ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මාස 6ක සිර දඬුවම් නියම වූ අර්ජුන් ඇලෝසියස්ගේ ඇප ඉල්ලීම ඉවතට
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් ලබා සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක්: 16) ප්‍රතික්ෂේප කළේ ය.
වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසීක් සරූක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුකරය මේ වන විට අපරාධමය නඩුකරයක් බවට පත්වී ඇති නිසා ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ සඳහන් කළේ, මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් මත ඉදිරිපත් කරන ලද නඩුවක් බව ය.
මෙහි වග උත්තරකරුවන්ට නියම කර ඇත්තේ විකල්ප දඬුවමක් වන හෙයින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තුන් දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඩුවම් නියම කෙරිණි.
2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වග උත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය වග උත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වනදා නියෝගයක් නිකුත් කළේ ය.
මෙම නඩුව සඳුදා (ඔක්: 14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබී ය.
එහිදී, අදාළ නඩුවේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අර්ජුන් ඇලෝසියස් සහ ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණයෙහි පෙනී සිටියහ.
තුන් වන විත්තිකරු වශයෙන් නම්කර සිටි ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ, ඉකුත් නොවැම්බර් මස නිකුත් කළ තීන්දුවට එරෙහිව තම සේවා දායකයින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ය.
එහෙත් කොළඹ මහාධිකරණය විසින් අදාළ බදු මුදල් ගෙවන ලෙස ඉකුත් නොවැම්බර් මස 14 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ නොමැති බවත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.
ඒ අනුව, අද දිනය තුළ අදාළ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකළහොත් මාස 06ක සිර දඬුවම් නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා විසින් වග උත්තරකරුවන්ට නියෝග කළේ ය.
ඒ අනුව අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් වග උත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම සිර දඬුවම නියම කෙරිණි.
මේ අතර, තමන්ට නියම වී ඇති මාස 06ක සිර දඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් ඇතුළු වග උත්තරකරුවන් දෙදෙනා කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාර දුන් අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
මෙම අභියාචනා අයදුම් පත අදාළ නඩු තීන්දුව ලබා දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් එම අභියාචනය තුළින් ඉල්ලා තිබිණි.
අර්ජුන් ඇලෝසියස් යනු කවුද?
අර්ජුන් ඇලෝසියස් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා ය.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ Perpetual Treasuries සමාගමේ හිමිකරු වන්නේද අර්ජුන් ඇලෝසියස් ය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සිද්ධියට අදාළ අනුබලදීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන් 2018 වසරේ පෙබරවාරි මස 4 වන දා රහස් පොලිසිය මගින් කොළඹ දී අත්අඩංගුවට ගෙනු ලැබීය.
මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් වෙත ලැබී තිබෙන බවට තොරතුරු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ 2017 වසරේදී හෙළිවිණි.
අනතුරුව වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගර ගත කර සිටි ඔහුට ඇප නියම වුයේ 2019 වසරේ ජනවාරි මාසයේදී ය.
මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ පරීක්ෂණ අවසන් වන කාල සීමාව පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් එම කරුණ ඇතුළු කරුණු කිහිපයක් සුවිශේෂී කරුණු සේ සලකා අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ, 2019 වසරේ ජනවාරි මාසයේදීය.