අගය එකතු කළ බදු (සංශෝධන) පනත යටතේ VAT වෙනස් වන හැටි මෙන්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
අගය එකතු කළ බදු (සංශෝධන) පනත යටතේ කරන ලද වෙනස්කම් කිහිපයක් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඒ සඳහා අප්‍රේල් 11 වන දින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය අත්සන යොදා සහතික කරනු ලැබීය.
ඒ අනුව අගය එකතු කළ බදු (සංශෝධන) පනත යටතේ සිදුවන නව වෙනස්කම් මොනවාද?
ඩිජිටල් සේවාවන් සඳහා වැට් බද්ද පැනවීම
2025 ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට විද්‍යුත් වේදිකා හරහා විදේශ රටක සිටින පුද්ගලයින් සපයනු ලබන සේවාවන් සඳහා වැට් බද්ද අදාළ වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
මෙහිදී වැට් බදු සඳහා ලියාපදිංචි කිරීම, බදු ගෙවීම සහ අනුකූල වීම සඳහා වන ක්‍රියා පටිපාටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා නියමිත කාල සීමාවේදී දැනුම් දීමට නියමිත බව ද එම නිවේදනයේ සඳහන් වේ.
බීබීසී සිංහල කළ විමසීමකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙරට සිටින පුද්ගලයෙකුට විදේශයක සිටින පුද්ගලයෙකු ලබා දෙන ඩිජිටල් සේවාවන් සඳහා මෙම බදු පැනවීම අදාළ වන බවයි.
''උදාහරණයක් හැටියට වෙබ් එකක් හරි, සොෆ්ට්වෙයාර් එකක්, මොබයිල් ඇප් එකක් වගේ සර්විස් එකක් හරි වෙනත් මොකක් හරි සර්විස් එකක් ලබා දෙන කොට වැට් එක අය කරන්න නියමිතයි.' එම නිලධාරියා පැවසුවේය.
සරල කළ වැට් බදු ක්‍රමය අහෝසි කිරීම
සරල කළ වැට් බදු ක්‍රමය 2025 ඔක්තෝබර් 1 වන දින සිට අහෝසි කර අවදානම් පාදක මුදල් ආපසු ගෙවීමේ ක්‍රමයක් මගින් ප්‍රතිස්ථාපනය කෙරෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
බදු අය කළ හැකි කාල සීමාව සඳහා උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති හෝ නිශ්චිත ව්‍යාපෘති සඳහා හෝ වැට් බදු පනතේ 22(7) වගන්තිය යටතේ අනුමත කරන ලද ව්‍යාපෘති සඳහා සැපයුම්වල වටිනාකම ඔවුන්ගේ මුළු සැපයුම්වලින් 50% ඉක්මවන සුදුසුකම් ලත් අපනයනකරුවන්ගේ හෝ ලියාපදිංචි පුද්ගලයින්ගේ අතිරික්ත යෙදවුම් බද්ද,වැට් බදු ප්‍රතිලාභ ඉදිරිපත් කිරීමේ නියමිත දින සිට දින 45 කට නොඅඩු කාලයකට පෙර ආපසු ගෙවනු ලබන අතර එය නිසි වැට් බදු ප්‍රතිලාභ ඉදිරිපත් කිරීමට යටත් වේ.
"සුදුසුකම් ලත් අපනයනකරු" යන්නෙන් අදහස් කරන්නේ, මෙම පනතේ 7 වන වගන්තිය යටතේ අර්ථ දක්වා ඇති පරිදි, පෙර දින දර්ශන වර්ෂය තුළ ශුන්‍ය ශ්‍රේණිගත සැපයුම්වල වටිනාකම, එම පුද්ගලයා විසින් එම කාල සීමාව තුළ සිදු කරන ලද සැපයුම්වල මුළු වටිනාකමෙන් සියයට පනහකට වඩා වැඩි වූ ලියාපදිංචි පුද්ගලයෙකි.

අනිවාර්ය වැට් බදු ලියාපදිංචිය
වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය කරන හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින්, පිරිවැටුම් සීමාවන් හෝ නිදහස් කිරීම් නොසලකා වැට් බදු පනත යටතේ ලියාපදිංචි වීමට අවශ්‍ය වන බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.
ශුන්‍ය ශ්‍රේණිගත සැපයුම්
2024 ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, පහත සඳහන් සැපයුම් වැට් බද්ද සඳහා ශුන්‍ය ශ්‍රේණිගත කිරීමක් ලෙස සලකනු ලැබෙන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.
එහිදී සේවායෝජකයින් විසින් සේවකයින්ට සපයනු ලබන ආහාර සහ ප්‍රවාහනය නිශ්චිත කොන්දේසි යටතේ වැට් බද්දෙන් ශුන්‍ය කොට සලකන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.
එමෙන්ම දේශීය රක්ෂණකරුවන්ට ප්‍රතිරක්ෂණ කොමිස් සහ විදේශ මුදල් වන්දි මෙන්ම භාවිතයට නොගත් රජයේ හෝ පළාත් සභා තැපැල්/ආදායම් මුද්දර (මුහුණත වටිනාකමින්) මීට ඇතුළත් වේ.
වැට් බදු ප්‍රතිලාභ ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම
සියලුම වැට් බදු ප්‍රතිලාභ 2025 ජූලි 1 වන දින සිට ඉලෙක්ට්‍රොනිකව ගොනු කළ යුතු බවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන ලද සුවිශේෂී තත්වයන් යටතේ පමණක් අතින් ගොනු කරන ලද ප්‍රතිලාභ ඉදිරිපත් කිරීම් සඳහා අවසර දෙනු ලබන බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වැට් බද්දෙන් නව නිදහස් කිරීම්
2025 අප්‍රේල් 11 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන අංශ වැට් බද්දෙන් නිදහස් කර තිබේ.
විදුලිය ජනනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සැපයිය යුතු රසායනික නැප්තා සැපයීම හෝ ආනයනය කිරීම එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කර තිබේ.
දේශීයව නිෂ්පාදනය කරන ලද නැවුම් කිරිවලින් නිෂ්පාදනය කරන ලද දියර කිරි සහ යෝගට් සැපයීම වැට් බද්දෙන් නිදහස් කරන අතර එහිදී මෙම නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලැබීමට, දියර කිරි හෝ යෝගට් වල අවම වශයෙන් 50% ක් දේශීයව නිපදවන ලද නැවුම් කිරි අඩංගු විය යුතු බව සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නිදහස් කිරීම් ඉවත් කිරීම
2025 අප්‍රේල් 11 සිට ක්‍රියාත්මක වන පරිදි නිශ්චිත සමගාමී වෙළඳ භාණ්ඩ විස්තරය සහ කේතීකරණ පද්ධති අංක යටතේ හඳුනාගෙන ඇති ගුවන් යානා එන්ජින් හෝ ගුවන් යානා අමතර කොටස් ආනයනය කිරීම ද මීට ඇතුළත් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.














