ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
T20 ලෝක කුසලානය: පෙරළියක් කළ හැකි ක්‍රීඩකයින් කවුද ?
2024 T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා පළමු වරට රටවල් 20ක් නියෝජනය කරමින් කණ්ඩායම් තරග කිරීමට නියමිතය.
මෙම තරගාවලියේදී ඉහළ දස්කම් දක්වනු ලබන ක්‍රීඩකයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් ක්‍රීඩා ලෝලීන් තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවදානයක් හිමිවන ක්‍රීඩකයින් කවුරුන්ද යන්න පිලිබඳව ICC විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් වලට අනුව කළ කරුණු සොයා බැලීමයි මේ.
වැඩි අවධානයක් හිමිවන පිතිකරුවන් කවුරුන්ද ?
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වැඩි අවධානයක් හිමිවන පිතිකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ මේ වන විටත් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව තිබේ.
ICC යේ නවතම විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉහළින්ම සිටින්නේ ඉන්දියාවේ සුර්ය කුමාර් යාදෙව්ය.
එම ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ එංගලන්තයේ ෆිල් සෝල්ට් ද, තෙවන සහ සිව්වන ස්ථානයේ පකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් පසුවේ.
දකුණු අප්‍රිකාවේ ඒයිඩ්‍රන් මාක්ක්‍රම්, ඉන්දීය කණ්ඩායමේ යෂස්වී ජායිස්වාල් මෙන්ම එංගලන්ත කණ්ඩායමේ ජෝස් බට්ලර් ද මෙවර ලෝක කුසලාන තරගාවලියේදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන සිටින පිතිකරුවන් වේ.
එමෙන්ම ICC ශ්‍රේණිගත කිරීම්වල පළමු පිතිකරුවන් 10 දෙනා අතරට ඇතුළත් නොවුන ද ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි සහ රෝහිත් ශර්මා, ඕස්ට්‍රේලියාවේ ට්‍රැවීස් හෙඩ් සහ ග්ලෙන් මැක්ස්වෙල්, නවසීලන්ත කණ්ඩායමේ රචීන් රවින්ද්‍ර මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පිළිබඳව ද ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමුව තිබේ.
වැඩි අවධානයක් දිනාගෙන සිටින පන්දු යවන්නන් කවුද?
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම අවධානයක් දිනාගෙන සිටින පන්දු යවන්නන් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයේ පසුවන එංගලන්තයේ අදීල් රෂිඩ්, දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග, තෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවේ අක්සාර් පටෙල් සහ සිව්වන ස්ථානයේ පසුවන මහීෂ් තීක්ෂණ මෙවර තරගාවලියේ දී වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා සිටිති.
එමෙන්ම ඉන්දියාවේ රවි බිෂ්නෝයී, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අකීල් හුසේන්, ඕස්ට්‍රේලියාවේ ජෝෂ් හේසල්වුඩ්, ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් මෙන්ම දකුණු අප්‍රිකාවේ ටබ්රේයිස් සම්සී ද T20 ලෝක කුසලානයේ දී දක්ෂතා දක්වනු ඇති බවට සැලකිය හැකි පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති.
එමෙන්ම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව පළමු ස්ථාන 10ය අතර නොමැති වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මතීෂ පතිරණ සහ නුවන් තුෂාර, ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් සහ පැට් කමින්ස් පිළිබඳව ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ පසුගියදා පැවති IPL තරගයේදී ඔවුන් දැක්වූ දක්ෂතා හේතුවෙන්ය.
පෙරලියක් කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩකයින් කවුද ?
මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී පෙරලියක් ඇති කළ හැකි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සහ බංගලාදේශ කණ්ඩායමේ ෂකිබ් අල් හසන් ඉදිරියෙන් පසුවේ.
නවතම ICC විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පෙරමුණේ පසුවන්නේ වනිදු හසරංගය. එහි දෙවන ස්ථානයේ සිටින්නේ බංගලාදේශ කණ්ඩායමේ ෂකිබ් අල් හසන්ය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් නබී, දකුණු අප්‍රිකාවේ ඒඩ්ඩ්‍රන් මාක්ක්‍රම්, ඉන්දියාවේ හර්දික් පාන්ඩ්යා, එංගලන්තයේ ලියාම් ලිවින්ස්ටෝන් සහ මොයින් අලී, නේපාලයේ දීපෙන්ද්‍ර සිං අයිරී ICC විස්සයි 20 තුන් ඉරියවු ක්‍රීඩකයින් ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉදිරියෙන් පසුවන අතර ඔවුන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පෙරලියක් කළ හැකි ක්‍රීඩකයින් බවට සැලකිය හැකිය.
මේ අතර ශ්‍රේණිගත කිරීම් වලට අනුව පළමු ක්‍රීඩකයින් දස දෙනා අතරට ඇතුළත් නොවුනත් නවසීලන්තයේ රචින් රවින්ද්‍ර සහ මිචෙල් සැන්ටර්, ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස් ඇතුළු තවත් ක්‍රීඩකයින් ගේ දක්ෂතාවයන් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට නිතැතින්ම උදාවෙනු ඇත.
ලෝක කුසලානයේ වැඩි අවධානයක් හිමිවන 'පවර් හිටර්ස්ලා' කවුද?
පසුගියදා නිමාවූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී පැවති තරග 74න් අවස්ථා 41කදි ලකුණු 200 සීමාව ඉක්මවා යාමට කණ්ඩායම් සමත් විය. ඒ, පිතිකරුවන් විසින් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව දියත් කළ පිති ප්‍රහාර හේතුවෙනි.
මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ද පිතිකරුවන්ගේ එවැනි ප්‍රහාරාත්මක පිතිකරණයක් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තුවෙන් සිටියි.
ඒ අනුව මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී වැඩි අවධානයක් හිමිවන ' පවර් හිටින්' පිතිකරුවන් කවුදැයි බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.
එහිදී ඉන්දියාවේ සූර්ය කුමාර් යාදෙව් ඉදිරියෙන් පසුවේ. ඔහුගේ ප්‍රහාරත්මක වේගය 171.55ක් ලෙස සටහන් වේ.
ප්‍රහාරත්මක වේගය 165.48ක් ලෙස සටහන් වන එංගලන්ත කණ්ඩායමේ ෆිල් සෝල්ට්, එමෙන්ම 163.60 ක පහර දීමේ වේගයක් සහිත නවසීලන්ත කණ්ඩායමේ ෆින් ඇලන් ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධානයක් හිමිවන පවර් හිටින් පිතිකරුවන් බව සැලකිය හැකිය.
163.52ක පන්දුවට පහර දීමේ ප්‍රතිශතයක් හිමි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඇන්ඩ්රේ රසල්, 161.93ක පන්දුවට පහර දීමේ වේගයක් පවත්වාගෙන යන ඉන්දියාවේ යෂස්වී ජායිස්වාල්, 155.51ක පිතිකරණ වේගයක් සහිත ඕස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් පිළිබඳව ද බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී තිබේ.
එමෙන්ම නවසීලන්ත කණ්ඩායමේ ජිම් නිෂම්, දකුණු අප්‍රිකාවේ රයිලි රූසෝව්, එංගලන්ත කණ්ඩායමේ ජෝස් බට්ලර් වැනි පිතිකරුවන් ද මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධානයක් හිමිවන පවර් හිටින් පිතිකරුවන් ලෙස ඉදිරියෙන් සිටියි.