බොහෝ වෘත්තීන්ට බලපාමින් ඇති 'සැඟවුණු අධික වැඩ'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බොහෝ ආයතනවල සේවකයින්,තමන්ට පැවරුණු රාජකාරි සම්පූර්ණ කිරීම සඳහා, කිසිවෙකුගේ අවධානයට ලක් නොවී, සිය රාජකාරී වේලාවෙන් පසුවද පැය ගණනක් වෙහෙසෙති.
මේ වනවිට ඉතාම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම නරක යයි කිව නොහැකි නමුත්, ඉතාම අහිතර ප්‍රතිඵල ලැබෙන අඳුරු පැතිකඩක්ද එහි තිබේ.
ටොරොන්ටෝ හි ජාත්‍යන්තර අලෙවිකරණ කළමනාකාරිණියක වන වන බෙත්, යුරෝපයේ විනෝද සංචාරයක යෙදෙමින් සිටින්නීය. නමුත් ඇයට තවමත් රැකියාවෙන් නිවාඩු ලබාගෙන සිටින බවක් දැනෙන්නේ නැත.
එයට හේතුව ඇය නිවාඩු ලබාගෙන සිටින විටදී පවා WhatsApp හරහා තම කණ්ඩායම පරීක්ෂා කරමින් මෙන්ම වෘත්තීය කටයුතු සම්බන්ධ පොඩ්කාස්ට්වලට සවන් දෙමින් පැය ගණනක් ගත කිරීමයි.
"මම නිවාඩුව ගත කරන අතරේ, දුම්රියකින් මගේ කාර්යාලයේ ඉතාලි ශාඛාවට ගොස් ඔවුන් සමඟ කතාබස් කර එන්න සුදානමින් සිටිනවා." ඇය පවසයි. "සංචාරය අතරතුරදීත් රැකියාව හා සම්බන්ධ දේ කිරීමට පෙළඹීම මගේ ප්‍රශ්නයක්ද?"
මිලියන සංඛ්‍යාත සේවකයින් සඳහා, දිනකට වැඩ කරන කාලය දීර්ඝ වී තිබේ. බොහෝ දෙනකුට මේ වනවිට වැඩ කිරීම සඳහා වැඩි පැය ගණනක් සම්මත වී ඇති අතර, බොහෝ විට සාමාන්‍ය වැඩ කරන දිනවලින් බාහිරව ද සිය රාජකාරි ඉටු කිරීමට සේවකයන්ට සිදු වේ.
ඔබට නොදැනීම පුද්ගලික කාලය තුළට කාන්දු වන, වෘත්තීය රාජකාරිවල කොටසක් ලෙස සෘජුව නොදැනෙන, සති අන්තයේ සමාජ මාධ්‍ය ඔස්සේ රැකියාවට අදාළ තොරතුරු සහිත ලිපි කියවීම හෝ රිය ධාවනයේදී වෘත්තියට අදාළ පොඩ්කාස්ට්වලට සවන් දීම ආදිය පිළිබඳව සිතා බලන්න.
වෘත්තිකයන් දීර්ඝ කාලයක සිට තම වැඩ මුරයට බාහිරව රැකියාව කරමින් සිටි නමුත්, වසංගතයත් සමඟ සේවයේ යෙදෙන ආකාරය වෙනස් වූ බැවින්, වෘත්තීය ජීවිතය සහ පුද්ගලික ජීවිතය අතර රේඛාව මේ වන විට වඩ වඩාත් අපැහැදිලි වී තිබේ.
ඒ නිසාම මෙම වැඩ මුරයන්ට බාහිරව පැවරෙන අධික රාජකාරි, ඉතා දැඩි දුෂ්කරතා ලෙස දැනෙන්නේ නැත. එහෙත් ඒවා පවතී.
එමෙන්ම මෙම අමතර වගකීම් සහ රාජකාරි, ආයතන තුළ නිහඩ අපේක්ෂාවන් බවට පත්වෙමින් ඇති බැවින්, ඒවා ඉටු කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීමද අසීරු වෙමින් තිබේ.
අතිකාල වැඩ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම 'සැඟවුණු අධික වැඩ’ ප්‍රමාණය ඉටු කිරීම කාර්යාලයේදී හෝ නිවසේදී දිගු වේලාවක් වැඩ කිරීමට වඩා බෙහෙවින් වෙනස් දෙයකි. මෙය සේවකයෙකු තමන්ට මුලින්ම නියම වූ වැඩ ප්‍රමාණයට අමතරව කිරීමට සිදුවන වැඩ සඳහා ගත කරන කාලයයි.
වෘත්තිකයන්ට මෙම අමතර කාර්යය භාර ගැනීමට හේතු රාශියක් තිබේ. රැස්වීම්වලදී වඩා ඵලදායී වීමට, තමන්ගේ ක්ෂේත්රයේ නව ප්රවණතා ගැන විමසනු ලබන විට ඒවාට සාර්ථක පිළිතුරු ලබා දීමට මෙන්ම, තමන්ට තවමත් නුහුරු සේවා පරිසරයකදී, එහි කැපී පෙනෙන්නෙකු බවට පත්වීම ආදිය උදාහරණ ලෙස දැක්විය හැක.
පුද්ගලයෙකුගේ රැකියාව ඔවුන්ගේ රැකියා පැය ගණන ඉක්මවා, ඔවුන්ගේ විවේකී කාලයට ද කාන්දු වන ක්‍රම තිබේ.
උදාහරණ ලෙස යම් ආයතනයක සේවකයෙකු තම දරුවාගේ උපන්දින සාදයේදී තම ක්ෂේත්රයේ කෙනෙකු සමඟ කතාබස් කරන අතරේදී ඔහුගේ කතාබහ හදිසියේම වෘත්තිමය කතාබහකට පරිවර්තනය වීම හෝ සේවකයෙකු තම ප්‍රධානියා රැස්වීමකදී සඳහන් කළ පොතක් අන්තර්ජාලයෙන් බාගත කරගෙන, ඔහුගේ දෛනික ඇවිදීමේ වෙලාවේදී එයට සවන් දීමත්, විටින් විට ඇවිදීම නවතා කරුණු සටහන් කරගැනීමත් දැක්විය හැකි ය.
ඕනෑම කෙනෙකු මෙම 'සැඟවුණු අධික වැඩ'වලට ගොදුරු වීමේ හැකියාව තිබේ. තොරතුරු තාක්ෂණ සේවකයින්ගෙන්, විශාල ප්‍රතිශතයක් තම විවේක කාලය වෘත්තීය නිපුණත්වය ඉහළ නංවා ගැනීමට ගත කරන අතර, බොහෝ කාන්තාවන් 'රැකියාව වෙනුවෙන් තමන්ගේ ඇති හැකියාව මදි' යයි විශ්වාස කිරීම මත, අධික ලෙස රැකියාවට සූදානම් වීමට මෙම කාලය වැය කරනු දැකීමට හැක.
බොහෝ සේවකයින් මෙම 'සැඟවුණු අධික වැඩ'වලට රටාවන්ට පහසුවෙන්ම වැටීමේ ඉඩ ඇත. මෙය ඇතැම් සමහරක් කාර්යාලවල රැකියා සංස්කෘතිය බවට පත් වී තිබේ.
වෘත්තියේ ඉහළට සහ ඉන් ඔබ්බට යාමට කැමති සේවකයන්ගෙන් ආයතන ද මෙය අපේක්ෂා කරන බැවින්, මෙවැනි සැඟවුණු අධික වැඩ බොහෝ සේවකයින්ගේ රැකියා විස්තරයට ඇතුළත් නො වීම සේවකයා විසින් ඉටු කරනු ලබයි. එමෙන්ම ඇතැම් විට තමන් එලෙස සැඟවුණු අධික වැඩ රටාවක් අනුගමනය කරන බව සේවකයා විසින් දැන නො සිටීමේ ඉඩක් ද තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"වැඩ කිරීමේ අවම ප්‍රමාණය පිළිබඳව සේවකයින් සහ සේවා යෝජකයන් දරන අදහස් අතර පැහැදිළි පරතරයක් තිබෙනවා" යනුවෙන් සේවා ස්ථාන-උපදේශන ගාට්නර්ගේ මානව සම්පත් පරිචයේ පර්යේෂණ අධ්යක්ෂ ඇලෙක්සියා කැම්බන් පවසන්නී ය.
ඇතැම් සේවකයින් ඔවුන්ගේ රැකියාවේ ඇති අවශ්‍යතා ඔවුන් විසින් කළ යුතු උපරිමය ලෙස දකින නමුත්, බොහෝ සේවා යෝජකයින් එය සේවකයාගෙන් අපේක්ෂිත අවමය වශයෙන් සලකන බව ඇය පවසයි. මෙවන් අවස්ථාවලදී සේවකයන් අමතර දායකත්වයක් ලබා දෙන්නේ නම් පමණක්, සේවකයින් හොඳින් වැඩ කරන්නන් ලෙස පෙනෙනු ඇත.
මෙලෙස ඉටු කෙරෙන කාර්යයන්ගෙන් විශාල කොටසක් ප්‍රධානීන්ට නොපෙනුණත්, සේවකයාට ආයතනය තුළ කැපී පෙනීමට මෙම 'සැඟවුණු අධික වැඩ' උපකාර වන බැවින් ඒවා කෙසේ හෝ ඉටු කිරීමට බොහෝ සේවකයින්ට බලකෙරේ. එක්සත් ජනපදයේ රයිඩර් විශ්ව විද්‍යාලයේ සන්නිවේදන අංශයේ සහකාර මහාචාර්ය ඇලිසන් වෙයින්හාස් පවසන්නේ, එතරම් වැදගත් ස්ථානයක් ලැබී නැති සේවකයන්, මෙය තමන්ට කැපී පෙනීමට ලැබෙන අවස්ථාවක් සේ සළකා මෙවන් කාර්යයන් භාරගැනීමට විශේෂයෙන් උත්සුක වන බවයි.
මිශ්‍ර ප්‍රතිඵල
මෙම අතිරේක වෙහෙස සෑම විටකම නරක නැත. කැම්බන් පවසන්නේ, "ඔබ මේ අමතර වැඩ තෝරා ගන්නේ රැකියාව ගැන තිබෙන දැඩි ඇල්ම නිසා හෝ එයින් යමක් ලබා ගත හැකි යැයි සිතන නිසා නම් මේ 'නිහඬ අධික වැඩ' කිරීමට තෝරා ගැනීම අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයට අහිතකර යමක් වෙන්නේ නැහැ..."
"ඒ සියල්ල පවතින්නේ සංදර්භය අනුව බව තේරුම් ගන්න ඕන" ඇය තවදුරටත් පවසන්නී ය. "ඔබේ ජීවිතයට යමක් ලබා දෙන සහ ශක්තිය එකතු කරන වැඩ සහ, ඔබේ ශක්තිය ඉවත් කරවන වැඩ අතර වෙනස තේරුම් ගැනීම ඇත්තටම වැදගත්..."
"තමන්ව ආයතන විසින් නිරීක්ෂණය කර බව දන්නා සේවකයින්ගෙන් වැඩි ප්‍රමාණයක්,රැකියාවෙන් පසුව අමතර පැය ගණනක් මේ වැඩවල යෙදිය යුතු බව කල්පනා කරනවා" - ඇලෙක්සියා කැම්බන්
කැම්බන් මෙන් ම, බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටිනා මස්ලච් ද සිතන්නේ වෘත්තියට සම්බන්ධ මෙවන් අමතර කාර්යයන් පුද්ගලයෙකුගේ ජීවිතය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බවයි. නමුත් ඒ ඔවුන් එම කාර්යයන් ඔවුන් 'කරන්නන් වාලේ' නො කර ඒවායින් තම ජීවිතයට යමක් එකතු කරගන්නවා නම් පමණි.
"මෙයින් ඔබේ ජීවිතයට ඇතිවන වෙනස මොකක්ද කියන එක තමයි සැබෑ ප්රශ්නය..." යි මැස්ලාච් පවසයි. ඇය පවසන පරිදි, එයින් ඔබ ඔබේ වෘත්තීය සඳහා වඩා සූදානම් බවක් දැනෙනවාද? ඔබ ඔබේ වැඩ කටයුතුවල එලදායිතාව වැඩි කරගත්තා ද? දැන් ඔබ ඔබේ ප්‍රධානියාගේ සිත් ගත් නිසා, දැන් ඔබට රැකියාවේ උසස්වීමක් ලැබීමට නියමිත ද? එසේ නම් එය ඔබේ ජීවිතයට යහපතක් කර ඇති බව මධ්‍යස්ථව සිතා බලා කිව හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලන්ඩනයේ අභ්‍යාසලාභී සොලිසිටර්වරයෙකු වන රොබට්, රැකියා වේලාවෙන් බාහිර මෙවන් වැඩවල ප්රතිලාභ තමන් නෙළාගත් බව පවසන එක් සේවකයෙකි.
"මම මුලින්ම මගේ රැකියාව පටන්ගත්ත කාලයේ, වැඩ කරන වේලාවෙන් පසුව මගේ රැකියාවට අදාළ බ්ලොග් කියවන්න පුරුදු වී සිටියා.ඒ නිසා මට කාර්යාලයේ සිටින අනෙක් අය සමඟ වැඩ සම්බන්ධ දේවල් කතා කිරීම පහසු වුණා..."
එමෙන් ම රොබට් පවසන්නේ මෙවැනි අධික අමතර වැඩ ඔහුට රැකියාවේ ඉහළ තනතුරු දරන්නන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබා දුන් බවයි. එය ඔහුගේ නව වෘත්තීය සම්බන්ධයෙන් වඩාත් හොඳ විශ්වාසදායක හැඟීමක් ද ඇති කළ බවත් ඔහු පවසා සිටී.
කෙසේ වෙතත්, බොහෝ දෙනෙකුට මෙම අධික වැඩ තවදුරටත් තේරීමක් ලෙස දැනෙන්නේ නැත.
කැම්බන් පවසන ආකාරයට මෙම අමතර පැය ගණන්වලදී සිදු කෙරෙන වැඩ යම් ආකාරයක බලහත්කාරයක් බවට පත්විය හැකි ය.
උදාහරණයක් ලෙස, සේවකයෙකු තම ආයතනයේ තරඟකරුවෙකුගේ වෙබ් අඩවියක් කියවන අතර, එහි අඩංගු දේවල්වල සබැඳි, පණිවිඩ ඇප් එකක් හරහා බෙදාගැනීමෙන්, තමන් ඕනෑම වෙලාවක රාජකාරියේ යෙදී සිටින බවට තම ප්‍රධානියාට ඇඟවීමේ හැකියාව ඔවුනට තිබේ.
"තමන්ව ආයතන විසින් නිරීක්ෂණය කරනව බව හැඟෙන තවත් සේවකයින්ට තමනුත් අමතර පැය ගණනක් සේවයේ යෙදිය යුතුයි සිතෙන්න පුළුවන්..." යි කැම්බන් පවසන්නී ය.
ඒ නිසා, මෙම සැඟවුණු අධික වැඩ කිරීම, 'ප්‍රසිද්ධියේ නො කියන අවශ්‍යතාවයක්' බවට පත්වීම හානිදායක ය.
එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෝර්ටන් පාසලේ කළමනාකරණ මහාචාර්ය නැන්සි රොත්බාර්ඩ් පවසන්නේ " මෙය කැමැත්තෙන් කරන තෝරාගැනීමක් නොවී, අවශ්‍යතාවයක් බවට පත්වීම නිසා එය බරක් බවට පත්වෙනවා. එහෙම වීම ඉතාම නරක ප්‍රතිඵල ගෙන එන්න පුළුවන්."
ප්‍රවීණයන් පවසන්නේ මේ අධික වැඩ සහිත තත්ත්වය කෙටි කාලයකට පමණක් නම් එය එතරම් ගැටලුවක් නො වුණත්, එම අසමතුලිතතාවය ඉතා විශාල වූ විට හෝ දිගු කාලයක් පවතින විට සේවකයන්ගේ මානසික යහපැවැත්මේ ගැටලු ඇති විය හැකි බවයි.
"ඔබේ සම්පූර්ණ කාලයම රැකියාවට යොමු වෙලා නිසා ජීවිතයේ අනෙක් දේ වෙනුවෙන් වැය කරන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. ." යනුවෙන් මස්ලාච් පවසයි.
"මේක දිගු කාලයක් පුරුද්දක් වශයෙන් පැවතීම ඉතාම අහිතකරයි."
පැහැදිලි වෙනසක් පෙන්වීම දුෂ්කර වීම
ඇත්ත වශයෙන්ම, සමහර වෘත්තින්වලදී හොඳින් වැඩ කිරීමට සේවකයින්ට මෙලෙස අමතර රාජකාරිවල නිරත වීම අවශ්‍ය වුවත්, බොහෝ වෘත්තීන් සඳහා මෙය අනිවාර්යය නොවේ. එහෙත් ඒවා මේ වනවිට සාමාන්‍යකරණය වී තිබෙන ආකාරය අනුව ඒවා දැන් වෙනස් කිරීම කළ හැකි ද?
එය මේ වනවිට අපැහැදිලි ය.
සමහර අවස්ථාවලදී මෙම අමතර වැඩ කිරීම, එලෙස වෑයමක් අපේක්ෂා කරන සේවා යෝජකයන් සඳහා වැඩ කරන සේවකයන්ට ඉමහත් දුෂ්කර කාර්යයක් විය හැකිය. කැම්බන් පවසන්නේ බොහෝ සේවා යෝජකයින් දැනටමත් කාර්යක්ෂම සේවකයන් ලෙස නිර්වචනය කරන්නේ සෑම පැයකම රැකියාවේ නිරත වන අය බවයි. මෙම ප්‍රවණතාවය දිගින් දිගටම පැවතුනහොත් සමහර සේවකයන්ට: හෝ අවම වශයෙන් රැකියාවේ ඉදිරියට යාමට කැමති අයට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ආක්‍රමණය කිරීමට රැකියාවට ඉඩ හැරීම හැර වෙනත් විකල්පයක් නැතිවිය හැකි ය.
මෙයට අමතරව, වසංගත කාලයේදී වෘත්තිමය සහ -පෞද්ගලික ජීවිතයේ සීමාවන් අපැහැදිලි බවට පත්වීම නිසා කෙනෙකුගේ වෘත්තීය ජීවිතය සහ පුද්ගලික ජීවිතය අතර වෙනස්කම් දැකීම දුෂ්කර විය හැකි ය. එමෙන් ම තම පුද්ගලික ජීවිතය, තම රැකියාව විසින් ආක්‍රමණය කරමින් ඇති බව සේවකයන්ට නො දැනෙමින් තිබෙන්නටද ඉඩ තිබේ.
"නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය නිසා, වැඩ නැවැත්විය යුතු වෙලාව තේරුම් ගැනීම අසීරු වී තිබෙනවා" යි රොත්බාර්ඩ් පවසයි. නව දෙමුහුන් වැඩ ආකෘතිවලට කෙමෙන් කෙමෙන් හුරු වීමේදී සේවකයන්ට වඩා හොඳ සීමාවන් ඇඳීමට හැකි වේද, නැතහොත් සේවකයින්ගේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිත එකිනෙක බද්ධ වීම ආපසු හැරවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත්දැයි දැනගැනීමට තවමත් කල් වැඩි ය.
විශේෂඥයින් පවසන්නේ 'සැඟවුණු අධික වැඩ' නොවැළැක්විය හැකි දෙයක් බවට පත් වුවහොත්, ඒ වෙනුවෙන් සේවකයින්ට කළ හැකි හොඳම දේ ඔවුන් එයින් යමක් ලබා ගන්නා බවට වග බලා ගැනීම බවයි. එය ව්‍යාපෘතියක් සඳහා හෝ වැටුප් වැඩි කිරීමක් හෝ ඕනෑම ආකාරයක විය හැකි ය. මක්නිසාද යත්, අමතර දායකත්වය සඳහා ගතවන්නේ සුළු කාලයක් වුවත් එය නිරන්තරයෙන් සිදුවීම, සේවකයන්ගේ මානසිකත්වයට දිගු කාලීනව හානි කළ හැකි ය.
ඇයට උසස්වීමක් හෝ වෘත්තීය දියුණුවක් සඳහා කිසිදු අවස්ථාවක් නොතිබූ බැවින්, 'සැඟවුණු අධික වැඩ කිරීම' වෙනුවෙන් ඇයට ඇති පෙළඹවීම මැඩ ගැනීමට බෙත් තවමත් සටන් කරන්නී ය. නමුත් මෙම හැසිරීමෙන් මිදීම පහසු නැත.
"එසේ නොකර, නිශ්ශබ්දවම ඉන් ඉවත් වෙන්න පුළුවන් වුණා නම් හොඳයි. ඒත් මට එයට ශක්තියක් නැහැ..."












