නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පිළිගැනීමේ උත්සවයේදී දුන් ප්‍රතිඥාව

    • Author, බීබීසී සිංහල

අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා අධිකරණවලින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් මුළු රටේ ම අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම වේගවත් කිරීමට පියවර ගන්නා බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රකාශ කළේ ය.

නව අග විනිසුරුවරයා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (ජූලි 31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්විණි.

ඊට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් පිරිසක් ද සහභාගි වූහ.

එමෙන් ම ජනාධිපති නීතිඥවරු, නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරු සහ සෙසු නීතිඥවරු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම චාරිත්‍රානුකූල නිල උත්සවය අමතමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කියා සිටියේ, අධිකරණ කෙරෙහි පවතින මහජන විශ්වාසය වර්ධනය කිරීම සඳහා අධිකරණවලින් කාර්යක්ෂම සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බව ය.

එසේ ම, ඇතැම් අධිකරණ කාර්යාලවල සිදුවන දූෂණ අක්‍රමිකතා මෙම ඩිජිටල්කරණ වැඩසටහන තුළින් පිටු දැකීමට හැකියාව සැලසෙන බවත් ඔහු කියා සිටියේ ය.

ඒ සඳහා අධිකරණ ක්‍රියාදාමය ඩිජිටල්කරණය කිරීමේ කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන තිබෙන බවත්, ඒ සඳහා රජය අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කර තිබෙන බවත් පැවසීය.

අදාළ කටයුතු කඩිනමින් මෙහෙයවීම සඳහා අධිකරණ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පාර්ශව කීපයක් සමග තමන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ද, අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම තුළින් අධිකරණවල සේවාව ලබා ගැනීමට පැමිණෙන ජනතාවට මෙන් ම නීතිඥවරුන්ටත් විශාල සහනයක් සැලසෙන බව ද ඔහු පැවසුවේ ය.

ඊට අමතරව අධිකරණ කටයුතු ගැන සාමාන්‍ය මහජනතාවට ද දැනුවත් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

නීතිඥ පවුල් පසුබිමක් රහිතව නීතිඥ වෘත්තියට පිවිසි තමන් ශ්‍රී ලංකාවේ 49 වන අග විනිසුරුවරයා වශයෙන් පත්වීම ගැන සතුටට පත්වන බවත්, එම තනතුරු සඳහා තමන්ගේ නම නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ස්තූතිය පුද කරන බවත් අග විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර, මහ ජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් සලසා දීම සඳහා තමන් සමග අත්වැල් බැඳගන්නා ලෙස නව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ ය.

මේ අතර, නව අගවිනිසුරුවරයා පිළිගනිමින් නීතිපති පාරින්ද රණසිංහ පැවසුවේ, වත්මන් අග විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ සේවකයෙකු වශයෙන් සිය වෘත්තිය කටයුතු ආරම්භ කර අධිකරණ ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් කළ පුද්ගලයෙකු බව ය.

මෙරට ඉතිහාසයේ ඉතා ආන්දෝලානාත්මක තීන්දු ගණනාවක් ඔහු ප්‍රකාශයට පත් කර තිබෙන බවත්, ඒ තුළින් ඔහුගේ පුළුල් දැනුම හා අත්දැකීම් මනාව පිළිබිඹු වන බවත් නීතිපතිවරයා සඳහන් කළේ ය.

ආන්දෝලනාත්මක නඩු තීන්දු

නව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සිය අධිකරණ ජීවිතය තුළ ආන්දෝලනාත්මක නඩු තීන්දු ගණනාවක් ම ලබා දී තිබේ.

ඔහු මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සමයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාරට මරණීය දණ්ඩනය නියම කිරීම, මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධියේ විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීම, උතුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කිරීම ආදිය සඳහන් කළ හැකි ය.

ඊට අමතරව, ඔහු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ ද ආන්දෝලනාත්මක නඩු තීන්දු කීපයක් ලබා දුන්නේ ය.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කර දඬුවම් නියම කිරීම, යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරින් ඉවත්කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබූ මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය ඉදිරියට කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම යනාදී නඩු තීන්දු සූරසේන විසින් දෙනු ලැබී ය.

ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයට පත් වීමෙන් පසුව ද ඔහු තවත් ආන්දෝලනාත්මක නඩු තීන්දු කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ප්‍රධානය කළ ජනාධිපති සමාව බලරහිත කරමින් දුන් තීන්දුව, 2023 වසරේ පැවැත්වීමට නියමිත වූ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල් මැතිවරණ කොමිසමට මුදා හරින ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම, ඉකුත් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශ්‍රාම යාමෙන් අනතුරුව වාසය කිරීම සඳහා අනීතික ලෙස නිවසක් ලබා ගැනීමේ තීරණය අත්හිටුවීම, ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීම යනාදී තීන්දු ඒ අතර වෙයි.