පොලිසියේ දෙදෙනෙකු රිමාන්ඩ් කරවීමට සැරසුණු පොලිසියට අතිරේක මහේස්ත්‍රාත් නීතිය උගන්වයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහාත්, සෙසු නිලධාරීන්ට ආදර්ශයක් දීම සඳහාත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාරආරච්චි ප්‍රකාශ කළේ ය.
ඔහු පෙන්වා දුන්නේ, එවැනි නියෝග නිකුත් කිරීමට ඇප පනත යටතේ ප්‍රතිපාදන නොමැති බව ය.
ජින්තුපිටියේ වෙඩි තැබීම
පසුගිය දා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඇප මත මුදා හරින ලෙස නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.
ඒ අනුව අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ සැරයන්වරයා රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, පසුගිය දා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ බව ය.
සිද්ධිය වූ අවස්ථාවේදී ඔවුන් ජංගම මුර සේවාවේ නිරතව සිටි බවත් පොලිසිය පැවසීය.
ඔවුන් අදාළ අපරාධයට ආධාර අනුබල දී තිබේ දැයි වැඩි දුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේ ය.
ඒ අනුව මොවුන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් පැවසීය.
සැකකරුවන්ගේ දුරකතන ඇමතුම් විස්තර වාර්තා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
සැකකරුවන් වෙනුවෙන් දැක්වූ කරුණු
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, තම සේවාදායකයින්ට පොලිසිය එල්ල කරන චෝදනා පැහැදිලි නොමැති බව ය.
ඔවුන් අදාළ අපරාධයට ආධාර අනුබල දීමක් සිදු කර නොමැති බවත්, එවැනි චෝදනාවක් එල්ල කිරීමට නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුමක් තිබිය යුතු බවත් නීතිඥවරු පෙන්වා දුන්හ.
එහෙත්, එවැනි දැනුමක් තිබූ බව පොලිසිය ඔප්පු කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරු සිය සේවාදායකයින්ට ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියහ.
පසුගිය දා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් මෙන් ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද සිටි බව පෙන්වා දුන් එම නීතිඥවරුන් පෙන්වා දුන්නේ, මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහාත් සෙසු නිලධාරීන්ට ආදර්ශයක් දීම සඳහාත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය සිය බී වාර්තාවෙන් ඉල්ලා ඇති බව ය.
එහෙත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට ඇප පනත යටතේ ප්‍රතිපාදන නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් ඇප මත මුදා හරින ලෙස නියෝග කළේ ය.
අනතුරුව මෙම පැමිණිල්ල අප්‍රේල් මස 27 වන දා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.































