇගේ නිවසේ සිදු වූ සිදුවීමක් විස්තර කරමින් පැවසුවා ය. ඇගේ කතාවේ මිනිසා ඉන්ද්‍රජාලිකයෙකු නොව රත්‍රන් නිස්සාරණය කරන්නෙකි. මගේ මවගේ ගමේ සිටින ඒ හා සමාන බොහෝ ශිල්පීන් මෙන්, ඔහු වටිනා ලෝහ ලබා ගැනීම සඳහා පැරණි සාරි එකතු කරමින් ගෙයින් ගෙට ගියේ ය.
1990 දශකය වන තුරු ම සාරි මෝස්‌තර සඳහා බොහෝ විට නුමුහුන් රිදී සහ රත්‍රන්වලින් කරන ලද නූල් යොදා ගෙන තිබුණු අතර, වස්තු සොයා යන්නාක් මෙන් මා මගේ මවගේ ඇඳුම් අල්මාරියට රිංගා ඇගේ දිළිසෙන ඇඳුම් සොයමින් සිටි කාලය මට සිහිපත් වෙයි. නමුත් ඇය මට පැවසූ පරිදි, රත්‍රන් නිස්සාරණය කළ පුද්ගලයින් සොයා ඇත්තේ ඇඳුම්වලටත් වඩා වටිනා කුණු කසළ සහ මෙම නගරයට විශේෂිත වූ කසළ වර්ගයකි.
ඉතින් දැන්, නිස්සාරණය ගැන ගුප්ත ලෙස පෙනෙන විපර්යාසය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීම සඳහා, මම ෆිරෝසාබාද් වෙත ආපසු මගේ වාහනය ධාවනය කරමින් සිටියෙමි. ෆිරෝසාබාද් යනු, එය ආසන්නයේ පිහිටි තාජ් මහල (කී.මී. 45ක් බටහිරට) නිසා එහි වටිනාකම වැසී ගිය ඉහළ වටිනාකමක් ඇති ලෝහ සම්බන්ධයෙන් නොව ඉන්දියාවේ වීදුරු වළලුවලින් පිරි අගනුවර ලෙස වඩා ත් ප්‍රසිද්ධ නගරයකි. නමුත් මා සොයා ගත් පරිදි, නිරන්තරයෙන් මෙම කටයුත්තේ යෙදෙන ඇතැම් ශිල්පීන්ට නගරය වරෙක වටිනා ලෝහ මලාපවහන නළ හරහා ගලා ගිය රන් ආකරයක් වැනි ස්ථානයකි.
ක්‍රිස්තු වර්ෂ 1354දී දිල්ලි සුල්තාන් ෆිරෝස් ෂා තුග්ලක් විසින් ස්ථාපනය කරන ලද ෆිරෝසාබාද් මාලිගා නගරයක් ලෙස ඉදිකරන ලද අතර එය රාජකීය ඉතිහාසඥ ෂම්ස්-ඉ-සිරාජ්ගේ ලේඛනවලට අනුව පවුරු වලින් වට වූ ෂාජහන්බාද් (අද පැරණි දිල්ලිය, තාජ් මහල ඉදිකළ එම පාලකයා විසින් නිර්මාණය කරන ලදී) නගරය මෙන් දෙගුණයක් විශාල විය. ඉතිහාසඥයෙකු සහ 'ද ෆොගොට්න් සිටීස් ඔෆ් දිල්ලි'හි (The Forgotten Cities of Delhi) කතුවරයා වන රානා සාෆ්විට අනුව, එය "පසුකාලීන මෝගල් යුගයේ බලකොටු සඳහා මූලාකෘතියක් ලෙස භාවිත කරන ලද්දේ මෙය මහජනතාව සඳහා දිවාන්-ඊ-ආම් [ප්‍රේක්ෂක ශාලාවක්] සහ වංශාධිපතියන් සඳහා දිවාන්-ඊ-ඛාස් [පෞද්ගලික ප්‍රේක්ෂකාගාරයක්] පිළිබඳ සංකල්පය මුල් වරට හඳුන්වා දෙන ලද" බැවිනි.
එම පැරණි නගරය ගැන හෝඩුවා නොමැති තරම් බව සාෆ්වි සටහන් කරන අතර තුර අද වන විට ෆිරෝසාබාද් නගරයට එයට ම ආවේණික වූ විභූතියක් ඇති බව මම දුටුවෙමි. මා නගරය තුළට මාගේ වාහනය පදවමින් යන විට, සෑම වීථියක් ම පාහේ උදෑසන හිරු රැස් වැටී දිදුළන සියලු පැහැයන්ගෙන් යුත් වර්ණවත් වීදුරු වළලුවලින් පිරුණු තල්ලු කරන කරත්ත සහ ට්‍රක් රථවලින් සැදි බහුරූපේක්ෂයක් බඳු විය. විවාහක කාන්තාවන්ට සහ මෑතකදී පතිකුලයට එළඹි මනාලියන්ට සෞභාග්‍යය සහ වාසනාව ගෙන දෙන බව සංකේතවත් කරමින් ඉන්දියානු සම්ප්‍රදාය තුළ වළලුවලට වැදගත් ස්ථානයක් හිමි වේ. ඇතැම් විට ඔවුහු දෑත ම වළලුවලින් පුරවා ගනිති. අද වන විට ආසන්න වශයෙන් වීදුරු වළලු කර්මාන්ත ශාලා 150ක් ඇති ෆිරෝසාබාද් නගරය වීදුරුවලින් පිරි නගරය සහ වළලුවලින් පිරි නගරය යන අන්වර්ථ නාමවලින් හැඳින්වීම පුදුමයක් නොවේ.
මෙම කර්මාන්තය අවම වශයෙන් වසර 200ක් පමණ ඈත අතීතයකට දිව යයි. එක් මතයක් නම්, ෆිරෝස් ෂා බැලීමට පැමිණි අමුත්තන්ගෙන් කිහිප දෙනෙකු මෙම ස්වර්ණාභරණ විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති රාජස්ථානයෙන් පැමිණි සංක්‍රමණිකයින් වූ බව ය. ඔවුන් එය දේශීය ශිල්පීන්ට ඉගැන්වූ අතර, කාලය ගෙවී යත් ම, කර්මාන්තය පසුව රාජධානියේ රජ මැදුරුවල සහ වංශාධිපතියන්ගේ ඉහළ ඉල්ලුමක් ලද වීදුරු බෝතල් සහ විදුරු ලාම්පු නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත විය.
පළමු ලෝක සංග්‍රාමයෙන් සහ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු විදේශීය ආනයන තහනම් කිරීම් ක්‍රියාත්මක වීමත් සමග ෆිරෝසාබාද්හි වීදුරු කර්මාන්තය ඉහළ වර්ධනයක් අත්වින්දේ ය. 1947 වසරේ ඉන්දියාවේ නිදහසින් පසු, එම නගරය ඉතා ඉක්මනින් ඉන්දියාවේ ප්‍රමුඛ වීදුරු - සහ වළලු - සැපයුම්කරු බවට පත් වූ අතර අද ඉන්දියාවේ වීදුරු නිෂ්පාදනයෙන් දළ වශයෙන් 70%කට පමණ හිමිකම් කියයි.
එය මට කොතරම් පුදුමයක් ද යත්, නගරයේ සිදු කළ සංචාර කිහිපයකින් පසු සහ වීදුරු කර්මාන්තයට සම්බන්ධ ප්‍රදේශවාසීන් හා නිවැසියන් සමග සාකච්ඡා කිරීමෙන් පසු, වළලු සෑදීමෙන් පසුව පමණක් මතුවන රත්‍රං නමැති තවත් වටිනා වෙළෙඳ භාණ්ඩයක් ෆිරෝසාබාද්හි නිර්මාණය කරන බව මම දැන ගත්තෙමි.
සම්ප්‍රදායිකව, නගරයේ නිෂ්පාදනය කරන වීදුරු වළලු නුමුහුන් රන්වලින් ඔප දමා හැඩ කරනු ලැබ තිබේ. මෙයින් අදහස් කරන්නේ එම ක්‍රියාවලියේදී භාවිත කරන ලද තවත් බොහෝ භාණ්ඩ වටිනා ලෝහ සමග ගැටී ඇති බව ය: ඔප දැමීමට භාවිත කරන ද්‍රව්‍යවලින් පිරි බෝතල් සහ බහාලුම්, ඔප දැමීම සඳහා භාවිත කරන රෙදි කැබලි, පිරිසිදු කළ වළලු දමා ඇති බාස්කට් සහ කැඩුණු අත්පළඳනාවල කැබලි පවා ඒ අතර වෙයි. මෙම රන් මිශ්‍ර අපද්‍රව්‍ය වළලු නිෂ්පාදන කම්හල්වලින් සහ වැඩපොළවල්වලින්, සහ ශිල්පීන්ගේ නිවෙස්වලින් බොහෝ විට නගරයේ මලාපවහන නළ මාර්ගවලට බැහැර කරන ලද අතර ඉඳුරා ම එමගින් ධනය ලබා ගත හැකි රහසිගත ප්‍රවාහයක් නිර්මාණය විය. එකතු කර පිරිසිදු කළ පසු, මෙම අපද්‍රව්‍ය ලෝහ නිස්සාරණය කිරීම සඳහා භාවිත කරන ලදී.
"අනවධානයෙන් ඉන්න අයට, මේ ද්‍රව්‍ය කසළවලට වඩා වැඩි දෙයක් නැහැ," ෆිරෝසාබාද්හි ස්වර්ණාභරණ අලෙවිසලක් හිමි මොහොමඩ් සුල්තාන් පැවසීය. "ඒත් ලෝහය ගැන හුරුපුරුදු අය මෙම 'කසළවල' සැබෑ වටිනාකම දන්නවා."
සුල්තාන් වසර 25කට අධික කාලයක් රන් නිස්සාරණය කරන්නෙකු ලෙස ද කටයුතු කර ඇති අතර, මෙම ඉවතලන ද්‍රව්‍යවලින් ලෝහය ලබා ගැනීමේ තාක්ෂණය වර්තමානයේ දන්නේ ශිල්පීන් අතළොස්සක් පමණක් බව ත් එය ලෝහ වර්ගය අනුව වෙනස් වන බව ත් පැහැදිලි කළේ ය.
"රන් අවශේෂ වෙන් කර ගන්න ඉවතලන රත්‍රන් බෝතල් තිනර් හෝ ටර්පන්ටයින් බාල්දියක පැය කිහිපයක් බහා තබා ගන්නවා," සුල්තාන් පැහැදිලි කළේ ය. "ඒ අවශේෂ තිනර් ද්‍රාවණය මතුපිටට පැමිණීමට සලස්වලා රෙදි කෑල්ලකට අරගෙන ඒකට වේලෙන්න ඉඩ දීලා අවසානයේ අළු බවට පත් වෙන තුරු පුළුස්සනවා. ඊට පස්සේ, ඒ අළු, රසායනික ද්‍රව්‍ය කිහිපයක් එක්ක එකතු කරලා, උදුනක් හෝ හීටරයක් මත අතුරා ගත්ත ඝන වැලි තට්ටුවක් මත තියලා, දියර බවට හැරෙන තුරු රත් වෙන්න ඉඩ දෙනවා. සිසිල් වෙද්දි රන් අවශේෂ ටික වැලිවලට පහළින් ඉතිරි වෙලා දියරය වීදුරු බවට පරිවර්තනය වෙනවා."
"මෙම කලාව ප්‍රගුණ කරන්න ගොඩක් ඉවසීම සහ ඉගෙනීම අවශ්‍ය යි. ඒක අනිවාර්යයෙන් ම සතියකින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නොවෙයි," සුල්තාන් පැවසුවේ, ඔහුට තනිව ම ලෝහය නිස්සාරණය කිරීමට වසර කිහිපයක් ගත වූ බව ද පවසමිනි.
නිස්සාරණය කළ පසු රත්‍රන් ස්වර්ණාභරණ හිමියන්ට විකුණනු ලැබේ. වසර ගණනාවක් පුරාවට නගරය අත්විඳ ඇත්තේ කර්මාන්තය සඳහා ස්වභාවිකව ම මනා හැකියාවක් ඇති, සිය දෛවය නැවත ලියා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන සහ ස්වල්ප නමුත් සැලකිය යුතු වාසනාවක් ඇති අඩු සමාජ මට්ටමකින් පැවත එන රත්‍රන් නිස්සාරණය කරන්නන් පමණි. "මේ කර්මාන්තය කිහිප දෙනෙකු කෝටිපතියන් බවට පත් කරලා තියෙනවා," ෆිරෝසාබාද්හි තවත් රන් නිස්සාරණය කරන්නෙකු වන මොහොමඩ් කාසිම් ෂාෆි පැවසුවේ ය.
කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳ ලේඛනගත වාර්තා නොමැති වුව ද, සිය දෙමව්පියන්ගෙන් හෝ මුතුන්මිත්තන්ගෙන් ඉගෙන ගත් ප්‍රදේශවාසීන් ගණන් බලා ඇත්තේ, එය පසුගිය වසර 80 හෝ ඊට වැඩි කාලයක සිට භාවිතයෙන් පැවත එන්නක් විය හැකි බව ය. කෙසේ වෙතත්, මෑත කාලයේ රන් මිල ඉහළ ගොස් ඇති අතර, ඔප දැමීමේ කටයුතු සඳහා බොහෝ දුරට මිල අඩු රසායනික ද්‍රව්‍ය ආදේශ වී ඇත. එබැවින්, කුසලතාව පරම්පරාවෙන් පැවත එන නමුත්, එය [කර්මාන්තය] ක්‍රමයෙන් වියැකී යයි.
"රත්‍රන් නිස්සාරණය කිරීම නිවරද්‍ය සහ සුවිශේෂී කුසලතාවල එකතුවක් වුණත්, ලෝහයට ආදේශක එන්නත් කලින් ඉඳලා ම, ඒකෙ භාවිතය දැනගෙන හිටියේ සීමිත පිරිසක්," ෂාෆි පැවසීය. "ඒත් වෙනත් රසායනික ද්‍රව්‍යවලින් වළලු ඔප දාන්න සහ නිර්මාණය කරන්න පටන් ගත්තාට පස්සේ, රත්‍රන් හිඟය නිරායාසයෙන් ම කර්මාන්තය අඳුරට ඇදලා දැම්මා."
කර්මාන්තය [වළලු] තුළ රත්‍රන් භාවිතය සැලකිය යුතු ලෙස අඩු වී ඇතත්, ඇතැමෙක් තවමත් ඒවා ඔවුන්ගේ අත්පළඳනා සඳහා යොදා ගනිති. ෆිරෝසාබාද්හි කඩ වීදි දිගේ ඇවිදිමින්, මම නුමුහුන් රත්‍රන් භාවිත කර අත්පළඳනා නිර්මාණය කිරීමට හෝ හැඩ කිරීමට සමවැදී සිටි ඇතැම් ශිල්පීන්ගේ වැඩපොළවල් කිහිපයක් පසු කර ගියෙමි.
ඊට පසු දා නිවස බලා පැමිණීමට කුලී රථයක නැග වාඩි වී සිටි අවස්ථාවේ මා අවබෝධ කර ගත්තේ, එහි රහස දැන ගැනීමත් සමග මා දැන් නගරය කෙතරම් වෙනස් ලෙස දකින්නේ ද යන්න ය. අතීතයේ සහ වර්තමානයේ ෆිරෝසාබාද් නගරයේ වස්තු සොයා ගිය රත්‍රන් නිස්සාරණය කරන්නන් පිළිබඳ කතා මා දැන් අසා ඇති නිසා වටිනා ලෝහ බවට පරිවර්තනය වූ මගේ මවගේ ඉවත ලන ද්‍රව්‍ය ගැන මතකයන් ගැඹුරු අරුතක් ඇති කළේ ය. මා දන්නා යැයි සිතූ නගරයක්, මතුපිටට යටින් ගලා ගිය එතරම් නොදන්නා ඉතිහාසයක් සහිත නගරයක් බවට පත් කළ කතාවක් ඔවුහු එක්ව ගෙතූහ
බීබීසී ට්‍රැවල් සඳහා රම්ෂා සුබයිරි නිර්මාණය කළ ලිපියකි.