බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වූයේ ඇයි?

ටිම් ඩේඩිඩ් සහ ඩෙබෝරා ටර්නස්

ඡායාරූප මූලාශ්‍රය, PA/BBC

    • Author, ඇලෙක්ස් ෆිලිප්ස් සහ හෙලන් බුෂ්බි (සංස්කෘතික කටයුතු වාර්තාකරු)

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කර පැනරාමා වාර්තා චිත්‍රපටයක් හරහා නරඹන්නන් නොමග යැවූ බවට එල්ල වූ විවේචනවලින් පසු බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ප්‍රධානී ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබේ.

ඩේවි වසර පහක් එම තනතුර දැරූ අතර, බීබීසී මාධ්‍ය ආයතනයට එල්ල වී ඇති පක්ෂග්‍රාහී බවට වූ චෝදනා මාලාවක් හේතුවෙන් ඔහු දැඩි පීඩනයකට මුහුණ දී සිටියේ ය.

2021 ජනවාරි මාසයේ කැපිටල් හිල් කෝලාහලය පැහැදිලිව ම දිරිමත් කරන බව පෙනෙන ලෙස පැනරාමා වැඩසටහන මගින් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ කතාවේ කොටස් දෙකක් එකට සංස්කරණය කළ බවට යෝජනා කරන ලද අභ්‍යන්තර බීබීසී ලියවිල්ලක විස්තර ද ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය සඳුදා ප්‍රකාශයට පත් කළේ ය.

ඉල්ලා අස්වීම මගින් වෙනසක් ඇති කරනු ඇති බවට එක්සත් රාජධානියේ දේශපාලන නායකයින් බලාපොරොත්තු පළ කළ අතර ට්‍රම්ප් එම තීරණය පිළිගත්තේ ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ටිම් ඩේවි සහ ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වීමේ පුවත බීබීසී නිවේදනය කළ මොහොත

බීබීසී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධානියා යන දෙදෙනා ම එක ම දිනක ඉල්ලා අස්වීම මීට පෙර බීබීසී ඉතිහාසයේ සිදුනොවූ සිද්ධියකි.

ඉරිදා සවස මෙම පියවර නිවේදනය කරමින් ඩේවි මෙසේ පැවසීය: "සියලු ම පොදු සංවිධාන මෙන්, බීබීසී ද පරිපූර්ණ නොවන අතර, අපි සැමවිට ම විවෘත, විනිවිද පෙනෙන සහ වගකීම්සහගත විය යුතු ය."

"එක ම හේතුව නොවුණත්, බීබීසී ප්‍රවෘත්ති වටා ඇති වත්මන් විවාදය මගේ තීරණයට හේතු වී ඇති බව පැහැදිලිව කිව යුතු යි."

"සමස්තයක් වශයෙන් බීබීසී හොඳින් ක්‍රියාත්මක වෙනවා, නමුත් යම් යම් වැරදි සිදුවී ඇති අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මම අවසාන වගකීම භාර ගත යුතු යි."

ඉරිදා රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් ටර්නස් පැවසුවේ, පැනරාමා ආන්දෝලනය "බීබීසීයට හානි කරන මට්ටමකට ළඟා වී ඇති" බවත්, "දෝෂය තමන් සමග නතර වන" බවත් ය.

"පොදු ජීවිතයේදී නායකයින් සම්පූර්ණයෙන් ම වගකිව යුතු අතර, ඒ නිසා මම ඉල්ලා අස්වෙනවා. වැරදි සිදුවී ඇතත්, බීබීසී ප්‍රවෘත්ති ආයතනික වශයෙන් පක්ෂග්‍රාහී බවට මෑතකදී එල්ල වූ චෝදනා වැරදි බව මම පැහැදිලිව ප්‍රකාශ කිරීමට කැමති යි," ඇය පැවසුවාය.

ටර්නස් පසුගිය වසර තුන තුළ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කර ඇත.

ටෙලිග්‍රාෆ් විසින් ප්‍රකාශයට පත් කරන ලද අභ්‍යන්තර සංදේශය, ඊශ්‍රායල-ගාසා යුද්ධය පිළිබඳ බීබීසී අරාබි වාර්තාකරණයේ පක්ෂග්‍රාහීත්වයේ "ක්‍රමානුකූල ගැටලු" ලෙස විස්තර කර ඇති දේ විසඳීමට ක්‍රියාමාර්ග නොමැතිකම පිළිබඳව ද කනස්සල්ල පළ කළේ ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, වසර ගණනාවක් පුරා බීබීසීයට එල්ල වූ චෝදනාවලට ටිම් ඩේවි මුහුණ දුන් ආකාරය දෙස ආපසු හැරී බැලීමක්.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2021 ජනවාරි 6 වන දින වොෂින්ටන් ඩීසීහි ට්‍රම්ප් කළ කතාවේදී ඔහු මෙසේ පැවසීය: "අපි කැපිටල් ගොඩනැගිල්ල වෙත ඇවිද යනවා, අපගේ නිර්භීත සෙනෙට් සභිකයින්ට, කොන්ග්‍රස් සභිකයින්ට සහ කාන්තාවන්ට අපි ඔල්වරසන් දෙනවා."

කෙසේ වෙතත්, පැනොරාමා වාර්තා වැඩසටහන සංස්කරණයේදී ඔහු පවසන දේ පෙන්වන ලද්දේ මෙසේ ය: "අපි කැපිටල් වෙත ඇවිද යනවා... මම එහි ඔබ සමග සිටිමි. අපි සටන් කරමු. අපි උපරිමයෙන්ම සටන් කරමු."

එකට එකතු කරන ලද කොටස් දෙක සැබෑ වීඩියෝවේ මිනිත්තු 50කට වඩා වැඩි පරතරයකින් පැවති කොටස් දෙකකි.

අභ්‍යන්තර ලේඛනය ප්‍රකාශයට පත් කිරීමත් සමග බීබීසී ආයතනයට විවේචන එල්ල වූ අතර, ධවල මන්දිරය ද ඒ අතර විය. ඔවුන් බීබීසී ආයතනය "100%ක් ව්‍යාජ ප්‍රවෘත්ති" සපයන්නෙකු ලෙස විස්තර කළහ.

ඉරිදා ඉල්ලා අස්වීම්වලට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, "ජනවාරි 6 වන දින මගේ ඉතා හොඳ (පරිපූර්ණ!) කතාව 'විකෘති කළ බව' අනාවරණය වූ හෙයින්" බීබීසී පුවත් සේවයේ ඉහළ නිලධාරීන් ඉල්ලා අස්වී හෝ සේවයෙන් නෙරපා තිබෙනවා," යනුවෙනි.

"මේ අය ජනාධිපතිවරණ සටනක තරාදිය මතට නැගීමට උත්සහ කළ ඉතා වංක මිනිසුන්," ඔහු ලියන ලදී. "ඒක ප්‍රජාතන්ත්‍රවාදයට මොන තරම් භයානක දෙයක් ද!"

Tim Davie shakes hands with Ukrainian President Volodymyr Zelensky

ඡායාරූප මූලාශ්‍රය, BBC/Jeff Overs

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 දී යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සමග මෙහි සිටින ටිම් ඩේවි (දකුණේ), වසර පහක කාලයක් බීබීසී ආයතනයට නායකත්වය දී තිබේ

මෙම දෙදෙනාගේ ඉල්ලා අස්වීම් සිදුව ඇත්තේ, බීබීසී සභාපති සමීර් ෂා අද (නොවැ: 10) පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබියදී ය. එහිදී ඔහු ට්‍රම්ප්ගේ කතාව සංස්කරණය කරන ලද ආකාරය සම්බන්ධයෙන් සමාව අයැද සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉරිදා ඉල්ලා අස්වීම් පිළිබඳව අදහස් දක්වමින් ෂා පැවසුවේ, එය "බීබීසීයට කනගාටුදායක දිනයක්" බවත් ඩේවිට ඔහුගේ ධුර කාලය පුරා ම "මගේ සහ [බීබීසී] අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ සහයෝගය ලැබුණු" බවත් ය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "කෙසේ වෙතත්, අද මෙම තීරණය ගැනීමට ඔහුට හේතු වූ පෞද්ගලික සහ වෘත්තීයමය වශයෙන් ඔහුට එල්ල වන අඛණ්ඩ පීඩනය මට වටහාගත හැකි යි. සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලය ම එම තීරණයට සහ ඊට බලපෑ කරුණු පිළිගන්නවා."

පිටස්තර මාධ්‍ය ආයතනයක් විසින් හෙළි කරන ලද බීබීසී අභ්‍යන්තර ලේඛනය සකස් කරනු ලැබ තිබුණේ, ජූනි මාසයේදී තනතුරෙන් ඉවත් වූ බීබීසී ආයතනයේ සංස්කරණ ප්‍රමිති කමිටුවේ හිටපු ස්වාධීන බාහිර උපදේශකයෙකු වූ මයිකල් ප්‍රෙස්කොට් විසිනි.

එම ලේඛනයේ, ඔහු බීබීසීයේ සංක්‍රාන්ති ලිංගික ගැටලු ආවරණය කිරීම පිළිබඳව ද කනස්සල්ල පළ කළ අතර, සංක්‍රාන්ති ලිංගික ගැති න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කළ එහි විශේෂඥ LGBT වාර්තාකරුවන් විසින් එහි ආවරණය බලපෑම්සහගත ලෙස "වාරණය" කර ඇති බව යෝජනා කළේ ය.

"ගැටලු මතු වන විට" බීබීසී කළමනාකාරිත්වය ක්‍රියාමාර්ග නොගැනීම ගැන "බලාපොරොත්තු සුන් වූ" බව ඔහුගේ ලේඛනයේ සඳහන් විය.

මෙම වසර මුලදී බීබීසී ප්‍රවෘත්ති නාලිකාවේ "ගර්භණී පුද්ගලයින්" සම්බන්ධයෙන් සජීවීව කියවමින් සිටි ප්‍රවෘත්ති පිටපතක් වෙනස් කරමින් මාර්ටින් ක්‍රොක්සෝල් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් අපක්ෂපාතීත්වයට අදාළ පැමිණිලි 20ක් ලැබී ඇතැයි බ්‍රහස්පතින්දා බීබීසී විසින් තහවුරු කරන ලදී.

ගාසා පිළිබඳ වාර්තා වැඩසටහනක කථකයා හමාස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බව හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ද සංස්ථාව මෑත මාසවලදී විවේචනවලට ලක් විය.

බොබ් වයිලන්ගේ "ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට මරණය, මරණය" යන ගායනය මෙහෙය වූ ග්ලැස්ටන්බරි වේදිකාව බීබීසී ඔස්සේ විකාශනය කිරීමෙන් බීබීසීය විසින් හානි කිරීම සහ අපහාස කිරීම සම්බන්ධයෙන් වන සංස්කරණ මාර්ගෝපදේශ ද උල්ලංඝනය කොට තිබුණි.

මන්ත්‍රීවරුන්ගේ සංස්කෘතික, මාධ්‍ය සහ ක්‍රීඩා කමිටුවේ සභාපතිනිය වන ඩේම් කැරොලයින් ඩිනේජ් පැවසුවේ, "නිරන්තර අර්බුද සහ වැරදි පියවරයන් බවට පත්ව ඇති ක්‍රියාවලින්" හේතුවෙන් විකාශකයාට හානි සිදුවී ඇති බව ය.

බීබීසී ප්‍රවෘත්ති කාමරයේ සිටින ඩෙබෝරා ටර්නස්

ඡායාරූප මූලාශ්‍රය, Jeff Overs / BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෙබෝරා ටර්නස්

බීබීසී ආයතනය නවතම ආන්දෝලනය හසුරුවා ඇති ආකාරය පිළිබඳව ඇතැම් මාධ්‍ය විචාරකයෝ විවේචනාත්මක අදහස් දැක්වූහ.

බීබීසී රූපවාහිනී ප්‍රවෘත්ති සේවයේ හිටපු ප්‍රධානී රොජර් මෝසි පැවසුවේ, බීබීසී ආයතනයේ "නවතම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම මන්දගාමී" බවයි.

ට්‍රම්ප්ගේ කතාව සංස්කරණය කිරීම "සාධාරණීකරණය කළ හැකි බවක් නොපෙනේ" යැයි ඔහු බීබීසී ප්‍රවෘත්ති වෙත පැවසීය, නමුත් සංක්‍රාන්ති ලිංගික ගැටලු පිළිබඳ භාෂාව වැනි ලේඛනයේ මතු කර ඇති අනෙකුත් ගැටලු, "වරින් වර එහි සංස්කරණ මාර්ගෝපදේශ නැවත හැඩගස්වා සංස්කරණය කළ යුතු" බව ඔහු පැවසීය.

කතාව සංස්කරණය කිරීමේදී "මූලික වැරැද්දක්" සිදු කිරීම පමණක් නොව, "සමාව අයැදීමට අධික කාලයක් ගැනීම" සම්බන්ධයෙන් ද Channel 4 නාලිකාවේ හිටපු ප්‍රවෘත්ති ප්‍රධානී ඩොරති බයර්න් බීබීසී ආයතනය විවේචනය කළා ය.

බීබීසී ආයතනයේ වසර 20ක් සේවය කර ඇති ඩේවි, "අපගේ මාධ්‍යකරණය සහ ගුණාත්මක අන්තර්ගතය රන් ප්‍රමිතියක් ලෙස අඛණ්ඩව අගය කරනු ලැබේ" සහ සංවිධානය "අතිශයින් ම කරුණාවන්ත, ඉවසිලිවන්ත සහ කුතුහලයෙන් පිරි" බව අවධාරණය කළේ ය.

ඉදිරි මාසවලදී අනුප්‍රාප්තිකයෙකු ලෙස "ක්‍රමානුකූල සංක්‍රාන්තියක්" සිදුවන ඔහුගේ නික්ම යාමේ කාලය - ඊළඟ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊළඟ රාජකීය ප්‍රඥප්තිය "ධනාත්මකව හැඩගස්වා ගැනීමට" ඉඩ සලසන බව ඔහු පැවසීය.

බීබීසී අරමුදල් සහ නියාමන රාජකාරි මෙම ප්‍රඥප්තිය මගින් නියම කර ඇති අතර ඒ සඳහා රජය සමග සාකච්ඡා කෙරේ. 2027 අවසානයේ වත්මන් ප්‍රඥප්තිය කල් ඉකුත් වීමට පෙර නව ප්‍රඥ්ප්තියක් වෙත ළඟා විය යුතු ය.

ඩේවි "සැලකිය යුතු වෙනසක් සහිත කාල පරිච්ඡේදයක් හරහා බීබීසී මෙහෙයවූ" බව පවසමින් සංස්කෘතික ලේකම් ලීසා නැන්ඩි ඔහුට ස්තූති කළා ය.

ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: "බීබීසී අපගේ වැදගත් ම ජාතික ආයතනවලින් එකකි... දැන් කවරදාටත් වඩා විශ්වාසදායක ප්‍රවෘත්ති සහ උසස් තත්ත්වයේ වැඩසටහන් සඳහා ඇති අවශ්‍යතාව අපගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සංස්කෘතික ජීවිතයට සහ ලෝකයේ අපට ඇති ස්ථානය ආරක්ෂා කර ගැනීමට අත්‍යවශ්‍ය වේ."

ප්‍රඥප්ති සමාලෝචනය "මෙම නව යුගයට අනුවර්තනය වීමට බීබීසීයට උපකාරී වන උත්ප්‍රේරකය" බවට රජය සහතික වන බව නැන්ඩි තවදුරටත් පැවසීය.

Tim Davie gestures as he walks alongside King Charles through an office

ඡායාරූප මූලාශ්‍රය, BBC/Patrick Olner

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 දී බීබීසී වේල්ස් කාර්යාලය චාල්ස් රජුට පෙන්වූ ඩේවි, සංවිධානය "අතිශයින් ම කරුණාවන්ත, ඉවසිලිවන්ත සහ කුතුහලයෙන් පිරිපුන්" බව පැවසීය.

ඩේවි සහ ටර්නස් ඉල්ලා අස්වීම "නිවැරදි" ක්‍රියාමාර්ගයක් බව කොන්සර්වේටිව් නායක කෙමි බැඩෙනොක් පැවසූ නමුත්, "ඉල්ලා අස්වීම් දෙකකින් අතුගා දැමිය නොහැකි" "ඉතා ගැඹුරට දිවෙන බරපතළ අසාර්ථකත්වයන්ගේ නාමාවලියක්" ඇති බව පැවසීය.

"අවසානයේ සැබෑ අපක්ෂපාතීත්වය පෙන්නුම් කළ නොහැකි නම්, අනිවාර්ය බලපත්‍ර ගාස්තුවක් හරහා මහජනතාව එයට අරමුදල් සපයනු ඇතැයි අපේක්ෂා නොකළ යුතු ය" යනුවෙන් බැඩනොක් පැවසීය.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි පැවසුවේ, ඉල්ලා අස්වීම් "බීබීසීයට නව පිටුවක් පෙරළීමට අවස්ථාවක් විය යුතු" බව ය. "බීබීසී පරිපූර්ණ නැහැ, නමුත් එය අපගේ බ්‍රිතාන්‍ය වටිනාකම් සහ ජනප්‍රියවාදී ට්‍රම්ප්ගේ ආකාරයේ දේශපාලනය අත්පත් කර ගැනීම අතර පවතින ආයතන කිහිපයෙන් එකක් විදිහට පවතිනවා."

Reform UK පක්ෂයේ නායක නයිජල් ෆරාජ් පැවසුවේ, මෙම ඉවත්වීම් "සම්පූර්ණ වෙනසක ආරම්භය" සනිටුහන් කළ යුතු බවත්, "සමාගම් සහ ඒවායේ සංස්කෘතීන් වෙනස් කිරීමේ අතීතයක් ඇති" නායකයෙකු පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ය.

එහි ප්‍රඥප්තියේ නියමයන් යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම සඳහා බීබීසී අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතු ය.

2020 දී ලෝඩ් හෝල් වෙනුවට බීබීසී ආයතනයේ 17 වන අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වීමට පෙර, ඩේවි බීබීසී ස්ටූඩියෝහි ප්‍රධානියා වූ අතර, ඊට පෙර පෙප්සි සහ ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල්හි අලෙවිකරණ විධායකයෙකු විය.

ටර්නස් මීට පෙර ITN (එක්සත් රාජධානිය) සහ NBC News International යන ප්‍රවෘත්ති ආයතනවල ප්‍රධානියා ලෙස කටයුතු කළා ය.

2012 දී ඉල්ලා අස්වූ ජෝර්ජ් එන්ට්විස්ට්ල් ඇතුළුව බීබීසී ආයතනයේ පෙර සිටි අධ්‍යක්ෂ ජනරාල්වරුන් කිහිප දෙනෙකු ද වරින් වර ඉල්ලා අස්වී තිබේ.

නමුත් ඩේවි සහ ටර්නස් වෙනුවට ආදේශ කරන ඕනෑ ම කෙනෙකුට විවේචනාත්මක ප්‍රවෘත්ති වාර්තා මාලාවක් සමග කටයුතු කිරීමට ඍජුව ම පියවර ගැනීමට සිදුවනු ඇත.

බීබීසී අධ්‍යක්ෂ ජනරාල්වරයා "සුපර් හියුමන් කෙනෙකු" විය යුතු බව පැවසූ මෝසි, ආයතනය එම භූමිකාව වෙන ම ආයතනික සහ සංස්කරණ මණ්ඩල වෘත්තීන්වලට බෙදීම ගැන සලකා බැලිය යුතු දැයි ප්‍රශ්න කළේ ය.