ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙවර ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වැඩිම පළපුරුද්දක් ඇති ක්‍රීඩකයා හදිසියේ කැඳවූ ඇන්ජලෝ මැතිව්ස් ද?
ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් හෙට (ඔක් 26 වෙනිදා) බැංගලෝර්හි දී පැවැත්වීමට නියමිත ය. හෙට තරගය ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් දෙක අතර පැවැත්වෙයි.
මේ වන විට ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අට සහ නවය යන ස්ථානවල පසුවීම හේතුවෙන්, හෙට පැවැත්වෙන මෙම තරගය දෙපිලටම වැදගත් තරගයක් වෙයි.
දෙපිලටම තීරණාත්මක මෙම තරගයේ දී ශ්‍රී ලංකා සංචිතය තුළ තවත් එක් වෙනසක් සිදුකර තිබේ. ඒ, ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි මතීෂ පතිරණ ආබාධයකට මුහුණපෑම හේතුවෙන් ඔහු වෙනුවට ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් නම් කිරීම යි.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් සිදුකළ ඉල්ලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඊයේ (ඔක්. 24) හිමිවීමත් සමග මෙසේ සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින්, ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ සිටිය යුතුව තිබූ බව පැවසීය.
"මට හිතෙන්නේ එයා [මැතිව්ස්] හිටිය නම් හුඟක් හොඳයි කියලා සයිඩ් එකත් එක්ක."
"මේ වගේ ලෝක කුසලාන තරගාවලියක් කියන්නේ ඒකට ක්‍රීඩා කරන හැම කණ්ඩායමක්ම තමන්ගේ වැඩිම පළපුරුදු ක්‍රීඩකයින් එක්ක ෆුල් ටීම් එක යොදවනවා. අපේ ස්කොඩ් එක එනවුන්ස් කරද්දී මම හිතුවේ මැතිව්ස් ලෝක කුසලාන තරගාවලියේ දී හිටිය නම් හොඳයි කියලයි," ඔහු පැවසීය.
ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ කවුද?
1987 වර්ෂයේ ජූනි මස දෙවැනිදා කොළඹ දී උපත ලැබූ ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස්, කොළඹ සාන්ත ජෝසප් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය.
දකුණත් පිතිකරුවෙකු මෙන්ම දකුණත් මඳවේග පන්දු යවන්නෙකු වන මැතිව්ස්ට, 2008 වර්ෂයේ දී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාවිය.
2008 වසරේ දෙසැම්බර් 31 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින වරම් ලැබීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
ඉන්පසුව පිළිවෙලින් 2009 වසරේ ජූනි අටවෙනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි 20 වරම් ලැබූ ඔහු, 2009 වසරේ ජුලි හතරවෙනිදා පාකිස්ථානයට එරෙහිව ඔහුගේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගත්තේ ය.
මැතිව්ස් දක්වා ඇති දක්ෂතා මොනවාද?
මේ දක්වා එක්දින තරග 221කට ක්‍රීඩා කර ඇති ඇන්ජලෝ මැතිව්ස්, ඉනිම් 191ක දී ලකුණු 5865ක් රැස් කිරීමට සමත්ව ඇත.
ඔහු එක්දින තරගවල දී ශතක තුනක් සහ අර්ධ ශතක 40ක් රැස් කිරීමට සමත්ව ඇත. එක්දින තරගවල දී ඔහුගේ පන්දුවට පහරදීමේ වේගය 83.09ක් වන අතර පන්දුවට පහරදීමේ සාමාන්‍යය 41.01ක් වේ.
එක්දින තරගවල දී කඩුලු 120ක් දවාගෙන ඇති මැතිව්ස් රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 53කි.
ඔහු අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මෙම වසරේ ජූනි දෙවෙනිදා ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට එරෙහිව හම්බන්තොට දී ය.
ටෙස්ට් තරග 106කට ද ක්‍රීඩාකර ඇති මැතිව්ස් ඉනිම් 188ක දී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,361කි. ඊට ශතක 15ක් සහ අර්ධ ශතක 40ක් ඇතුළත් වන අතර, ඔහු ටෙස්ට් තරගයක දී ද්විත්ව ශතකයක් ද වාර්තා කිරීමට සමත්ව ඇත.
පන්දු යවන්නෙකු ලෙස ටෙස්ට් තරගවල දී කඩුලු 33ක් දවාගෙන ඇති ඔහු රැකගෙන ඇති උඩ පන්දු සංඛ්‍යාව 73කි. ටෙස්ට් තරගවල දී ඔහුගේ පන්දුවට පහරදීමේ සාමාන්‍යය 45.43කි.
විස්සයි 20 තරග 78කට ක්‍රීඩාකර ඇති මැතිව්ස් ලකුණු 1148ක් රැස්කර ගෙන ඇති අතර, පන්දු යැවීමේ දී කඩුලු 38ක් දවාගෙන ඇත. ඔහු රැකගෙන ඇති උඩපන්දු සංඛ්‍යාව 24කි.
මැතිව්ස්ගේ අත්දැකීම් සහ දක්ෂතා
මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් අතරින් වැඩිම පළපුරුද්දක් ඇති ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස් ය.
ඔහු 2009 ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය ද ඇතුළුව ලෝක කුසලාන තරගාවලි පහක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ලාබාලතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකයා ලෙස වයස අවුරුදු 25 දී ඔහු වෙත කණ්ඩායමේ වගකීම පවරනු ලැබීය.
2014 වසරේ දී එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද ඇන්ජලෝ මැතිව්ස් ය.
ඔහු 2013 වසරේ සිට 2017 වසර දක්වා වූ සිව්වසරක කාල සීමාව පුරාවට ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 ශ්‍රී ලංකා කණ්ඩායම්හි නායකත්වය හොබවනු ලැබීය.
එමෙන්ම 2014 වසරේ පැවති ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මැතිව්ස් නැවත වරක් 2018 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ විස්සයි 20 තරග කණ්ඩයම් සඳහා නායකත්වය සඳහා මාස හයක පමණ කාලයක් සඳහා නම් කරනු ලැබීය.
2010/2011 වසරේ ඕස්ට්‍රේලියාව සමග එරට දී පැවති එක්දින තරගාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග නවවන කඩුල්ල වෙනුවෙන් වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්විය. එහිදී ඔවුන් ලකුණු 132ක් රැස් කිරීමට සමත් විය.
සමුගැනීමට සූදානම් වීම සහ නැවත කැඳවීම
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් යුත් වත්මන් තේරීම් කමිටුව විසින් නවක ක්‍රීඩකයින්ට එක්දින සහ විස්සයි 20 කණ්ඩායමේ වැඩි ඉඩක් ලබාදීමට තීරණය කිරීමත් සමග 2021 වසරේ දී ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සලකා බලමින් සිටින බවට අදහස් දක්වා තිබුණි.
කෙසේ වෙතත් මැතිව්ස් අඛණ්ඩව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරනු ලැබීය.
2021 වසරේ මාර්තු මස 10 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව, 2023 මාර්තු මස 25 වෙනිදා නවසීලන්තයට එරෙහිව යළිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව මැතිව්ස්ට උදාවිය.
එම එක්දින තරගයෙන් පසු තවත් එක්දින තරග දෙකකට පමණක් මෙම වසරේ දී ක්‍රීඩා කරන මැතිව්ස්, මෙවර ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව උදාවනු ඇතැ යි බලාපොරොත්තු සහගතව සිටිය ද ඔහුගේ නම ඊට ඇතුළත් නොවීය.
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස බැවින්, මීට පෙර ඔහු කණ්ඩායමට ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දරනු ලබන අදහස කුමක්දැ යි බිබීසි සිංහල සේවය අරවින්ද ද සිල්වා ගෙන් විමසන ලදී.
"අපි දන්නේ නැහැනේ සිලෙක්ටර්ස්ලා මොනවා හිතල කළා ද කියලා. මොකද එක එක්කෙනාගේ පර්ෆෝමන්ස් අනුවනේ ගේම් එක ප්ලෑන් කරන්නේ. ඒක ඉතින් එයාලා හිතන විදිහ. නමුත් මට පහුගිය දවස්වල ගොඩක් කිට්ටුවෙන් ක්‍රිකට් ගැන බලන්න බැරි වුණා," ඔහු පැවසුවේ ය.
ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගනු ලැබීය.