ගාසා සහ යුක්‍රේනය: එක්සත් ජාතීන්ගේ සංවිධානයට විවේචන එල්ල වන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සෙලින් ගිරිත්
- Role, බීබීසී ලෝක සේවය
ගාසා තීරයේ ගැටුම ආරම්භයේ සිට ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මානුෂීය සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස දිගින් දිගට ම ඉල්ලා සිටියේ ය.
පසුගිය සතියේදී ඔහු එම ඉල්ලීම සම්බන්ධයෙන් යළිත් අවධාරණය කළ අතර, යුද්ධයට සම්බන්ධ පාර්ශව ජාත්‍යන්තර නීතිය නොතකා හැර ඇතැයි අනතුරු ඇඟවීමක් කළේ ය.
ඔහු පැවසුවේ, "ද්වි රාජ්‍ය විසඳුමක් මත පදනම් වූ ඊශ්‍රායල සහ පලස්තීනුවන්ට තිරසර සාමයක් සඳහා මග පෙන්වන ක්‍රියාවලියක්," දැකීමට තමාට අවශ්‍ය බව ය.
එක්සත් ජාතීන්ගේ ප්‍රධානියෙකුට ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඔහු හෝ ඇය දකින ඕනෑ ම කරුණක් ආරක්ෂක මණ්ඩලයේ (UNSC) අවධානයට යොමු කිරීමට අවස්ථාව හිමි වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 99 වන වගන්තිය පසුගිය මාසයේදී, ඔහු ප්‍රථම වරට භාවිතයට ගත්තේ ය.
ඊශ්‍රායලය මේ වන තෙක් සටන් විරාමයක් සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ. හමාස් සංවිධානය පරාජය කරන තුරු අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව පවසා ඇති අගමැති බෙන්ජමින් නේතන්යාහු පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කර තිබේ.
හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි, ඔක්තෝබර් 7 වන දා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම ඉලක්ක කර ගත් ඊශ්‍රායල් හමුදා මෙහෙයුමේදී ගාසා තීරයේදී අවම වශයෙන් පුද්ගලයින් 25,000ක් මිය ගොස් තිබේ.
ගාසා යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා, සටන් විරාම විසඳුමක් සම්බන්ධයෙන් එකඟත්වයකට එළඹීමට ආරක්ෂක මණ්ඩලයට හැකි වී නැත.
දෙසැම්බර් මාසයේදී, එය ගාසා තීරය සඳහා වැඩිපුර ආධාර ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර ගත්ත ද, සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම සාර්ථක වූයේ නැත. මීට පෙර ඉදිරිපත් කළ යෝජනා දෙකක් ඊශ්‍රායලයේ ප්‍රබල ආධාරකරුවෙකු වන ඇමෙරිකාව විසින් නිෂේධනය කරන ලදී.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) සටන් විරාමයක් වෙනුවෙන් දෙවරක් අතිමහත් බහුතරයක ඡන්දය හිමි කර ගත් නමුත් - අවසන් වරට පැවති ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 193න් යෝජනාවට පක්ෂව රටවල් 153ක කැමැත්ත පළ විය - සටන් විරාමයක් සඳහා කිසිදු පියවරක් ගත නොහැකි විය. සභාවේ තීරණ පිළිබඳ නීතිමය බැඳීමක් නැත.
'එක්සත් ජාතීන්ගේ සංවිධානය මර නින්දක'
වසර දෙකකට පෙර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබීම සහ මේ වන විට ගාසාහි පවතින යුද්ධය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ "නොහැකියාව හා අකර්මණ්‍යභාවය"පෙන්වා දී ඇති බවත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය "විධායක ආයතනයකට වඩා සංකේතාත්මක ආයතනයක්," බව ආර්ථික හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යායතනයේ මහාචාර්ය ෆවාස් ගර්ජස් පවසයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පවත්නා අවහිරය ඔහු දකින්නේ, එක් අතකින් එක්සත් ජනපදයට හා යුරෝපයට එරෙහිව අනෙක් අතින් චීනය සහ රුසියාව අවුළුවන මහා බල එදිරිවාදිකම් නැවත පැමිණීමේ අතුරු ඵලයක් ලෙස ය.
"එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයිති විවිධ ආයතන මර නින්දකට වැටිලා ඉන්නේ," ඔහු පවසයි. "සීතල යුද්ධයට වඩා මේක නරක මොහොතක්."

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඉන් 10ක් වෙනස් වෙයි. 5ක් නිත්‍ය සාමාජිකයෝ වෙති. නිත්‍ය සාමාජික රටවල් පහ P5 ලෙස හඳුන්වන අතර, එම නිත්‍ය සාමාජිකයින් වන්නේ, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව සහ චීනය යි. ඔවුන්ට නිෂේධ බලය හිමි ය. ඉන් අදහස් කරන්නේ, සෙසු සියලු සාමාජිකයින් එකඟත්වය පළ කරන යෝජනාවක් වුව ද ඕනෑ ම ස්ථිර සාමාජිකයෙකුට අවහිර කළ හැකි ය යන්න ය.
ගාසාහි සටන් විරාමයක් ඉල්ලා ඉදිරිපත් කළ යෝජනා දෙකකට ඇමෙරිකාව විරෝධය පළ කළ අතර, යුක්රේනය සම්බන්ධ යෝජනා රුසියාව අවහිර කර තිබේ.
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙබිඩි ප්‍රතිපත්ති දැවැන්ත ගැටලුවක් වෙලා තියෙනවා," හියුමන් රයිට්ස් වොච් ආයතනයේ ලුයී චාර්බොනියු පවසයි.
"ඇමෙරිකාව පොදුවේ ජාත්‍යන්තර නීතියට අනුගත වෙනවා කියන තත්ත්වය, රුසියාව සම්බන්ධයෙන් කතා කරන විට සම්පූර්ණයෙන් හිස් තත්ත්වයකට පත් වෙනවා. ඒත්, ඊශ්‍රායලය සම්බන්ධයෙනුත් ඔවුන් ඒ ස්ථාවරය භාවිත කරන්නෙ නෑ," ඔහු පැවසීය.
"දෙබිඩි ප්‍රතිපත්තියක් තියෙන්නේ ඇමෙරිකාවට විතරක් නෙවෙයි. යුක්රේනය තුළ සාහසික ක්‍රියා සිදු කරන අතරේ ගාසා තීරයේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ගැන රුසියාව කියන කතා අහගෙන ඉන්න අමාරු යි."
'අතීත යුගය'
Carnegie Europe නමැති පර්යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන සිනාන් උල්ජන් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සැකැස්ම අතීත යුගයක් පිළිබිඹු කරන බව ය.
"වසර 80කට කලින් තිබුණ (දෙවන ලෝක යුද්ධය) ගෝලීය යුද්ධය ජය ගත් පාර්ශවය නියෝජනය කළ රටවල් පහට නිෂේධ බලය තිබුණත් වෙනත් කිසිදු රටකට එම විශේෂ බලය ලබා දීලා නෑ," ඔහු පවසයි.
"උදාහරණයක් වශයෙන් අප්‍රිකාවේ කිසිදු නියෝජනයක් නිත්‍ය සාමාජිකයින් අතර නැහැ. ලෝකයේ ජනගහනය වැඩි ම රටක් වන ඉන්දියාවට නියෝජනයක් නැහැ. ලතින් ඇමෙරිකානු නියෝජනයක් නෑ. ඒ වගේ ම, මුස්ලිම් බහුතරයක් වෙසෙන එක ම රටක්වත් ස්ථිර සාමාජිකයින් අතර නැහැ.
"මේක වත්මන් ගෝලීය සාමයේ අවශ්‍යතාවන්ට තවදුරටත් විසඳුම් සපයන්නේ නෑ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ආයතනය නවීකරණය කිරීම සඳහා කළ යුතු වෙනත් වෙනස්කම් කිහිපයක් උල්ජන් යෝජනා කරයි:
- යුරෝපා සංගමය නියෝජනය කරමින් එක් ආසනයක් පමණක් ලබා දීම
- ස්ථිර සාමාජිකයින් සතු නිෂේධ බලයට තවදුරටත් කොන්දේසි පැනවීම
- තනි ස්ථිර සාමාජිකයෙකුගේ නිෂේධ බලය අභිබවා යාමට මහා සභා රැස්වීමේදී අතිබහුතර ඡන්දයකට ඉඩ ලබා දීම
ඇමෙරිකානු ස්ථාවරය දෙස අවධානය යොමු කරමින් ඔහු පවසන්නේ, එවැනි අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ වෙනත් තුන් වන පාර්ශවයක් නියෝජනය කරන සාමාජිකයෙකුට නිෂේධ බලය නොමැති නිත්‍ය සාමාජිකයින්) එය පිළිගැනීම හෝ ඉවත දැමීම කළ හැකි බව ය.
එහෙත් ඔහු පවසන්නේ, මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට වඩාත් පුළුල් නියෝජනයක් ලබා ගැනීමට ඉඩ සලසන නමුත්, ගාසා යුද්ධයේදී පෙනෙන පරිදි තනි රටක නිෂේධ බලය (එනම් ඇමෙරිකානු නිෂේධ බලය) මගින් ආරක්ෂක මණ්ඩලය "ප්‍රාණ ඇපයට තබා ගැනීමේ" අභියෝගය ඉවත් නොවන ඇති බව ය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි ඕනෑ ම ප්‍රතිසංස්කරණ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සියලු ම සාමාජිකයින්ගෙන් තුනෙන් දෙකක් සහ සියලු ම ස්ථිර සාමාජික රටවල් විසින් අනුමත කරනු ලැබිය යුතු ය.
ආධාර සපයන්නා
ගාසා යුද්ධයට පෙර සිට ම එක්සත් ජාතීන්ගේ සංවිධානය අභියෝගාත්මක අදියරක් පසු කරමින් සිටි බව International Crisis Group ආයතනයේ රිචඩ් ගෝවන් තර්ක කරයි.
ඔහු පවසන්නේ, පසුගිය වසර තුළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සුඩානයේ යුද්ධයට, නයිජර්හි කුමන්ත්‍රණයට ප්‍රතිචාර දැක්වීමට පැකිළුණු අතර රුසියාව සහ බටහිර රටවල් යුක්රේනය සම්බන්ධයෙන් අඛණ්ඩව ගැටුම් ඇති කර ගත් බව ය.
මෙවැනි අඩුපාඩු තිබියදීත්, ඇෆ්ගනිස්ථාන සිද්ධිය වැනි අවස්ථාවලදී ඇමෙරිකාව, චීනය සහ රුසියාවට එකට එකතු වී ගනුදෙනු කළ හැකි ස්ථාන කිහිපයෙන් එකක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට තවමත් වටිනාකමක් පවතින බව ඔහු විශ්වාස කරයි.
"ඇමෙරිකාව සහ බටහිර බලවතුන් කාබුල් නගරයෙන් ඉවත් වූ අවස්ථාවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි රැඳී සිටිමින් අඛණ්ඩව පාසල් පවත්වාගෙන ගොස් මිලියන සංඛ්‍යාත ජනතාවට හදිසි සහන සලසන්න එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන කටයුතු කළා," ඔහු පවසයි.
"එක්සත් ජාතීන්ගේ සංවිධානය තලිබාන් සංවිධානය එක්ක කතා නොකළා නම්, මුළු රට ම සාගතයකට ඇද වැටෙන්න ඉඩ තිබුණා.
"ඒ හා සමානව, ගාසා, සිරියාව සහ තවත් තැන් රැසක පීඩාවට පත්වූවන්ට තවමත් ආහාර සහ ඖෂධ සපයන්නේ එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන මගින්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය බොහෝ අරමුදල්, වැඩසටහන් සහ විශේෂිත ආයතනවලින් සමන්විත වන අතර, ඒ සෑම ආයතනයකට ම තමන්ගේ ම කාර්ය ක්ෂේත්‍රයක්, නායකත්වයක් සහ අයවැයක් ඇත.
ඊට, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් (UNHCR), ලෝක ආහාර වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇතුළු තිරසර සංවර්ධනය, ආර්ථික වර්ධනය, වෙළෙඳ, සෞඛ්‍යය, දේශගුණික විපර්යාස, ආරක්ෂාව, සාමය ගොඩනැගීම, ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මානුෂීය ආධාර යන ක්ෂේත්‍ර ඉලක්ක කර ගත් ආයතන තවත් විශාල සංඛ්‍යාවක් ඇතුළත් වේ.
"අපි හැම තිස්සෙ ම කතා කරන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගැන විතර යි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලය තමන්ගේ ජීවිත පරදුවට තබලා අධිකව වෙහෙසිලා කරන කාර්යයන් ගැන අපට මතක නෑ," ලුයී චාර්බනියු පෙන්වා දෙයි.
ගාසා ගැටුම් අතරතුර එක්සත් ජාතීන්ගේ මානුෂීය සහන සේවකයින් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය එම සංවිධානය 78 වසරක ඉතිහාසය තුළ මුහුණ පෑ විශාලතම හානිය වේ.
එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය තුළ, විමර්ශන සඳහා යාන්ත්‍රණයන් ඇති බවත්, බරපතළ අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම සඳහා වෙනත් රාජ්‍යයන්ට සම්බාධක පැනවිය හැකි බවත්, සාම සාධක මෙහෙයුම් සඳහා අවසර දිය හැකි බවත්, පශ්චාත් ගැටුම් කාලසීමාවන් තුළ මානව හිමිකම් කඩවීම් නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ අර්බුදයක් පවතින බවට ඔහු එකඟ වෙයි.
"එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ සාමාජික රටවල් 193කින් සැදුම්ලත් සංවිධානයක්. ඒකෙ හොඳ තීරණය වෙන්නේ ඊට අයිති රටවල තත්ත්වය අනුව යි," ඔහු පවසයි.
"රුසියාව, සිරියාව ආරක්ෂා කිරීම හෝ තමන්ගේ ම සාහසික ක්‍රියාවලින් යුක්රේනයේදී ආරක්ෂා වීම හෝ ඇමෙරිකාව, ඊශ්‍රායලය ආරක්ෂා කිරීම හෝ චීනය, උතුරු කොරියාව ආරක්ෂා කිරීම හෝ උයිගර්වරුන්ට එරෙහි මනුෂ්‍යත්වයට නුසුදුසු තමන්ගේ ම අපරාධ පිළිබඳ විවේචන නිහඬ කිරීමට උත්සාහ කිරීම වැනි උදාහරණ සැලකීමේදී…
"පරිපූර්ණ ප්‍රඥප්තිය සමගින් පරිපූර්ණ සංවිධානයක් පැවතිය හැකි අතර, රාජ්‍යයන් ඔවුන්ගේ වගකීම්වලට අනුකූලව ක්‍රියා කිරීමට අකමැති නම් එය කිසිසේත් ඵලදායක නැහැ."
'දීර්ඝ අරගලය'
සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය අනාගතය පිළිබඳ සමුළුවක් (Summit of the Future) පවත්වනු ඇති අතර, එය ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ සලකා බැලීමට සහ විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රිචඩ් ගෝවන් සිතන පරිදි, මෙය ප්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීමට ප්‍රබල වේදිකාවක් විය හැකි වුව ද, ඇමෙරිකානු මැතිවරණයට මාස දෙකකටත් වඩා අඩු කාලයකට පෙර සමුළුව පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ නිලධාරීන් දැනුවත්ව සිටිනු ඇති බව ය.
"රාජ්‍ය තාන්ත්‍රිකයින් 2025 වසරේදී ට්‍රම්ප් පරිපාලනයක් ඇති කර ගත හැකි යැයි සිතන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැබවින් ම වැදගත් සාකච්ඡාවලට එළඹීමට ඔවුන් පෙළඹවීම දුෂ්කර වනු ඇතැයි," ඔහු පවසයි.
මහාචාර්ය ගර්ජස් විශ්වාස කරන්නේ, ඇමෙරිකාව තමන්ගේ භූමිකාව දුර්වල කරන ඕනෑ ම ආකාරයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට එකඟ වනු ඇතැයි අපේක්ෂා කිරීම යාථාර්ථවාදී නොවන බව ය.
"මේක දීර්ඝ අරගලයක්. අපි කතා කරන්නේ දශකයක් ගැන නෙවෙයි, අපි කතා කරන්නේ දශක කිහිපයක් ගැන," ඔහු අවධාරණය කරන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් ලෝකයට අවශ්‍ය බව ය.
"(එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්ම නතර වුණොත්) එහි ප්‍රතිවිපාක අවුල්සහගත වෙන්න පුළුවන්. ඒක කැලෑ නීතිය ස්ථාපනය වීමක් වෙන්න පුළුවන්," ඔහු පවසයි.












