ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ දක්වා සිදුවූ වෙනස්කම් මොනවා ද?
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ පිටපිටම පරාජයන් තුනකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (ඔක්. 21 වැනිදා) ලක්නව් හිදී තවත් තරගයකට මුහුණ දීමට නියමිතය.
ශ්‍රී ලංකාව හෙට දිනයේදී තරග වැදීමට නියමිතව ඇත්තේ ලොව එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 3 ස්ථානය හිමිකර ගෙන සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉකුත්දා පරාජයට පත් කළ නෙදර්ලන්ත කණ්ඩායම සමගයි.
තරගාවලියේ මීළඟ වටයට යෑම සඳහා ශ්‍රී ලංකාවට ඉදිරි තරග ජයග්‍රහණය කිරීම හා දළ ලකුණු වේගය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම තීරණාත්මක වෙයි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේදක්වා එකම තරගයක් හෝ ජය ගෙන නොමැති එකම කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමය.
ප්‍රධාන පන්දු යවන්නන් කිහිප දෙනෙකු නොමැතිව ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට තරගාවලියට මුහුණ දෙන්නේ නිත්‍ය නායක දසුන් ශානක ද නොමැතිවය.
ක්‍රිඩකයින් ආබාධවලට ලක්වීම හේතුවෙන් තරගාවලිය මැද සංචිතයට අලුතින් ක්‍රීඩකයින් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මේවන විට පියවර ගෙන ඇත.
මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවූ වෙනස්කම්
එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට සති 3 ක කාලයක් විවේක ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් දා නිවේදනය කළේය.
ඒ වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න කැඳවනු ලැබිණි.
වේග පන්දු ක්‍රීඩක මතිෂ පතිරණ ද ආබාධයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබීය.
“එක එක්කෙනාගේ වගකීම තේරුම් කරලා දෙන්න”
ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 6ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමේදී කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබාදෙන පණිවුඩය කුමක්දැයි ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද ද සිල්වා ගෙන් විමසුවිට ඔහු පැවසුවේ එක් එක් ක්‍රීඩකයා ඉටුකළ යුතු වගකීම පැහැදිලිව තේරුම්කර දිය යුතු බවයි.
"අපි හරි කම්බිනේෂන් එකක් බලලා හරි ප්ලෑන් එකක් ඇතුව ක්‍රීඩා කළ යුතුයි. එහිදී එක් එක් ක්‍රීඩකයින්ට ඔවුන්ට පැවරෙන වගකීම ගැන පැහැදිලි කරලා දීලා ඒ විදිහට ක්‍රීඩා කරන්න ඕන."
"එක් එක් ක්‍රීඩකයා හඳුනා ගන්න අවශ්‍යයි තමන් කළ යුතු දේ කුමක්ද කියලා." ඔහු පැවසුවේය.
මැතිව්ස් සහ චමීර ඉන්දියාවට
අතිරේක ක්‍රීඩකයින් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මේවන විට ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටිති.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේදී ඊට ඇන්ජලෝ මැතිව්ස් එක් කළ යුතු ද ? නැද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ වාද විවාද මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ පැවතුණි.
කෙසේ වුවද අවසානයේදී නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට මැතිව්ස් නම් කර නොතිබුණි.
ඒ වනවිට දුෂ්මන්ත චමීරගේ ආබාධය සුව අතට පත්වී නොතිබීම හේතුවෙන් ඔහු ද සංචිතයට එක් නොකෙරුණි.
“මැතිව්ස් සිටියනම් හොඳයි කියලා මම හිතුවා”
1996 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩක අරවින්ද ද සිල්වා බීබීසි සිංහල වෙත පැවසුවේ ඇන්ජලෝ මැතිව්ස් මෙවර ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ සිටිය යුතුව තිබු බවයි.
" මට හිතෙන්නේ එයා ( ඇන්ජලෝ මැතිව්ස්) හිටියා නම් හුඟක් හොඳයි කියලා සයිඩ් එකත් එක්ක."
"මේ වගේ ලෝක කුසලාන තරගාවලියක් කියන්නේ ඒකට ක්‍රීඩා කරන හැම කණ්ඩායමක්ම තමන්ගේ වැඩිම පළපුරුදු ක්‍රීඩකයින් එක්ක ෆුල් ටීම් එක යොදවනවා."
"අපේ ස්කොඩ් එක එනවුන්ස් කරද්දී මම හිතුවේ මැතිව්ස් ලෝක කුසලාන තරගාවලියේ දී හිටියනම් හොඳයි කියලයි." ඔහු පැවසීය.
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස බැවින් මීට පෙර ඔහුව කණ්ඩායමට ඇතුළත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දරනු ලබන අදහස කුමක්දැයි බිබීසී සිංහල අරවින්ද ද සිල්වාගෙන් විමසා සිටියේය.
ඊට ඔහු විසින් ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි,
"අපි දන්නේ නැහැනේ සිලෙක්ටර්ස්ලා මොනවා හිතල කළාද කියලා. මොකද එක එක්කෙනාගේ පර්ෆෝමන්ස් අනුවනේ ගේම් එක ප්ලෑන් කරන්නේ. ඒක ඉතින් එයාලා හිතන විදිහ. නමුත් මට පහුගිය දවස්වල ගොඩක් කිට්ටුවෙන් ක්‍රිකට් ගැන බලන්න බැරි වුණා." ඔහු පැවසුවේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑමට ශ්‍රී ලංකාව කළ යුත්තේ කුමක් ද?
ඕස්ට්‍රේලියාව සමග (ඔක්. 16 වෙනිදා) ලක්නව්හිදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ කුසල් මෙන්ඩිස්ය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවනු ලබන 26 වැනි නායකයා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිකට් ඉතිහාසට එක්විය.
ආබාධය හේතුවෙන් දසුන් ශානකට සති තුනක කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
දසුන් ශානකට අමතරව වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ ද ආබාධයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
දසුන් ශානක වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇත්තේ චාමික කරුණරත්නය.
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බිබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම සිදුවීම් දෙකම ඉතාම අවසනාවන්ත සිදුවීම් දෙකක් බවයි.
"ඉන්ජරි කියන්නේ කාටත් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. ඒක බලාපොරොත්තු නොවෙන දෙයක්. මේ දෙකම ඉතාම අවසානාවන්ත තත්ත්ව දෙකක්."
"පත්කරපු නායකයා නැතිවීම සහ තෝරා ගත් එක ක්‍රීඩකයෙක් කණ්ඩායමට නැතිවීම. කණ්ඩායමක් හැටියට උත්සහ ගන්න අවශ්‍යයි මේකෙන් වෙන යම් පාඩුවක් තිබේනම් ඒක මග හැර ගෙන ක්‍රීඩා කරන්න. ඕනෑම හොඳ කණ්ඩායමක්ම කළ යුතු දේ එයයි. නැතිවුණු දේ ගැන අඬලා වැඩක් නැහැ." රොෂාන් අබේසිංහ පැවසුවේය.
දසුන්ගේ පුරප්පාඩුව පිරවිය යුත්තේ කවුද ?
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයේදී දසුන් ශානකගෙන් හිස්වන ස්ථානය පිරවීමට වඩාත් සුදුසු ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්න ද එසේත් නැත්නම් චාමික කරුණාරත්න ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල රොෂාන් අබේසිංහගෙන් විමසා සිටියේය.
ඔහු ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
"දසුන් තුන් ඉරියවු ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායමට එකතු වෙන්නේ. ඔහු පන්දු යවනවා. ඒ වගේම මැද පෙළ පිතිකරණයේ යෙදෙනවා. මම හිතන්නේ ඔහුගේ තැන පිරවිය යුත්තේ චාමික කරුණරත්න." ඔහු පැවසීය.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන
මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 10 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම තමන් ක්‍රීඩා කළ පළමු තරග 3 ම පරාජයට පත්විය.
ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල වෙත පවසා සිටියේ දැන් සිටම ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයග්‍රහණය කළ යුතු බවයි.
"දැන් ඉදලම තරග දිනන්න අවශ්‍යයි. දිනන්න බැහැයි කියල දෙයක් නැහැ. අපි බැට් කරපු විදිහට බැට් කරන්න පුළුවන්. අපේ ඉන්න බෝලින් යුනිට් එක එක්ස්පීරියන්ස් එක අඩුයි. ඒක මේ ඉදිරි තරග දෙකේදී එක්ස්පිරියන්ස් එන්නේ නැහැ. අලුත් ක්‍රම අත්හදා බලන්න අවශ්‍යයි. ලෝකයේ හැම ටීම් එකකටම අනිත් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දත්ත ගැන හොයා බලන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා. මේවා හොඳට පාවිච්චි කරන්න ඕන." ඔහු පෙන්වා දුන්නේය.
'නායකත්වය මට පීඩනයක් නෙමෙයි'
නායකත්වයේ වගකීම ලැබුණද තමන්ගේ පිතිකරණයේ වෙනසක් සිදුනොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක කුසල් මෙන්ඩිස් පවසයි.
ඔහු මේ බව පැවසුවේ (ඔක්. 15 වෙනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් පැවසුවේ,"මුලින්ම ගොඩක් සතුටුයි නායකත්වය ලැබීම ගැන. මම මීට පෙර ද නායකත්වය දරලා තියෙනවා. නායකත්වය ලැබුණා කියලා මම ලෝකු ප්‍රෙෂර් එකක් දාගන්නේ නැහැ.මම ලකුණු අතර හිටියොත් මං දන්නවා මැච් එක දිනන්න පුළුවන් කියන එක. නායකත්වය ලැබුනට පස්සෙත් මං බලාපොරොත්තුව ඉන්නවා මේ විදිහට සෙල්ලම් කරන්න."
"මගේ බැටින් පැත්තෙන් මම කරන් ආපු විදිහට ඉස්සරහට සෙල්ලම් කරනවා. ටීම් එකේ අවශ්‍යතාවයට මම ඒ විදිහට සෙල්ලම් කරන්න ලැස්ති." ඔහු පැවසීය.
දසුන් ශානක ආබාධයකට ලක්වීම කණ්ඩායමට පාඩුවක් බවත් ඔහු වෙනුවට කණ්ඩායමට ඇතුළත්වන ක්‍රීඩකයා එම වගකීම ඉෂ්ඨ කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවත් ඔහු පවසයි.
"ලොකු අවාසනාවක් දසුන් ශානකගේ සේවය අහිමි වීම. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට. අපි බලන්න ඕන ටීම් එකක් විදිහට ඉස්සරහට යන්න."
"වනිදු හසරංග ඉන්ජර්ඩ් වුනාම ඒ වෙනුවට කෙනෙක් ගෙනාවා. මම එලියට ගියත් මං වෙනුවට ඒන කෙනා ඒ පාර්ට් එක හරියට කරන්න ඕන ටීම් එක වෙනුවෙන්. "
"මම හිතනවා දසුන් වෙනුවට ටීම් එකට එන කෙනා ඒ රෝල් එක හරියට කරයි කියලා. ඒක තමයි වෙන්න ඕන." ඔහු කියා සිටියේය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ අඩුම අත්දැකීම් සහිත කණ්ඩායම ශ්‍රී ලංකාව ද ?
2019 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසකම් රැසක් සිදුවිය. ඒ අතරින් පළපුරුදු ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් තිබෙන අතර තවත් ක්‍රීඩකයින්ට මෙවර ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට අවස්ථාව හිමි නොවිය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙස විමසා බලන විට, සංචිතයෙන් බහුතරයක් ක්‍රීඩකයින්ගේ පළමු ලෝක කුසලාන අත්දැකීම වන්නේ මෙවර තරගාවලිය.
2019 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් පමණය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානක ද ඇතුළුව ක්‍රීඩකයින් 11 දෙනෙකුගේ පළමු ලෝක කුසලාන අත්දැකීම වන්නේ මෙම තරගාවලියයි.
ශ්‍රී ලංකා පිලට මොකද වුනේ ?
ආසියානු කුසලානයේ අනුශුරයින් බවට පත්වූ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පෙරලියක් කරනු ඇති බවට බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි අතර ඊට ප්‍රධාන හේතුව වුයේ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අඛණ්ඩව එක්දින තරග 13ක් ජයග්‍රහණය කරමින් ජයග්‍රාහි මානසික මට්ටමක පසුවීමය.
කෙසේවුවද ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා කළ පළමු තරග තුනම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.
එම පරාජයන්ට මුලික හේතුව වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බල ඇණියේ ඇති අත්දැකීම් මදකම බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසයි.
"පකිස්ථානය සමග පැවති තරගයේදී අපේ පන්දු යවන්නන් 7 දෙනෙක් බෝල් කළා. ඒ අතරින් අපේ ප්‍රධානම පන්දු යවන්නන් ඩිල්ෂාන් මධුශංක, මහිෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ. ඒ හතර දෙනාම තවම අවුරුදු 23ක් හෝ ඊට වඩා වයසින් අඩුයි. මේවගේ අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයෝ මේ වර්ල්ඩ් කප් එකේ ක්‍රීඩා කිරීම ලොකු අභියෝගයක් ලංකාවේ කණ්ඩායමට. මේ වගේ තරුණ ක්‍රීඩකයින්ගෙන් වර්ල්ඩ් කප් දිනන්න අපිට හරිම අමාරුයි."
"වර්ල්ඩ් කප් ක්‍රීඩා කරපු අර්ජුන රණතුංගගේ ඉදලා සනත් ජයසුරියගෙන් වුනත් අහන්න, මේ හැම කෙනාම බලන්නේ උපරිම අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් එක්ක යන්න. අපේ අත්දැකීම් තියෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධ නිසා මෙවර සංචිතයේ නැහැ. ඒ වෙනුවට ක්‍රීඩකයින් පිරිසක් ආදේශ කරලා තියෙනවා. ඒකයි මෙතැන තියෙන ප්‍රශ්නේ." ඔහු පැවසුවේය.
මේ අතර පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති ලෝක කුසලාන තරගයේදී විස්තර විචාරයේ යෙදුනු රසල් ආර්නල්ඩ් දැක්වූ අදහසක් පාදක කර ගනිමින් ප්‍රවීණ විස්තර විචාරක හර්ෂා බෝග්ලේ සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින්ට ඇතිවී තිබෙන ආබාධ හේතුවෙන් එම තරුණ පන්දු යවන ක්‍රීඩකයින්ට මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුව ඇති බවයි.
මතිෂ පතිරණට පමණක් ඇඟිල්ල දිගු කිරීම සුදුසු ද?
මතීෂ පතිරණ තමන් ක්‍රීඩා කළ අවසන් තරග දෙකේදී පන්දු වාර 19ක් යවා ලකුණු 185කට කඩුලු දෙකක් පමණක් දවා ගැනීමට සමත් වූ අතර එහිදී ඔහු විසින් යවන ලද වයිඩ් පන්දු සංඛ්‍යාව 14ක් වේ. ඔහු මෙතෙක් එක්දින තරග 12කට පමණක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු විසින් යවා ඇති වයිඩ් පන්දු සංඛ්‍යාව 56 කි.
පන්දු යවන්නෙකු ලෙස මතීෂ පතිරණ ඉලක්ක කර ගනිමින් බොහෝ ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබා ඇත්තේ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් මතු කරමිනි.
මතීෂ පතිරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රොෂාන් අබේසිංහ පවසා සිටියේ නවක පන්දු යවන්නෙකු ලෙස ඔහුට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.
"ඒ තරුණ ක්‍රීඩකයාට ක්‍රීඩාංගණයෙන් එලියෙත් පීඩනය, ක්‍රීඩාංගණයේ ඇතුලෙත් පීඩනය. එයාට ලේසි නැහැ මේ වැඩේ කරන්න. ඔහුට ඒ සඳහා අත්දැකීම් නැහැ. අත්දැකීම් අඩු නිසා දන්නේ නැහැ සිටුවේෂන් හැන්ඩ්ල් කරන්න. අමතක කරන්න එපා එයාගේ පන්දු යැවීමේ ඇක්ෂන් එක ලේසි ඇක්ෂන් එකක් නෙමෙයි."
"ඒ ඇක්ෂන් එක මාස්ටර් කරන්න ඕන. මාස්ටර් කරනවා කියන්නේ ගොඩක් ක්‍රිකට් ගහන්න ඕන. තවම ඒ ළමයා තරග කීයද ක්‍රීඩා කරලා තියෙන්නේ ? එහෙම බලද්දී මෙතනට ගිහින් කරන දේම ලොකු දෙයක්. නමුත් අවාසනාවන්ත විදිහට මේ තරග දෙකේදී ලකුණු ගියා. ඒක එයා ඉගෙන ගන්න ඕන, නමුත් වර්ල්ඩ් කප් එකක් කියන්නේ ඉගෙන ගන්න තියෙන තැනක් නෙමෙයි." ඔහු පැවසිය.
පිතිකරණ අංශය කළයුතු වන්නේ කුමක් ද?
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග දෙකේදී පිතිකරුවන් පෙර තරගවලට සාපේක්ෂව යම් වගකීමකින් යුතුව ක්‍රීඩා කරන ආකාරය දක්නට ලැබුණි. ඒ අතරින් කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම සුපුරුදු රිද්මයට පැමිණ සිටීම පිළිබඳ බොහෝ තරග විචාරකයින්ගේ පැසසුමට ලක්වූ කරුණක් විය.
කෙසේ වුවද පසුගිය පකිස්ථාන තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සිය අවසන් පන්දු වාර 10 තුලදී කඩුලු 5ක් දැවී රැස්කරනු ලැබුවේ ලකුණු 61ක් පමණි. මැද පෙළ සහ අවසන් පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරණ විලාසය හේතුවෙන් ලකුණු 350 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අවස්ථාවක් ගිලිහි ගිය බව බොහෝ දෙනාගේ මතය විය.
බොහෝ කණ්ඩායම්වල පිතිකරුවන් සිය ඉනිමේ අවසාන පන්දු ඕවර 10 තුළදී අවම වශයෙන් ලකුණු 80ක් හෝ රැස් කර ගන්නා බවත් එම කාල සීමාවේදී ප්‍රතිවාදී කණ්ඩායම්වලට තරගයට අවතීර්ණ වීමට ඉඩ නොදෙන බවත් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පෙන්වා දුන්නේය.
" පිතිකරණය ඉතාමත් සාර්ථකයි. නමුත් මම (ඔක් 10 වෙනිදා) තරගයේදී දැක්ක දෙයක් තමයි අපි අවසන් ඕවර 10ට යනකොට කඩුලු 6ක් අතේ තිබ්බා. එතන හිටියා හොඳට සෙට් බැට්ස්මන්ලා දෙන්නෙක්. ඒ වගේ අවස්ථාවකදී හොඳ කණ්ඩායමක් අනිත් කණ්ඩායමට තරගයට අවතීර්ණ වෙන්න දෙන්නේ නැහැ. අඩුම තරමින් ලකුණු 70-80ක් ලබා ගන්නවා අවසන් පන්දු වාර 10 දී."
"නමුත් අපි ලබා ගත්තේ ලකුණු 61ක් විතරයි විකට් පහකුත් දීලා. ඒක මේ පන්දු වාර 40දී කරපු සාර්ථක ප්‍රතිඵලය මොට කළා කියලයි මට හිතෙන්නේ. ඒ අවසන් පන්දු වාර 10 තුලදී ලකුණු 80ක් වගේ ලබා ගෙන තිබුණා නම් මේ හැම දෙයක්ම වෙනස් වෙන්න තිබ්බා."
"අපේ කණ්ඩායමේ ඉනිම් අවසන් කරන අය ඉන්නවා. ඒ අය ඒක කරන්න ඕන. සමරවික්‍රම හැකි උපරිමයෙන් ඒ දේ කරන්න බැලුවා. නමුත් එයා එක්ක අනිත් පැත්තෙන් තවත් කෙනෙක් ඉන්න අවශ්‍යයි. මම හිතුවා ධනංජය ද සිල්වා තව ටික වෙලාවක් ඇදගෙන යයි, එතනින් එහාට දසුන් ශානක අරන් යයි කියලා. අවාසනාවට ඒ දේ කරන්න බැරිවුනා." ඔහු කියා සිටියේය.
අත්හැරුණු අවස්ථාවන්
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නන් පසුගිය තරග දෙකේදී දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන් දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී උඩ පන්දු 6ක් සහ එක් දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් පන්දු රකින්නන් අතින් ගිලිහි ගිය අතර පකිස්ථානය සමග පැවති තරගයේදී උඩ පන්දු දෙකක් අතහැරුණි.
තරගයක් ජයග්‍රහණය කිරීමට නම් ලැබෙන කෙටි අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවත්, විශේෂයෙන් පකිස්ථාන තරගයේදී ධනංජය ද සිල්වා තමාට ලැබුණු උඩ පන්දුව අල්ලා ගැනීමට දැඩි වෙහෙසක් ගත් බවත්, දුශාන් හේමන්ත විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමෙන් අනතුරුව තමන්ට ලැබුණු දෙවන උඩ පන්දුව ඔහුගේ අතින් ගිලිහි ගිය බවත් රොෂාන් අබේසිංහ මෙහිදී පෙන්වා දුන්නේය.
"මේ වගේ විකට්වල අත්දැකීම් අඩු කණ්ඩායමක් ක්‍රීඩා කරද්දී තරගයක් ජයග්‍රහණ කරන්නම් ලැබෙන හාෆ් චාන්සස් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. උඩපන්දු රැක ගන්න අවශ්‍යයි, දුවද්දී දවා ගැනීම් ලබා ගන්න අවශ්‍යයි. එහෙම කරලා තමයි අපේ බෝලින් ඩිපාර්ට්මන්ට් එකට සපෝර්ට් කරන්න ඕන. එහෙම නැතුව මේ තණ තීරුවල විකට් ගන්න අමාරුයි. මොකද අපේ බෝලර්ස්ලට තියෙන එක්සිපිරියන්ස් එක අඩු නිසා ෆිල්ඩින් සයිඩ් එක උපරිම සහයෝගය ලබා දෙන්න අවශ්‍යයි."
ඉදිරියේදී කළ යුතු වෙනස්කම කුමක්ද ?
ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් කළ යුතුද ? එසේ නම් කළ යුතු වෙනසක්ම කුමක්ද යන්න පිළිබඳව අද වන විට බොහෝ දෙනෙකු විමසන මාතෘකාවක් බවට පත්ව ඇත.
ඒ පිළිබඳ අදහස් දක්වමින් රොෂාන් අබේසිංහ පවසා සිටියේ අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් ඉදිරි තරග වලදී කිරීමට සිදුවන බවයි.
" මතීෂ පතිරණ දිගටම සෙල්ලම් කරන්න ගියොත් ඔහුගේ ක්‍රිකට් අවසන් වෙනවා, ඒ නිසා ඔහුට බ්‍රේක් එකක් ලබා දෙන්න අවශ්‍යයි. ඒ වෙනුවට කසුන් රාජිතද, ලහිරු කුමාර ද කියලා තණතීරුවේ හැටි බලලා සහ ක්‍රීඩාංගණයේ හැටි බලලා තීරණය කරන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට නෙදර්ලන්තය එක්ක සෙල්ලම් කරන ටීම් එකයි ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරන ටීම් එකයි අතර වෙනසක් තියෙන්න පුළුවන්." ඔහු කියා සිටියේය.