වාර්තාවක් සමගින් නවසීලන්තයට විශිෂ්ට ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ආරම්භය සනිටුහන් කරමින් අද (ඔක් 05) පැවති පළමු තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ එංගලන්ත කණ්ඩායම කඩුලු 09 කින් පරාජයට පත් කරමින්ය.

තරගය පැවැත්වුනේ ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ දීය.

කණ්ඩායම් දෙකට හරස් වූ ආබාධ

අද තරගය සඳහා එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීය. ඒ එම ක්‍රීඩකයින් ආබාධයන්ට ලක්වීම හේතුවෙනි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස්ට මෙන්ම නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සහ වේග පන්දු ක්‍රීඩක ටිම් සවුතිට අද තරගය අහිමි විය.

සාර්ථක ආරම්භය සහ කඩා වැටීම

කාසියේ වාසිය දිනු නවසීලන්ත නායක ටොම් ලැතම් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කරන ලදී.

එංගලන්ත කණ්ඩායම් ආරම්භක පිතිකරුවන් වන ඩේවිඩ් මලාන් සහ ජොනී බේයාර්ස්ටෝ සිය පිලට ශක්තිමත් ආරම්භයක් ලබා දෙනු ලැබූහ.

ඔවුන් දෙදෙනා විසින් පන්දු වාර 7 යි පන්දු 4 කදී ලකුණු 40ක් රැස් කළ අතර මැට් හෙන්රි විසින් යවන ලද පන්දුවක් හමුවේ ඩේවිඩ් මලාන් ලකුණු 14 කට දැවී ගියේය.

ඉන් පසුව ලකුණු 33ක් රැස් කරමින් සිටියදී ජොනි බෙයාර්ස්ටෝගේ කඩුල්ල දවා ගැනීමට මිචෙල් සැන්ටර් සමත් විය.

එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 94ක්ව තිබියදී හැරී බෘක් දැවී ගියේ ලකුණු 25ක් රැස් කරමින් සිටියදීය.

ඉන් පසුව පිටියට පිවිසි මොයින් අලී ලකුණු 11ක් රැස් කරගෙන සිටියදී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ග්ලේන් ෆිලිප්ස් සමත් විය.

එංගලන්ත කණ්ඩායමට සවියක් ගෙන දුන් ඉනිම

පන්දු වාර 22ක් වන විට ලකුණු 118 කට කඩුලු 04ක් දැවී ගොස් තිබු එංගලන්ත ඉනිමට සවියක් ගෙන ඒමට ජෝ රූට් සහ නායක ජොස් බට්ලර් සමත් විය.

ඔවුන් දෙදෙනා විසින් 05 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක් රැස් කිරීමට සමත් වූ අතර ලකුණු 43ක් රැස් කරගෙන සිටියදී මැට් හෙන්රි යැවු පන්දුවක් හමුවේ ජෝස් බට්ලර් දැවී ගියේය.

රූට් ගේ සටන්කාමි ඉනිම

34 වන පන්දුවාරය වන විට කඩුලු 5ක් දැවී ගොස් තිබු සිය කණ්ඩායමේ වගකීම කරට ගත් ජෝ රූට් ඉතා සංයමයෙන් සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් එංගලන්ත ලකුණු පුවරුව සක්‍රියව පවත්වා ගෙන යාමට උත්සහ කළේය.

සිය අනෙක් අන්තයේ සිටි පිතිකරුවන්ගේ සහය ඇතිව රූට් එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 200 සීමාව පසුකර ගෙන යාමට සමත් විය.

පන්දු 86 කදී ලකුණු 77ක් රැස් කළ ජෝ රූට් ග්ලේන් ෆිලිප්ස්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දු වාර 41 යි පන්දු 1 කදී කඩුලු 7ක් දැවී ලකුණු 229ක් ලෙසයි.

එංගලන්ත කණ්ඩායම තැබූ ඓතිහාසික වාර්තාව

නවසීලන්ත පන්දු යවන්නන් විසින් එල්ල කළ දැඩි පීඩනය හමුවේ එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 282ක් රැස් කිරීමට සමත් විය.

ප්‍රබල එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් ගෙන් අද දිනයේදී අර්ධ ශතකයක් හෝ වාර්තා කිරීමට සමත් වුයේ ජෝ රූට් පමණක් විම ද විශේෂත්වයකි.

කෙසේ වුවද එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් අද දිනයේදී ඓතිහාසික වාර්තාවකට ද හිමිකම් කීමට සමත් වී තිබේ.

ඒ, මෙතෙක් එක්දින තරග ඉතිහාසයේ දී කණ්ඩායමක පිතිකරුවන් 11 දෙනාම ලකුණු 10 සීමාව පසු කළ පළමු අවස්ථාව බවට පත්වෙමිනි.

නවසීලන්තයේ සුපිරි හඹා යෑම

ලකුණු 283ක ඉලක්කයක් හඹා යාමට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 10 කදී දැවී ගියේ ය.

ඉන් පසුව පිටියට එක්වූ ඩෙවෝන් කොන්වේ සහ රචින් රවින්ද්‍ර එංගලන්ත පන්දු යවන්නන් මායිම් නොකරමින් සිය කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට සමත් වූහ.

නවසීලන්තය සිය ඉලක්කය පසු කර ගියේ තවත් පන්දු 82ක් ඉතිරිව තිබියදීය.

එහිදී ඩෙවෝන් කොන්වේ පන්දු 121 කදී නොදැවී ලකුණු 152ක් සහ රචින් රවින්ද්‍ පන්දු 96 කදී නොදැවී ලකුණු 123ක් රැස් කරන ලදී.

ඔවුන් දෙදෙනා විසින් නවසීලන්ත දෙවන කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 273ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් විය.

පළමු තරගයෙන්ම වාර්තා තැබූ පිතිකරුවන් දෙදෙනා

තමන් ක්‍රීඩා කරන පළමු ලෝක කුසලාන තරගයේදීම ශතක වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක්වීමට නවසීලන්ත කණ්ඩායමේ ඩෙවෝන් කොන්වේ සහ රචින් රවින්ද්‍ර සමත් විය.

මේ දක්වා ක්‍රීඩකයින් 16 දෙනෙකු තමන් ක්‍රීඩා කළ පළමු ලෝක කුසලාන තරගයේ දීම ශතක රැස් කිරිමට සමත්ව තිබේ.

අවම වූ ප්‍රේක්ෂකයින්

ලෝක කුසලාන ආරම්භක තරගය සඳහා අද දිනයේදී අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ ඉතා අවම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් විය.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ ද බොහෝ සටහන් පළවී තිබුණි.