මැස්සියන් ආකර්ෂණය කරගන්න මධ්‍යසාර බොන පිරිමි පලතුරු මැස්සන්

Two brown coloured fruit flies are seen close up mating on what appears to be a slice of kiwi fruit. The male extends his foreleg to tap the female's abdomen.

ඡායාරූප මූලාශ්‍රය, Anna Schroll

    • Author, ටිම් ටොඩ්
    • Role, කාලගුණ සහ විද්‍යා වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මධ්‍යසාර බොන පිරිමි පලතුරු මැස්සන් ගැහැනු සතුන්ට වැඩි වශයෙන් ආකර්ෂණය වන බව නවතම පර්යේෂණයකින් පෙන්වා දෙයි.

පිරිමි සතුන්ගේ ආහාරවලට මධ්‍යසාර මිශ්‍ර කර දීමෙන් විරුද්ධ ලිංගික ආකර්ෂණය ඉහළ නංවන රසායනික වැඩියෙන් පිට කෙරෙන නිසා, ඔවුන් සංසර්ගයේ දීමේදී වැඩි සාර්ථකත්වයක් පෙන්වයි.

Drosophila melanogaster යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පලතුරු මැස්සන් බොහෝ විට ඉවත දමන ආහාර එක්රැස් කරන බඳුන්වල දැකිය හැකියි. ක්‍රමක්‍රමයෙන් මධ්‍යසාර බවට හැරෙන නරක් වන පලතුරු ඔවුන්ගේ ආහාරයයි.

ඔවුන් මධ්‍යසාරවලට ආකර්ෂණය වීමට හේතුව සහ මධ්‍යසාරවලින් ඔවුන්ට ඇතිවන බලපෑම පිළිබඳව අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින් උත්සහ දරා තිබේ.

මෙලෙස මධ්‍යසාරවලට ආකර්ෂණය වීම සම්බන්ධයෙන් වන විවිධ මත පිළිබඳව පෙර සිදුකළ පර්යේෂණවලදී අවධානය යොමු විය. මැස්සන්ගේ අරමුණ වන්නේ, තෘප්තිමත් තත්ත්වයකට පත්වීම හෝ ගැහැනු සතුන්ගෙන් ප්‍රතික්ෂේප වූ පිරිමි මැස්සන් ලිංගික සංසර්ගයකදී ලබන සතුට හා සමාන සතුටක් ලබා ගැනීම යන්න එම කල්පිතයන් අතර විය.

එම අධ්‍යයනයෙහි මූලිකයා වූ Max Planck Institute නම් වූ ආයතනයෙහි පරිණාමවාදී ස්නායු වේද අංශ ප්‍රධානී බිල් හැන්සන් පවසන්නේ, එවැනි පර්යේෂණ මගින් මැස්සන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මානවයන්ගේ හැසිරීමට සමාන හැසිරීමක් පෙන්නුම් කරන බව ය. නමුත්, තමන් සිදුකළ පර්යේෂණයෙන් යෝජනා කෙරෙන්නේ, මධ්‍යසාර පානය කිරීමෙන් මැස්සන්ට ප්‍රජනන වාසියක් අත්කර දෙන බව යැයි ද ඔහු කියා සිටී.

"මැස්සන් මධ්‍යසාර පානය කිරීමට හේතුව ඔවුන් අසතුටට පත්ව සිටින නිසා කියලා අපි හිතන්නේ නැහැ," යනුවෙන් ඔහු පවසයි.

නරක් වෙමින් තිබෙන පලතුරුවල අඩංගු පිෂ්ටය සහ යීස්ට්වලට මෙන් ම මධ්‍යසාරවලට ඇති මැස්සාගේ ආකර්ෂණය වෙන් වෙන් වශයෙන් ගත නොහැකි බව ද හෙතෙම කියා සිටී.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම අධ්‍යයනයේදී හෙළි වූයේ, විශේෂයෙන් මෙතනෝල් ඇතුළුව පොදුවේ මධ්‍යසාර මගින් පිරිමි මැස්සන්ගේ පෙරමෝන නමැති ලිංගික රසායනය නිපදවීම සහ ශ්‍රාවය වීම ඉහළ යාමෙන් ඔවුන් ගැහැනු සතුන්ට වැඩි වශයෙන් ආකර්ෂණය වන බව ය.

එක් සතෙකුගෙන් පෙරමෝන වාතයට මුදා හැරෙන්නේ, එම විශේෂයේ ම තවත් සතෙකුගේ හැසිරීමට බලපෑම් එල්ල කරමිනි.

එම හේතුව නිසා පිරිමි සතුන් දැඩිව මධ්‍යසාරවලට ගිජු බවක් දක්වන අතර, පෙර ලිංගිකව හැසිරී නොමැති සතුන් අතර එය වඩාත් ප්‍රබල ලෙසින් ප්‍රදර්ශනය කෙරේ.

නව අධ්‍යයනයෙන් හෙළිවූ තවත් කරුණක් වන්නේ, මධ්‍යසාර ආඝ්‍රාණය කරන මැස්සාගේ ප්‍රතිචාරය පාලනය කෙරෙන්නේ මොළයෙහි පිහිටි එකිනෙකට වෙනස් ස්නායු පරිපථ තුනක් මගින් බව ය.

පිරිමි මැස්සන් මධ්‍යසාර කුඩා ප්‍රමාණවලට ආකර්ෂණය කරලීම ඉන් පරිපථ දෙකක කාර්යභාරය වන අතර, තෙවැන්නෙන් සිදු කෙරෙන්නේ, මධ්‍යසාර වැඩි ප්‍රමාණයක් තිබෙන විට එයට විකර්ශනය වීම සහතික කරලීමයි.

මධ්‍යසාර යනු විෂක් නිසා, එය පානය කිරීමේ අවදානම සහ වාසිය යන දෙක ම මැස්සාගේ මොළය මගින් සලකා බැලීම සිදු කරන අතර, එහිදී ආකර්ෂණය සහ පිළිකුල පිළිබඳ සංඥා අතර තුලනය මගින් එය සිදු කෙරෙයි.

"එයින් අදහස් කෙරෙන්නේ, මත් වීමේ අවදානමක් නොගෙන මධ්‍යසාර පානය කිරීමේ සියලු ම වාසි ලබා ගැනීම හසුරුවන උපක්‍රමයක් මැස්සන් අතර පවතිනවා කියලා," යනුවෙන් පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ වන නෙබ්‍රෙස්කා සරසවියෙහි ඉයන් කීසේ කියා සිටී.

තම විමර්ශනයේදී කායික අධ්‍යයනයන් සංයෝග කර ගනිමින් මැස්සාගේ මොළයේ ක්‍රියාවලිය මවා ගැනීම සඳහා රූප ශිල්පක්‍රම භාවිතය සහ පරිසරයේ පවතින ගන්ධයන්හි රසායනික විශ්ලේෂණය සහ චර්යා රටාවන් අධ්‍යයනය කිරීම පර්යේෂකයින් විසින් සිදු කරනු ලැබ ඇත.

ඔවුන්ගේ පර්යේෂණයෙහි ප්‍රතිඵල Science Advances සගරාවෙහි පළ කර තිබේ.