ගාලු සාහිත්‍ය උළෙල : 'ලේඛකයන්ට, කලාකරුවන්ට අපේ සුන්දර රටේ දී එක්වීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක්'

ගාලු ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වසර කිහිපයක නිහඬතාවයෙන් පසු මෙම වසරේ ජනවාරි 25 - 28 දිනයන් හිදී පරිදි ගාලු කොටුව ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගාලු සාහිත්‍ය උළෙල වසර කිහිපයක නිහඬතාවයෙන් පසු මෙම වසරේ ජනවාරි 25 - 28 දිනයන් හිදී පරිදි ගාලු කොටුව ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

'ගාලු සාහිත්‍ය උළෙල' යනු කුමක්ද?

2007 වසරේ දී ආරම්භ වන ගාලු සාහිත්‍ය උළෙල ශ්‍රී ලාංකීය සාහිත්‍ය ඉතිහාසය තුළ සුවිශේෂී වන්නේ එය ලෝක මට්ටමේ සාහිත්‍යකරුවන්, ශාස්ත්‍රඥයින්, ජනමාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් මෙරටට ගෙන්වා ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලක ප්‍රමිතියෙන් යුතුව පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙනි.

ලෝක සහ කලාපීය සාහිත්‍යයට අමතරව මේ ඔස්සේ මූලික වශයෙන් අවධානයට පාත්‍ර වන්නේ ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය සංස්කෘතියයි. ඉංග්‍රීසි භාෂාවෙන් රචනයේ යෙදෙන ලේඛකයන්ගේ විවිධත්වය සහ ගැඹුර ගැන දැනුවත්භාවයක් ඇති කිරීම මෙහි අරමුණු අතර ප්‍රධාන තැනක් ගනියි.

පසුගිය වසර පහ තුළ 'බුකර්' සහ වෙනත් සාහිත්‍ය ත්‍යාගයන් ඔස්සේත් ජනප්‍රිය ලැයිස්තු ඔස්සේත් ජාත්‍යන්තර සාහිත්‍ය වේදිකාව තුළ අවධානයට බඳුන් වූ ලාංකීය ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් සමග නවක සාහිත්‍යකරුවන්ද එකම අවකාශයකට ගෙන ඒමෙන් ඔවුන් වෙත අවධානයක් ලබා දීම ද මෙහි තවත් අරමුණකි.

"ගාලු සාහිත්‍ය උළෙල තුළ මෙවරත් ගෝලීය සහ දේශීය සාහිත්‍යකරුවන්, කලාකරුවන්, ශාසත්‍රඥයන් සමඟ පැවැත්වෙන සාකච්ඡා, වැඩමුළු, ප්‍රදර්ශන සහ සංස්කෘතික අංග රාශියක් ගාලු කොටුවේ කුඩා හෝටල් වල සුපුරුදු විදිහට පැවැත්වෙන නිසා එක්තරා දුරකට මෙවර උළෙලත් ගාලු සාහිත්‍ය උළෙලේ සුපුරුදු ආකෘතිය අනුගමනය කරනවා. නමුත්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නව අනුග්‍රාහකයෙක් ලෙස මෙවර සාහිත්‍ය උළෙලට සම්බන්ධ වන නිසා සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් නව වෙනස්කම් උළෙල ඉදිරිපත් කරන ආකාරයට එකතු වෙලා තියනවා කියල කියන්න පුළුවන්" 2024 ගාලු ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ජිසෙල් හාර්ඩිංග් මෙවර උළෙල ගැන අප සමඟ අදහස් දක්වමින් කියා සිටියාය.

ශ්‍රී ලංකාවේ පවතින අනෙකුත් සාහිත්‍ය උළෙල හා සංසන්දනාත්මකව බැලු විට ගාලු සාහිත්‍ය උළෙලේ පවතින විශේෂත්වය කුමක් දැයි බීබීසී සිංහල ඇගෙන් කළ විමසීමට ඇය ඇය දුන්නේ මෙවැනි පිළිතුරකි.

"ලෝකයේ ඕනෑම සාහිත්‍ය උළෙලකට ඒවාටම සුවිශේෂී වූ අනන්‍යතා තියනවා. ඒ අනන්‍යතා ඇති වීමට ඒවා පැවැත්වෙන ස්ථානය ගොඩක් දුරට අදාළ වෙනවා. මේ නිසා ගාලු සාහිත්‍ය උළෙලේ අනන්‍යතාව ගාලු කොටුවේ සුන්දරත්වය සහ එහි ඇති ආගන්තුක සත්කාර සංස්කෘතිය විසින් බොහෝ දුරට තීරණය කරල තියනව කියල කියන්න පුළුවන්. ඒ වගේම අන්තර්ගතය අතින් බලන කොට උළෙලට ඇතුළත් වන අංග ඉතා සාරවත් සේම සතුට ගෙන එන ඒවා කියල තමයි මම හිතන්නේ."

එසේම මෙරටේ පවතින 'සිංහල හා දෙමළ සාහිත්‍ය' පුළුල් පාඨක ලෝකය වෙත ගෙන යාමට අවශ්‍ය දියුණු පරිවර්තන සංස්කෘතියක් ලංකාව තුළ ඇති කිරීමට ගාලු සාහිත්‍ය උළෙලට කිසියම් දායකත්වයක් දැක්විය නොහැකිද යන්න ඇයගෙන් විමසන ලදුව ඇය කියා සිටියේ "මම හිතන්නේ ඒක වැදගත් යෝජනාවක්. අපේ ඉදිරි උළෙලවල දී පරිවර්තකයන් සමග පවත්වන වැඩමුළු ගැන අවධානය යොමු කරන්න පුළුවන්" යනුවෙනි.

මෙවර ගාලු සාහිත්‍ය උළෙලට එන සාහිත්‍ය ලෝකයේ සුවිශේෂී චරිත සහ වැඩසටහන්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙවර ගාලු සාහිත්‍ය උළෙලට සම්බන්ධ වන සම්භාවනාවට පාත්‍ර වූ නවකතාකරුවන්, කවියන්, ප්‍රබන්ධ නොවන ශානරයන්ගේ ලේඛකයන්, මාධ්‍යවේදීන් සහ ශාස්ත්‍රඥයන් අතර ශෂී තරූර්, සෙබස්තියන් ෆෝක්ස්, රොමේෂ් ගුණසේකර, ෂෙහාන් කරුණාතිලක, ඩීබීසී පියේර්, නයෝමි මුණවීර, ගයි ගුණරත්න, අමීනා හුසේන්, සුජිත් සිවසුන්දරම්, ඇලෙක්සැන්ඩර් මැකෝල් ස්මිත්, ක්‍රිස්ටිනා ලෑම්බ්, ජගත් වීරසිංහ, අමන්දා ජයතිස්ස, නෙලූෆර් ද මෙල් වැනි සුවිශේෂී පිරිසකගේ නම් දැකිය හැකිය.

ප්‍රබන්ධ රචනය සම්බන්ධ වැඩමුළු, පොත් එලිදැක්වීම්, ලේඛකයන් සමඟ දිවා හා රාත්‍රී භෝජන සංග්‍රහ, කාව්‍ය ඉදිරිපත් කිරීම්, සංවාද, සංගීත හා නාට්‍යමය අත්දැකීම්, දෘශ්‍ය කලා ප්‍රදර්ශන, සූපවේදී ඉදිරිපත් කිරීම් යනාදියෙන් පිරිපුන් මෙවර ගාලු සාහිත්‍ය උළෙල වින්දනාත්මක හා බුද්ධිමය අත්දැකීමක් වනු ඇත.

උළෙලේ ඇතැම් වැඩසටහන් වල ප්‍රවේශ පත් මේ වන විටත් ව්කිණී අවසන්ව තිබේ. එවැනි අතිශය ජනප්‍රිය අංග අතර බුකර් සම්මානයට පාත්‍ර වූ ලාංකීය නවකතාකරු ෂෙහාන් කරුණාතිලක, සූපවේදී කරන් ගොකානි සහ අමල් ද සිල්වා විජේරත්න එක්ව 'ලංකාවට සුවිශේෂී මත්පැන්' පිළිබඳ සිදු කරන කතාබහ සමග රාත්‍රී භෝජනය සහ අරක්කු රසවිඳීම (Arrack Tasting), අමීනා හුසේන් ගේ ඉබන් බතූතා කෘතිය පිළිබඳ සාකච්ඡාව, ඒ.සී. ග්‍රේලිංග් ඔහුගේ 'දර්ශනය සහ ජීවිතය' කෘතිය ඇසුරෙන් කරන දේශනය වැනි ඒවා දැකිය හැකිය.

පසුගිය වසරේ ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූ චිරන්ති රාජපක්ෂ ගාලු සාහිත්‍ය උළෙල ගැන අප සමග අදහස් දක්වමින් කියා සිටියේ "ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් අතර මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ගාලු සාහිත්‍ය උළෙල අතිශය වැදගත් අවස්ථාවක් ලංකාවේ සාහිත්‍යකරුවන්ට ලබා දෙනවා. මට විශේෂයෙන්ම වැදගත් දෙයක් තමයි පාඨකයන් මුණගැසීමට ලැබෙන අවස්ථාව. ලේඛකයෙක් හැටියට ඒක මම සෑහෙන විඳින දෙයක්" යනුවෙනි.

මේ අතර ළමා සාහිත්‍ය වෙනුවෙන් වෙන් වූ විශේෂ වැඩසටහන් මාලාවක් ජනවාරි 27 වන දා තෝමස් ගෝල් පාසැලේ දී පැවැත්වෙන අතර කිරන් මිල්වුඩ් හාග්‍රේව්, හිස්රානා ෆරූක් ඇතුළු ප්‍රකට ළමා සාහිත්‍යවේදීන් විසින් මෙහෙය වන මෙම වැඩසටහන් අවුරුදු 2-5 දක්වා දරුවන්ගේ සිට 12 න් ඉහළ දරුවන් දක්වා සහභාගී විය හැකි ලෙස විවිධාංගීකරණයෙන් යුක්ත වේ.

තවත් සුවිශේෂී කරුණක් වන්නේ සාහිත්‍යයට සමගාමීව දිගහැරෙන දෘශ්‍ය කලා ධාරාවේ වැඩසටහන් මාලාවයි. ජගත් වීරසිංහ, චන්න දාස්වත්ත, ෆැබියෙන් ෆ්‍රැන්කෝට්, විනීට් වොහ්රා වැනි විශිෂ්ට දෘශ්‍ය කලාවේදීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ඡායාරූප ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩමුළු, ප්‍රදර්ශන, සජීවී අත්දැකීම් සහ සංවාද ආදියෙන් මෙය සමන්විතය.

‘මේක ලෝකය පුරා සිටින ලේඛකයන්ට හා කලාකරුවන්ට අපේ සුන්දර රටේ දී එක්වීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක්'

"මේක ලෝකය පුරා සිටින ලේඛකයන්ට හා කලාකරුවන්ට අපේ සුන්දර රටේ දී එක්වීමට ලැබෙන අනර්ඝ අවස්ථාවක් වගේම ලාංකීය සාහිත්‍ය හා කලාකරුවන්ට තමන්ගේ දක්ෂතා පෙන්වීමට ලැබෙන මහඟු අවස්ථාවක්. කොවිඩ් වසංගතයෙන් පස්සේ වසර හතරක් විතර මූල්‍යමය හා වෙනත් අපහසුතා නිසා පැවැත්වීමට නොහැකි වූ මෙම උළෙල මෙවර නැවත පැවැත්වීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්. ඒවගේම මේක ඉදිරියේ දී තවත් වර්ධනය විය යුතුයි. ජාත්‍යන්තර සාහිත්‍ය කලා අත්දැකීම් ලංකාවට ගෙන ඒමට වගේම ලාංකීය සාහිත්‍ය කලාවන් ලෝකය වෙත ගෙන යාමට මෙම උළෙලට අනාගතයේ දී තවත් හැකියාව ලැබෙයි කියල මම විශ්වාස කරනවා." ගාලු සාහිත්‍ය උළෙලේ පුරෝගාමී කමිටු සාමාජිකාවක් සහ ප්‍රකට ලේඛිකාවක වන අමීනා හුසේන් බීබීසී සිංහල සමග කියා සිටියාය.

කලාපීයවත් ගෝලීයවත් සාහිත්‍ය උළෙල අතර තම අනන්‍යතාව සලකුණු කිරීමට සමත් වී ඇති ගාලු සාහිත්‍ය උළෙල සාහිත්‍ය කලා රසිකයන් හට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.