ශ්‍රී ලංකාවේ ජෛව කොල්ලයකට අදාළව 'ලොකු ම දඩය' නියම වූ සිද්ධියේ නොදත් කතාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, BBC සිංහල
ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවිධානාත්මක අපරාධයක් ලෙස සැලකෙන 'ජෛව කොල්ලය' ගැන මේ දිනවල යළි සමාජ කතිකාවක් ඇති වී තිබේ.
යාල ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි කොච්චිපතාන රජයේ රක්ෂිතය තුළ කෘමි සතුන් එකතු කරමින් සිටියදී වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ ඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් නියම කරනු ලැබීමට අදාළ වැටලීම මේ කතිකාවට නිමිත්ත වී ඇත.
චෝදනා 304කට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනා සැප්තැම්බර් 24 වන දාට පෙර අදාළ දඩ මුදල ගෙවිය යුතු ය.
ඉතිහාසය සමග සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධයක් සඳහා මෙතෙක් නියම කර ඇති ඉහළ ම දඩ මුදල මෙය වන අතර එය අපරාධකරුවන්ට අනතුරු ඇඟවීමක් මෙන් ම හොඳ පූර්වාදර්ශයක් බව පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේ ය.
ඉතාලි ජාතිකයන් වන ෆෙරාරි ලුයිගි (අවුරුදු 68) සහ ෆෙරාරි මාටියා (අවරුදු 28) යන දෙදෙනා මෙහිදී වරදකරුවන් වී තිබේ.
'අපි හොයා ගන්නකොට සත්තු සේරම මැරිලා'

ඡායාරූප මූලාශ්‍රය, Department of Wildlife Conservation
සමනලයන්, සලබයන්, බත් කූරන් සහ පලඟැටියන් වැනි කෘමි සතුන් එකතු කරමින් සිටියදී අදාළ පුද්ගලයින් දෙදෙනා 2024 මැයි 08 වන දා පස්වරු 3.30ට පමණ කටගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
''අපි බැංකුවට සල්ලි දාන්න යන ගමන් සෆාරි ජීප් රියැදුරෙකුගෙන් තොරතුරක් ලැබුණා, සිතුල්පවුව පාරේ සැකකටයුතු කාර් එකක් නවත්තලා තියෙනවා කියලා. බලනකොට දෙන්නෙක් කැලේ ඇතුළට වෙන්න හිටියා. ඒ අයගේ අතේ කෘමි සත්තු අල්ලන නෙට් තිබුණා. අපිව දැකලා බෝතල් වගයක් සාක්කුවේ දා ගෙන යන්න හැදුවා. අපි ෆොටෝ ගත්තේ. චෙක් කරන්න දෙයක් නෑ කියලයි කිව්වේ,'' යනුවෙන් කටගමුව වනජීවී අඩවි ආරක්ෂක කේ. සුජීව නිශාන්ත BBC සිංහල සේවයට පැවසුවේ ය.
අමතර නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට කැඳවා සැකකරුවන් කටගමුව වනජීවී කාර්යාලයට රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදුකර තිබිණි.
''අපි ඩිකිය අරින්න කිව්වට ඇරියෙ ම නෑ. යතුර නෑ හෝටලේ දාලා ඇවිත් කිව්වා. අන්තිමේදී අපි කිව්වා ඩිකිය කඩන්න වෙනවා කියලා. ඊට පස්සේ තමයි ඉනේ තිබිලා යතුර දුන්නේ. අපි හොයා ගන්නකොටත් සත්තු සේරම මැරිලා. කෙමිකල් එකක් දාලා තමයි බෝතල්වල දාලා තිබුණේ. සත්තු තුන් සීයකට වැඩිය හිටියා,'' යනුවෙන් සුජීව නිශාන්ත වැඩිදුරත් විස්තර කළේ ය.
කෘමි විශේෂ 101ක් හඳුනා ගැනේ
2024 මැයි 09 දින සැකකරුවන් පළමු වරට අධිකරණයට ඉදිරිපත් කරමින් යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු වී.කේ.එම්. විද්‍යාරත්න තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළේ ය. සැකකරුවන් සන්තකයේ තිබියදී සොයා ගත් කෘමි සතුන් හඳුනා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබා ගැනීමටත්, කෘමි සතුන් අසුරන ලද බෝතල් තුළ ඇති රසායන ද්‍රව්‍යය හඳුනා ගැනීම සඳහා රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමටත් එම වාර්තාවෙන් ඉල්ලීමක් කර තිබිණි.
එමෙන් ම, මෙය ජාත්‍යන්තරව සිදුවන ජාන කොල්ලයක සිද්ධියක් විය හැකි බැවින් සැකකරුවන්ට ඇප ලබා දීම තුළ මහජන කැළඹීමක් ඇති විය හැකි බව පෙනී යන බැවින් විමර්ශනය අවසන් වන තුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද ඉල්ලා තිබිණි.
ඒ අනුව, එදින සැකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අදාළ වාර්තා ලබා ගැනීමට වනජීවී නිලධාරීන්ට අවසර හිමි විය. (ඒ වන විට වරදකරුවන් ඇප මත මුදා හැර සිටි අතර ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගෙන තිබිණි.)
මුලින් ගොනු කළ චෝදනා 810, පසුව 304ට අඩු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Department of Wildlife Conservation
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වනජීවී දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන්ට එරෙහිව චෝදනා 810ක් ගොනු කරන ලදී. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට අගෝස්තු 23 වන දා ඉදිරිපත් කරන ලද සංශෝධිත චෝදනා පත්‍රයෙන් චෝදනා ගණන 304 දක්වා අඩුකර තිබිණි.
මේ අතර, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහය මත කෘමි විශේෂ 101ක් හඳුනා ගැනීමට හැකි වූ බව කටගමුව වනජීවී අඩවි ආරක්ෂක අසිත සංජය BBC සිංහල සේවයට සඳහන් කළේ ය.
එලෙස හඳුනාගත් කෘමි විශේෂ 101ට එම සතුන් පරිසරයෙන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය යන චෝදනා තුන යටතේ චෝදනා 303ක් ද විශේෂ 101ට අයත් සතුන් 181ක් ආකර්ෂණයට යම් ආහාරයක්, සුවඳ වර්ගයක් හෝ වෙනත් ද්‍රව්‍යයක් භාවිත කිරීම යන පොදු චෝදනාව යටතේ තවත් චෝදනාවක් සමග මුළු චෝදනා 304ක් ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳ තොරතුරු ගවේෂණයේදී තවත් කරුණක් අනාවරණය විය. එනම් වනජීවී දෙපාර්තමේන්තුවට මේ දක්වා නීති නිලධාරියෙකු බඳවාගෙන නොමැති බව ය. ක්ෂේත්‍ර නිලධාරීන් විසින් නඩු කටයතු මෙහෙයවනු ලබති.
''මේ අවස්ථාවේදී නිලධාරීන් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. නමුත් මේ දේවල් හොඳට ම කරන්න නිලධාරීන් ප්‍රමාණවත් නෑ. ඒ නිසා වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අධිකාරිය වැනි පරිසරය නියාමනය කරන ආයතනවලට මීට වඩා සැලකිල්ලක් රජයේ පාර්ශවයෙන් ලැබෙන්න ඕනෙ. ඒ වගේ ම බඳවා ගන්නා නිලධාරීන්ට වර්තමානයට ගැලපෙන සහ අනාගත අභියෝගයන්ට මුහුණු දිය හැකි මට්ටමේ ප්‍රශස්ත පුහුණුවක් ලබා දිය යුතු," බව ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.
'කෘමි සතුන් වැඩි හරියක් යන්නේ 'කලෙක්ෂන්වලට'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් රටකි. එබැවින් ජාත්‍යන්තරව සිදුවන 'ජාන කොල්ලය'ට සම්බන්ධ පුද්ගලයින්ගේ අවධානය යොමු වූ රටකි. ලෝකයේ වෙනත් කිසිදු රටක ස්වභාවිකව දක්නට නොලැබෙන ශාක සහ සත්ත්ව විශේෂ රැසක රසායනික සංයෝග වෙන්කරගෙන ඖෂධ, සුවඳ විලවින් වැනි මහා පරිමාණ කර්මාන්ත සඳහා විදේශිකයින් පේටන්ට් බලපත්‍ර හිමි කර ගෙන ඇත.
එබැවින් අන්තර්ජාතික වෙළඳාමේදී මෙවැනි කෘමි සතුන් යොදා ගන්නා ආකාරය ගැන ශ්‍රී ලංකා රේගුවේ, ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ හිටපු ප්‍රධානී සමන්ත ගුණසේකරගෙන් අපි විමසීමක් කළෙමු.
''මම දැක්කා පත්තරවල තියෙනවා මේවා යන්නේ ජාන හොරකමට කියලා. මගේ අත්දැකීම්වල හැටියට කෘමි සත්තු බොහෝ විට යොදා ගන්නේ, 'කලෙක්ෂන්වලට'. මේවා එකතු කරලා ලොකු ගණන්වලට විකුණනවා. පෞද්ගලික එකතු කිරීම්වලට, කෞතුකාගාරවලට මේවා ගන්නවා. සමහර විට සුබ පැතුම්පත් නිර්මාණයට, මේස අලංකරණය වගේ දේවල්වලට ලස්සන සමනල්ලු, කෘමි සත්තු යොදා ගන්නවා. සප්ලයර්ස්ලා ගොඩක් වෙලාවට රුසියානුවන්,'' යනුවෙන් ඔහු සඳහන් කළේ ය.
ඔහු විස්තර කළ ආකාරයට තැපැල් මගින් හෝ කුරියර් සේවා හරහා සතුන් වැඩි වශයෙන් රටින් පිට කිරීම සිදුවේ.
''ස්ලෝවැකියාව, චෙක් රිපබ්ල්ක්, ස්ලෝවේනියාව වගේ රටවල කෘමි විද්‍යාව (Entomology) ඉතා ම දියුණු යි. සතුන් වර්ගීකරණය වැනි විද්‍යාත්මක අවශ්‍යතා සඳහාත් විශේෂයෙන් කෘමි සතුන්ට ඉල්ලුමක් තියෙනවා,'' යනුවෙන් සමන්ත ගුණසේකර විස්තර කළේ ය.
ජෛව කොල්ලකෑම් ඉතිහාසය
ශ්‍රී ලංකාවෙන් ශාක, සතුන් සහ ජාන රැගෙන ගිය අවස්ථා රැසක් තිබේ. ශාක සහ සතුන් භෞතිකව රැගෙන යාමට උත්සහ කළ අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත. නමුත් 'ජාන පිටපත්' රැගෙන යාමේදී භෞතික වැටලීම් සිදු කිරීම ප්‍රයෝගික නොවේ. ඇතැම් ජෛව සම්පත් රටින් රැගෙන ගොස් වසර ගණනාවකට පසුව අපිට දැනගන්නට ලැබෙන්නේ ඒවායේ රසායනික සංයෝග වෙන්කරගෙන ඖෂධ, සුවඳ විලවුන් හෝ වෙනත් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් වූ විටජය. එසේ නොමැති නම් පේටන්ට් බලපත්‍ර ලබා ගත් පසුව ය. නොඑසේ නම් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා නිකුත් වූ පසුව ය.
නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව සතුන් එකතු කළ රුසියානුවන් දෙදෙනෙකු වනජීවී සංරක්‍ෂණ නිලධාරීන් විසින් අගෝස්තු 28 වන දින අත්අඩංගුවට ගනු ලැබීම මීට ආසන්න ම සිදුවීම වේ. එම සැකකරුවන් අගෝස්තු 30 ඇඹිලිපිටියේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
- 1998 වසරේදී සිංහරාජය තුළ ශාක හා සතුන් සතුන් එකතු කළ ජපන් ජාතික විද්‍යාඥයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.
- 2012 වර්ෂයේදී ද ඕලන්ද ජාතික විද්‍යාඥයෙකු අත්අඩංගුවට ගැනුණේ සිංහරාජයෙන් එකතු කළ කෘමි සතුන් ද සමග ය.
- 2014 වසරේදී සමනලුන් එකතු කළ ජර්මන් ජාතිකයෙකු, වන සංරක්ෂණ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
- සිංහරාජයේ ඕකිඩ් හා පර්ණාංග ශාක එකතු කළ ජර්මන් ජාතිකයෙකු ද 2016 වසරේදී අත්අඩංගුවට ගැනිණි .
- 2019 වසරේදී සිංහරාජය ඇතුළු ප්‍රදේශවලින් සතුන් එකතු කළ විදේශීය ජාතිකයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ට රුපියල් ලක්ෂ 106ක දඩයක් නියම විය.
- 2020 දී හෝර්ටන්තැන්න ඇතුළු ප්‍රදේශවලින් සතුන් එකතු කළ රුසියානු ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර නඩු විභාගයෙන් පසු 2022 දී මිලියන 8.1ක දඩයක් නියම විය.











