නිව් යෝක් නගරයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා ලෙස සොහ්රාන් මම්දානි දිවුරුම් දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Amir Hamja/The New York Times/Bloomberg via Getty Images
- Author, නාඩා තව්ෆික් සහ රේචල් හේගන්
- Role, බීබීසී පුවත්
- වාර්තාකරණය, නිව් යෝර්ක් සහ ලන්ඩන් සිට
සොහ්රාන් මම්දානි 2026 ජනවාරි 1 වන දින නිව් යෝර්ක් නගරාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
ඒ අනුව, ඔහු නගරයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා සහ සියවසකට වැඩි කාලයක් තුළ එම ධූරය සඳහා පත් වූ ළාබාලතම නගරාධිපතිවරයා ලෙස ද ඉතිහාසයට එක්වනු ඇත.
නිව් යෝර්ක් නගරයේ 111 වන නගරාධිපතිවරයා ලෙස ඔහුගේ පදවි ප්‍රාප්තිය සිය පවුලේ සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවති පෞද්ගලික උත්සවයකදී සිදු විය.
නව වසර උදාවත් සමග මධ්‍යම රාත්‍රියේ ඔහු නගරාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ නිව් යෝක් නීතිපති ලෙටීෂියා ජේම්ස් ඉදිරියේදී ය.
මම්දානි, තම බිරිඳ වන රාමා දුවාජිගේ දෑත් මත තිබූ කුරානය මත අත තබා නව ධූරයේ දිවුරුම් දුන්නේ ය.
පසුව පස්වරුවේ මම්දානි සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඉදිරියේ ප්‍රසිද්ධියේ දිවුරුම් දෙනු ඇති අතර, එරට වේලාවෙන් පස්වරු 13:00ට සිටි හෝල් පරිශ්‍රයේ සිට නගර වැසියන් අමතනු ඇත.
ඉකුත් වසරේ නොවැම්බර් පැවති නගරාධිපති ධූරය සඳහා වූ සටන වෙන දාට වඩා වැඩි අවධානයක් දිනා ගත්තේ ය.
34 හැවිරිදි ප්‍රාන්ත මන්ත්‍රීවරයා වසර ආරම්භ කළේ බොහෝ දුරට අප්‍රසිද්ධ අපේක්ෂකයෙකු ලෙස වුව ද, ඔහු මත විමසීම්වල ඉහළට ම පැමිණීමට සමත් විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔහුගේ මැතිවරණය ප්‍රගතිශීලීන්ට හැරවුම් ලක්ෂයක් වූ අතර එය නගරයේ දේශපාලන බල තුලනයේ වෙනසක් ද පෙන්නුම් කළේ ය.
මම්දානි තමා ජනතාවගේ අපේක්ෂකයෙකු සහ සංවිධායකයෙකු ලෙස පෙනී සිටියේය.
"චිත්‍රපට, රැප් සංගීතය සහ සාහිත්‍ය වැනි ක්ෂේත්‍ර තුළ ජීවිතයේ නොවැළැක්විය හැකි හැරවුම් සිදු වුවත් ලෝකයේ සිදුවන දේ පිළිබඳව බලාපොරොත්තු සුන්වීමකින් තොරව ක්‍රියාකිරීමට ඔහුට හැකි වුයේ ඔහු තුළ වූ සුවිසල් සංවිධාන ශක්තිය නිසයි," යනුවෙන් ප්‍රාන්ත රජයේ වෙබ් අඩවියේ ඔහුගේ නිල හැඳින්වීමෙහි දැක්වෙයි.
දේශපාලනයට පිවිසීමට පෙර, ඔහු නිවාස උපදේශකයෙකු ලෙස සේවය කළ අතර, ක්වීන්ස්හි අඩු ආදායම්ලාභී නිවාස හිමියන්ට නෙරපා හැරීම්වලට එරෙහිව සටන් කිරීමට උපකාර කළේ ය.
උගන්ඩාවේ කම්පාලාහි උපත ලැබූ මම්දානි, වයස අවුරුදු හතේදී ඔහුගේ පවුලේ අය සමග නිව් යෝර්ක් වෙත සංක්‍රමණය විය. ඔහු බ්‍රොන්ක්ස් උසස් විද්‍යා පාසලට ඇතුළත් වූ අතර පසුව බෝඩන් විද්‍යාලයෙන් අප්‍රිකානු ඩයස්පෝරා අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ගත්තේ ය. එහිදී ඔහු පලස්තීනයේ යුක්තිය සඳහා වූ ශිෂ්‍යයන්ගේ විශ්වවිද්‍යාල ශාඛාවේ සම-ආරම්භකයා බවට පත් විය.
ඔහුගේ මව වන මීරා නායර්, කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන අතර ඔහුගේ පියා මහාචාර්ය මහමූද් මම්දානි කොලොම්බියාවේ ඉගැන්වීම් කටයුතුවල නිරත වෙයි. ඔහුගේ දෙමව්පියන් දෙදෙනා ම හාවඩ් උපාධිධාරීහු වෙති.
සිරියානු මූලයන් ඇති එක්සත් ජනපදයේ උපන් කලාකාරිනියක සමග විවාහ වීම

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/Jeenah Moon
මම්දානි සහ ඔහුගේ බිරිඳ, බෘක්ලින්හි පදිංචි 28 හැවිරිදි සිරියානු කලාකාරිනියක වන රාමා දුවාජි එකිනෙකා හඳුනා ගත්තේ dating app එකක් වන වන Hinge හරහා ය.
දුවාජි ටෙක්සාස්හි හූස්ටන්හිදී උපත ලැබූ අතර ඇයට වයස අවුරුදු නවයේදී ඩුබායි වෙත සංක්‍රමණය විය. පසුව ඇය කටාර්හි කෙටි කාලයක් පාසල් අධ්‍යාපනය ලැබුවා ය. අරාබි මාධ්‍යවලට අනුව, ඇගේ දෙමාපියෝ ඩැමස්කස්හි උපන් සිරියානු මුස්ලිම් ජාතිකයෝ වෙති.
ඇය නිව් යෝර්ක්හි දෘශ්‍ය කලා පාසලෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට පෙර වර්ජිනියා පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබා ගත්තා ය.
දුවාජි අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළ අතර ඇගේ සැමියාගේ ජනප්‍රියත්වය හමුවේ පවා මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබා දුන්නේ කලාතුරකිනි. නමුත් CNN වාර්තා කරන පරිදි ඇය තිරය පිටුපස බලවේගයක් වූ බව පැවසේ.
ඇය නිව් යෝර්ක් පදනම් වූ කලාකාරිනියක වන අතර ඇය බොහෝ විට මැද පෙරදිග තේමා ඔස්සේ සිය නිර්මාණ කාර්යයන් සිදු කරයි.
ඇයගේ නිර්මාණ බීබීසී ප්‍රවෘත්තිවල මෙන් ම ද නිව් යෝර්ක් ටයිම්ස්, ද වොෂින්ටන් පෝස්ට්, වයිස් සහ ලන්ඩනයේ ටේට් මොඩර්න් කෞතුකාගාරයේ ද ප්‍රදර්ශනය කෙරිණි.
"රාමා මගේ බිරිඳ පමණක් නෙවෙයි; ඇය ඇගේ ම කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වීමට සුදුසු ඇදහිය නොහැකි තරම් කලාකරුවෙක්," යනුවෙන් මම්දානි මැයි 12 වන දින සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔවුන් මාස තුනකට පෙර විවාහ වූ බව නිවේදනය කළේ ය.
මෑතකදී The Cut සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය නිව් යෝර්ක් පළමු කාන්තාව වීමේ අත්දැකීම "ඇදහිය" එකක් ලෙස විස්තර කළා ය.
"මම මුලින් ම ඒක අහපු වෙලාවේ, ඒක හරි ම නිල දෙයක් විදිහට දැනුනේ. ඒ කියන්නේ, මම ඒකට සුදුසු නැහැ කියලා දැනුනේ නැහැ. ඒත් ඒ වගේ දැනුනා, මම ...? දැන් මම ඒක තව ටිකක් වැළඳගෙන කියනවා: 'ඒක කරන්න විවිධ ක්‍රම තියෙනවා' කියලා."
'නව යුගයක්' පොරොන්දු වන මම්දානි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නගරයේ පළමු මුස්ලිම් සහ දකුණු ආසියානු නගරාධිපතිවරයා වන මෙම සහස්‍රක ප්‍රගතිශීලී පුද්ගලයා, විවිධත්වයෙන් යුත් නගරයක තම මූලයන් නොසඟවා වැළඳ ගත්තේ ය.
ඔහු ආගම වන ඉස්ලාම් ධර්මය ද තම මැතිවරණ ව්‍යාපාරයේ දෘශ්‍යමාන කොටසක් බවට පත් කර ගත්තේ ය. ඔහු නිතිපතා මුස්ලිම් පල්ලි වෙත ගිය අතර නගරයේ ජීවන වියදම් අර්බුදය පිළිබඳව උර්දු භාෂාවෙන් ප්‍රචාරක වීඩියෝවක් පවා නිකුත් කළේ ය.
"මුස්ලිම් ජාතිකයෙකු ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටීම කියන්නේ එලෙස නොපෙන්විමෙන් ලැබෙන ආරක්ෂාව අනතුරේ හෙළීමක් කියලා අපි දන්නවා," ඔහු ඉකුත් වසන්තයේ සෘතුවේ පැවති රැලියකදී පැවසීය.
එක්සත් ජනපදයේ ජීවන වියදම ඉහළ ම නගරයේ ඡන්ද දායකයින්, ඩිමොක්‍රටික් දේශපාලනඥයින් භාණ්ඩ හා සේවාවල මිල කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මම්දානි පැවසීය.
"මේ නගරයේ සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා, හැම රාත්‍රියක ම ළමුන් 500,000ක් කුසගින්නේ නිදාගන්නවා," ඔහු මෑතකදී පැවති වැඩසටහනකදී බීබීසීයට පැවසීය. "අන්තිමට, එය සුවිශේෂී කරන හේතුව ම තරජනයට ලක් කරන නගරයක් වෙලා"
ඔහු මෙම යෝජනා ඉදිරිපත් කළේ ය.
- නගරය පුරා නොමිලේ බස් සේවාවක්
- නොසැලකිලිමත් ඉඩම් අයිතිකරුවන් සඳහා කුලී ඉහළ දැමීම තහනම් කිරීම සහ දැඩි වගවීම
- දැරිය හැකි මිල කෙරෙහි අවධානය යොමු කරන නගරය සතු සිල්ලර වෙළෙඳසල් දාමයක්
- සති හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා විශ්වීය ළමාරක්ෂණ සේවාවක්
- කුලී-ස්ථාවර, වෘත්තීය සමිති විසින් ඉදිකරනු ලබන නිවාස ඉදි කිරීම් තුන් ගුණයකින් වැඩි කිරීම
දේපළ හිමියන් වගකිව යුතු බවට පත් කිරීම සඳහා නගරාධිපති කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම සහ ස්ථිරව ම දැරිය හැකි නිවාස විශාල වශයෙන් පුළුල් කිරීම ද ඇතුළත් වේ.
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී, ඔහු මෙම ප්‍රතිපත්ති අතිශයින් දෘශ්‍ය හා ආකර්ෂණීය අභිනයන් සමග කැටි කළේ ය. කුලී ඉහළ නැංවීම නතර කිරීම නාටකීය ලෙස පෙන්වීමට ඔහු අත්ලාන්තික් සාගරයේ කිමිදුණු අතර ආහාර අනාරක්ෂිත බව ඉස්මතු කිරීම සඳහා බුරීටෝවක් රැගෙන උමං දුම්රියකදී රාමසාන් උපවාසයක් අවසන් කළේය. ප්‍රාථමික මැතිවරණයට දින කිහිපයකට පෙර, ඔහු ඡන්ද දායකයින් සමග සෙල්ෆි ගැනීමට විරාමයක් තබමින් මෑන්හැටන් නගරය පුරා ඇවිද ගියේ ය.
නගරය භාණ්ඩ හා සේවා වඩාත් දැරිය හැකි මිලකට ලබා දිය හැකි බව ඔහු අවධාරණය කළ ද, විචාරකයෝ එවැනි අභිලාෂකාමී පොරොන්දු ප්‍රශ්න කරති.
අපේක්ෂකයෙකු වූ ඇන්ඩෲ කුඕමෝ සහ අනෙකුත් අය මම්දානි පරීක්ෂාවට ලක් නොවූ සහ ඇ. ඩොලර් බිලියන 115ක අයවැයක් සහ 300,000කට අධික නාගරික සේවකයින් සිටින නගරයකට පමණට වඩා රැඩිකල් ලෙස සැලකූහ.
බිල් ක්ලින්ටන් ඇතුළු ප්‍රධාන පෙළේ පරිත්‍යාගශීලීන්ගේ සහ මධ්‍යස්ථ මතධාරී දේශපාලන අදහස් ඇති පුද්ගලයින්ගේ සහය ඇති, කිඕමෝ, අත්දැකීම් වැදගත් බව අවධාරණය කරමින් මෙසේ පැවසීය: "අත්දැකීම්, නිපුණතාව, රැකියාව කරන්නේ කෙසේදැයි දැන ගැනීම, ට්‍රම්ප් සමග කටයුතු කරන්නේ කෙසේදැයි දැන ගැනීම, වොෂින්ටනය සමග කටයුතු කරන්නේ කෙසේදැයි දැන ගැනීම, ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය සමග කටයුතු කරන්නේ කෙසේදැයි දැන ගැනීම, මේවා මූලික කරුණු. මම රැකියාවේදී ලැබෙන පුහුණුව ගැන විශ්වාස කරනවා. හැබැයි නිව් යෝර්ක් නගරාධිපති විධියට එහෙම කරන්න බැහැ."
නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත නගරයේ ප්‍රාථමික මැතිවරණයේදී කිසිවෙකුට සහය නොදැක්වූ අතර සියලු අපේක්ෂකයින් විවේචනය කළේ ය. එහි කර්තෘ මණ්ඩලය පැවසුවේ මම්දානිගේ න්‍යාය පත්‍රය "නගරයේ අභියෝගවලට අද්විතීය ලෙස නොගැලපෙන" බවත් "බොහෝ විට පාලනයේදී නොවැළැක්විය හැකි ලෙස සිදුවන ප්‍රමුඛතා ලබා දීම් සහ කැප කිරීම් ගැන නොසලකා හරින" බවත්ය.
ඔහුගේ නිවාස කුලී සම්බන්ධ ප්‍රතිපත්තිය නිවාස සැපයුම සීමා කරනු ඇතැයි කර්තෘ මණ්ඩලය පැවසූහ.
ඊශ්‍රායලය සහ පලස්තීනය

ඡායාරූප මූලාශ්‍රය, Shutterstock
රටේ විවිධ ජන වර්ගවලට අයත් ජනයා වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවලින් එකක් වන ජැක්සන් හයිට්ස්හි උද්‍යානයක මෑතකදී පැවති මම්දානි මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර, ලතින් ඇමෙරිකානු ආහාර වෙළෙන්ඳන් අයිස්ක්‍රීම් සහ කෙටි ආහාර අලෙවි කරන අයුරුත් දරුවන් කෙළිදෙළින් පසුවන අයුරුත් දක්නට ලැබිණි.
බොහෝ ආකාරවලින්, මෙම දර්ශනය නගරයේ විවිධත්වය මනාව ග්‍රහණය කර ගත්තේ ය. බොහෝ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් නිව් යෝර්ක්හි විශාලතම වත්කම ලෙස සලකන්නේ එයයි. නමුත් නගරය තුළ වාර්ගික හා දේශපාලනික ආතතීන් නැතුවා නොවේ. මම්දානි පැවසුවේ තමාට දිනපතා ඉස්ලාම් විරෝධී පාර්ශව වෙතින් තර්ජන එල්ල වන බවත්, ඇතැම් ඒවා ඔහුගේ පවුල ඉලක්ක කරන බවත්ය. පොලිසියට අනුව, මෙම තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතී.
එක්සත් ජනපද දේශපාලනයේ බිඳවැටීම ජාතිවාදයෙන් පෙන්නුම් කරන බව ඔහු බීබීසීයට පැවසූ අතර, "ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීමට ඉඩ දුන්" සහ "ඔවුන් කවුරුන් ද යන්න හෝ ඔවුන් කොහේ සිට පැමිණිය ද යන්න පසෙක තබා වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වීම ගැන ඩිමොක්‍රටික් පක්ෂය විවේචනය කළේ ය.
ඊශ්‍රායල-ගාසා යුද්ධය පිළිබඳ අපේක්ෂකයින්ගේ ස්ථාවරයන් ද ඡන්ද දායකයින්ගේ මනසෙහි ද තිබෙන්නට ඇත.
මම්දානි පලස්තීනුවන්ට දැක්වූ දැඩි සහයෝගය සහ ඊශ්‍රායලය විවේචනය කිරීම නිසා ඔහු බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාපිතයන් සමග ගැටිණි. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කරන ඊශ්‍රායල ජනාවාස සමග සබඳතා පවත්වන නිව් යෝර්ක් පුණ්‍යායතන බදුවලින් නිදහස්ව සිටීමේ තත්ත්වය අවසන් කිරීම සඳහා මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතක් පවා ඉදිරිපත් කළේ ය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගත යුතු යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.
යුදෙව් රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයට ඇති අයිතියට ඔහු සහය දක්වන්නේ ද යන්න පවසන ලෙස සම්මුඛ සාකච්ඡාවලදී මාධ්‍ය විසින් ඔහුට බොහෝ වාරයක් බලපෑම් කරන ලද අතර වරක් ඔහු මෙසේ පැවසීය: "ආගම හෝ වෙනත් ඕනෑ ම දෙයක් මත පදනම්ව පුරවැසිභාවය පිළිබඳ ධූරාවලියක් ඇති ඕනෑ ම රාජ්‍යයකට සහය දැක්වීමට මගේ කැමැත්තක් නැහැ. මේ රටේ අප සතුව ඇති ආකාරයට ම, ලෝකයේ සෑම රටක ම සමානාත්මතාව තහවුරු කළ යුතු යැයි මම සිතනවා. ඒක තමයි මගේ විශ්වාසය."
නිව් යෝක් නගරයේ යුදෙව් විරෝධයට ඉඩක් නොමැති බව ද මම්දානි පවසා ඇති අතර, තමා තේරී පත් වුවහොත්, වෛරී අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා අරමුදල් වැඩි කරන බව ද පැවසීය.














