ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මහ බැංකු බැඳුම්කර වංචාව: අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට කැඳවයි
2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදු කළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකරනු ලැබ ඇති පැමිණිල්ලක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන වසරේ පෙබරවාරි මස 25 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.
අල්ලස් කොමිසම දුන් පිළිතුරු
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිණී සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, 2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදු කළ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලකට අදාළව විමර්ශනය කළ බව පැවසීය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ගණනාවක් සටහන් කර ගත් බවත් ඇය සඳහන් කළා ය.
බැඳුම්කර නිකුතුවකදී මහ බැංකුව අනුගමනය කළ යුතු නිශ්චිත පටිපාටියක් ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය, එහෙත් ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවේදී එම නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව විමර්ශනවලින් පැහැදිලි වූ බවත් කියා සිටියා ය.
මෙම බැඳුම්කර නිකුතුවේදී සිදුවී ඇති අවිධිමත් ක්‍රියා හේතුවෙන් රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදුවී ඇති බවත් එය දූෂණ විරෝධී පනත යටතේ "දූෂණය" නමැති වරද උද්ගත වී ඇති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය කරුණු දැක්වීය.
'අර්ජුන් ඇලෝසියස් සිටියා'
මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ, "2015 වසරේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නේද මේ විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ?” යනුවෙනි.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය, 2015 වසරේ සිදුවූ බැඳුම්කර නිකුතුවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවත් එම විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවත් සඳහන් කළා ය.
මෙම බැඳුම්කර නිකුතුවට ප්‍රාථමික ගැනුම්කරුවන් කොපමණ සම්බන්ධ වී තිබේ දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතු කළේ ය.
බැඳුම්කර නිකුතුව සඳහා ප්‍රාථමික ගැනුම්කරුවන් 16 දෙනෙකු පමණ ඉදිරිපත් වූ බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවා ය.
තවත් ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරයා “මෙම බැඳුම්කර නිකුතුවට ඉදිරිපත් වූ ප්‍රාථමික ගැනුම්කරුවන් අතර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සම්බන්ධයක් තිබෙන පුද්ගලයෙකු සිටියා ද?” යනුවෙන් ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය, "ඔව් ස්වාමීනි.. අර්ජුන් ඇලෝසියස් සිටියා," යනුවෙන් පිළිතුරු දුන්නා ය.
ළබැඳියාවන් අතර ගැටුමක්
මෙහිදී සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය තුළින් සදාචාරාත්මක ගැටලුවක් මෙන් ම ළබැඳියාවන් අතර ගැටුමක් පවතින බව පෙනී යන්නේ යැයි ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ ය.
ඒ අනුව, මෙම නඩුකරයේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙස, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා ය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේ ය.