ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලලිත් - කුගන් අතුරුදන්වීම: ගෝඨාභය රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක්
2011 වසරේදී අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබෙන හබයාස් කෝපුස් නඩුකරයට අදාළව සාක්ෂි දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතිඥවරුන් මාර්ගයෙන් අද (ජූලි 30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙම දැනුම්දීම කර තිබේ.
කෙසේ වෙතත්, පවතින ආරක්ෂක හේතු මත තම සේවාදායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක තම සේවාදායකයා සාක්ෂි ලබා දීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.
එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාට දැනුම් දුන්නේ, මෙම ඉල්ලීම අද දින සිට සති හතරක් තුළ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබා ගැනීමට කටයුතු කරන ලෙස ය.
තම සේවාදායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් මෙම නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන්වූවන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ ද එකඟතාව පළ කළ අතර ඒ අනුව එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේ ය.
මෙම නඩුව කැඳවා තිබුණේ, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී ය.
2011 වසරේ දෙසැම්බර් මස 09 වන දා ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුකරයට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත් කර තිබිණි.
ආරක්ෂක හේතු මත තමන්ට යාපනය අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බව සඳහන් කරමින් එම සිතාසි නිකුත් කිරීමේ තීරණයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ, අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ ය.
එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂට සාක්ෂි දීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කරන සිතාසිය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණයේ එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබිණි.