රට තුළ ගෑස් හිඟයක් තිබේ ද? ඇමතිවරයා සහ ලිට්‍රො ගෑස් සමාගම පවසන්නේ කුමක් ද?

Gas Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

"පාවිච්ච කරපු නිල් පාට ගෑස් එක ඉවර වෙලා අපි ගියා ගන්න. නිල් පාට ගෑසුත් නැහැ කියලා තමයි අහන අහන හැම කඩේකින් ම කියන්නේ."

මීගමුවේ පදිංචි චතුරිකා පෙරේරා පෙබරවාරි 16 වන දා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට දරන ලද උත්සහය 19 වන දා උදෑසන වන තෙක් ම සාර්ථක නොවිණි.

"අපේ ගෙදර කහ පාට සිලින්ඩර් දෙකකුයි, නිල් පාට සිලින්ඩර් දෙකකුයි තියෙනවා. කහ පාට ඒවා නම් පහුගිය ගංවතුර කාලෙන් පස්සේ වගේ ඉඳලා ම හොයා ගන්න තිබුණේ නැහැ.

"ලාෆ්ස් ගැන නම් හිතන්නේ නැහැ, මොකද ඒක නැහැ නේ දැන්. ලිට්‍රෝ එක හරි ගන්න බලපුවා ම ඒකත් නැහැ," යැයි ඇය පැවසුවා ය.

දින කිහිපයක සිට කොළඹ ඇතුළුව දිවයිනේ නාගරික ප්‍රදේශ කිහිපයකින් ම ලිට්‍රෝ ගෑස් හිඟයක් වාර්තා වී තිබූ අතර ඇතැම් ස්ථානවල මීට වසර කිහිපයකට ඉහත පැවති ගෑස් පෝලිම් සිහිපත් කරමින් නැවතත් ගෑස් මිල දී ගැනීමට පෝලිම් නිර්මාණය වෙමින් ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය.

'ඒජන්සියට ඕඩර් එක දාලා දැන් දවස් කීපයක් වෙනවා'

බීබීසි සිංහල කළ සංචාරයකදී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගෑස් අලෙවි සල් බොහොමයක ගෑස් මිල දී ගැනීමට නොතිබුණු නමුත් ඇතැම් ස්ථානවල 19 වන දා ගෑස් සිලන්ඩර් රැගත් රථ පැමිණ අලෙවිසල්වලට ඒවා ලබා දෙන ආකාරය නිරීක්ෂණය විය.

ගෑස් ලබා ගැනීමට නියෝජිතයින්ට දින කිහිපයක සිට ඇණවුම් ලබා දුන්න ද මෙතෙක් තමන් වෙත ඒවා නොලැබුණ බව එම සංචාරයේදී හමුවූ වෙළෙඳසල් හිමියන් කිහිප දෙනෙක් ම සඳහන් කළහ.

"ඒජන්සියට ඕඩර් එක දාලා දැන් දවස් කීපයක් වෙනවා, තාම එයාලටත් බඩු ඇවිල්ලා නැහැ කියලා තමයි කියන්නේ," අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ගෑස් වෙළෙඳසල් හිමි‍යෙක් පැවසීය.

'රටේ ගෑස් හිඟයක් ඇති වෙන්නේ නැහැ' - ඇමති වසන්ත සමරසිංහ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පවතින තත්ත්වය හමුවේ නැවතත් ගෑස් හිඟයක් මතු වී දින ගණන් පෝලීම්වල රැඳී සිටීමට සිදුවේ දැයි ජනතාව තුළ සැක සංකා මතු වෙමින් පවතින මොහොතක, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මතුව තිබෙන ගෑස් හිඟයට හේතුව සහ ඊට යොදා ඇති පිළියම් සම්බන්ධව බීබීසි සිංහල වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් විමසීමක් කළේ ය.

"මෙතන ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන් ම ලාෆ්ස් ගෑස් සමාගම ගෑස් සැපයීම සම්බන්ධව බරපතළ ප්‍රශ්නයක් සමාජය ඇතුළේ මාස ගණනාවක් තිස්සේ හදලා තියෙන්නේ. අපි දැන් ඒගොල්ලන්ටත් කතා කළා මේක වහා ම විසඳන්න, ඒ අයගේ සිලින්ඩර් ගත්ත පාරිභෝගිකයන්ට ගෑස් නැති වුණා ම ඒ අය බරපතළ ප්‍රශ්නයකට මුහුණ දෙනවා."

"ඒ විතරක් නෙමෙයි ගෑස් හිඟයක් පිළිබඳ සංවාදය, සාකච්ඡාව මේ හරහා මතු වෙනවා. රටේ ගෑස් හිඟයක් ඇති වෙන්නේ නැහැ. ලිට්‍රෝ ගෑස් සමාගම දවසට ගෑස් සපයනවා මෙට්‍රික් ටොන් 1,100ත් 1,500ත් අතර ප්‍රමාණයක්, එහෙම තමයි අපේ ඉල්ලුම ඉහළ පහළ යන්නේ."

"ඒ අනුව 1,500 ගාණේ අපිට ලබන සෙනසුරාදා වෙනකම් සපයන්න ප්‍රමාණවත් ගෑස් තියෙනවා. අපි ලාෆ්ස් ගෑස් සමාගමට දැනුම් දීලා තියෙනවා වහා ම ගෑස් සැපයීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න, එහෙම නැතිනම් පාරිභෝගිකයාට සිදුවන අපහසුවට ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ග සිද්ධ වෙනවා මේ තත්ත්වය යටතේ කියලා," ඔහු පැවසීය.

රට තුළ පවතින ගෑස් කොපමණ දින ගණනකට ප්‍රමාණවත් ද?

ලා‍ෆ්ස් ගෑස් සමාගම මෙරට වෙළෙඳපොළේ 15%ක 20%ක ප්‍රමාණයකට හිමිකම් කියන බවත්, දැනට හිඟයක් මතුව ඇත්තේ එම ප්‍රමාණය නොමැති වීම නිසා බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

"දැනට ගෙනල්ලා තියෙන ලිට්‍රෝ ගෑස් ප්‍රමාණවත්, දවසට ගෑස් මෙට්‍රික් ටොන් 1,500ක් ඉදිරි දින තුනක් ඇතුළ බෙදන්න ප්‍රමාණවත් ගෑස් තියෙනවා. ඉරිදා ගෑස් අපිට එනවා, අඟහරුවාදා ගෑස් නැවක් එනවා. ඉරිදා ගෑස් නැව මෙට්‍රික් ටොන් 3,800ක්, ඒ විදිහට දිගට ම අපිට ගෑස් එනවා," යැයි ඉදිරි දින කිහිපය තුළ මෙරටට ලැබීමට නියමිත ගෑස් ප්‍රමාණය පිළිබඳව සඳහන් කරමින් අමාත්‍යවරයා පැවසීය.

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගම බ්‍රහස්පතින්දා (පෙබ: 19) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගෑස් සිලින්ඩර්වල තාවකාලික හිඟයක් පිළිබඳ මෑත කාලීන ගැටලු විසඳීමට පියවර ගන්නා බවත්, ප්‍රමාණවත් තොග සුරක්ෂිත කර ඇති බවත්, කලබල වී මිල දී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහ ජනතාවට සහතික කරන බව ය.

2026 පෙබරවාරි 14 වන දින සිට දින දෙකක් ඉල්ලුම හදිසියේ ම වැඩි වූ අතර ගෑස් සැපයුම් අඩාළ වූ බැවින් ලිට්‍රෝ ගෑස්වල තාවකාලික හිඟයක් ඇති වූ බව සමාගම එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ඒ අනුව, සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා පෙබරවාරි 17 සහ 18 යන දිනවල ගෑස් සිලින්ඩර් 284,000ක් නිකුත් කර ඇති බවත්, පෙබරවාරි 19 වන දා සිට සෙනසුරාදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර 351,000ක් නිකුත් කරන බවත් සමාගම පවසයි.

"අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග සඳහා සමාගම දැනටමත් ඇණවුම් කර ඇති අතර, සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මස අවසානයට පෙර ගෑස් නැව් තුනක් පැමිණීමට නියමිත," බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.