ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මස්තිෂ්ක සංවේදක බද්ධ කිරීමකින් පසු යළි ඇවිදීමට හැකි වූ අංශභාග රෝගියා
වෛද්‍ය විද්‍යාවේ පළමු වරට මොළයට විද්‍යුත් උපකරණයක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසු, සිතීමෙන් පමණක්ම ඇවිදීමට හැකි වූ අංශභාග රෝගියෙකු ඉන් සිය ජීවිතය උඩුයටිකුරු වූ බව පවසයි.
හතළිස් හැවිරිදි ගර්ට්-යාන් ඔස්කාම් 12 වසරකට පෙර මුහුණදුන් පාපැදි අනතුරක් හේතුවෙන් අංශභාග තත්ත්වයට ගොදුරුවිය.
ඔහුගේ මොළයේ සවිකළ උපකරණය මඟින් රැහැන් රහිතවම ඔහුගේ සිතිවිලි ඔහුගේ කශේරුකාවෙහි සවිකරන ලද දෙවන උපකරණයක් හරහා පාද සහ පතුල් වෙත සම්ප්‍රේෂණය කරයි.
මෙම ක්‍රමවේදය තවමත් අත්හදාබැලීම් තත්ත්වයේ පවතින නමුත්, එක්සත් රාජධානියේ කශේරුව සම්බන්ධ ප්‍රමුඛ පෙළේ පුණ්‍යායතනයක් පවසන්නේ, එය "ඉතා දිරිගනවනසුලු" උත්සහයක් බව ය.
"මට දැනෙන්නේ මම අත දරුවෙක් වගේ කියලා. ආයෙත් ඇවිදින්න පුරුදු වෙනවා," ඔස්කාම් බීබීසී සේවයට පැවසීය. ඔහුට මේ වන විට සිට ගැනීමට සහ පිය ගැට පෙළ නැගීමට ද හැකි ය.
"මේකට ලොකු කාලයක් ගතවුණා. ඒත් මට දැන් නැගිටලා යාළුවොත් එක්ක බියර් එකක් බොන්න පුළුවන්. ඒක ගොඩක් අයට නොතේරෙන විදියේ ලොකු සතුටක්."
Nature සඟරාමය වෙබ් අඩවියේ පළ කර ඇති මෙම අත්හදාබැලීම ස්විට්සර්ලන්ත පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරන ලද්දකි. මෙම සියුම් ශල්‍යකර්මය සිදු කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන ලෝසෑන් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ජොසලින් බ්ලොක්, මෙම ක්‍රමවේදය තවමත් මූලික පර්යේෂණ මට්ටමේ පවතින බවත්, අංශභාග රෝගීන් සඳහා එය ලබා දීමට තවත් වසර ගණනාවක් ගත වනු ඇති බවත් අවධාරණය කළා ය.
නමුත් එය හැකි ඉක්මනින් පර්යේෂණාගාරයෙන් සායන වෙත රැගෙන ඒම ඇගේ කණ්ඩායමේ අරමුණ බව ඇය බීබීසී පුවත් සේවයට පැවසුවා ය.
"අපට වැදගත් වෙන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක් පැවැත්වීම පමණක් නෙවෙයි, නැවත කිසි දිනක සෙලවෙන්නවත් බැහැ කියලා වෛද්‍යවරුන්ගෙන් නිර්දේශ ලැබූ කශේරුක ආබාධ ඇති පුද්ගලයින්ට වැඩි අවස්ථාවක් ලබා දීම යි."
හාර්වි සිහෝටා යනු එම පර්යේෂණයට සම්බන්ධ නොවූ එක්සත් රාජධානියේ ක්‍රියාත්මක පුණ්‍යායතනයේ කශේරුක පර්යේෂණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරියා ය. මෙම තාක්‍ෂණය පොදුවේ ලබා ගැනීමට තව ත් බොහෝ දුරක් යා යුතුව තිබුණ ද, මේ ලබා ඇති වර්ධනීය තත්ත්වය "ඉතා දිරිගන්වනසුලු" බව ඔහු පැවසීය.
"මෙම තාක්‍ෂණයේ වැඩි දියුණු කරන්න තව බොහෝ දේ තිබුණ ත්, ස්නායු තාක්‍ෂණය සඳහා වන මාර්ග සිතියමේ තව ත් උද්යෝගිමත් පියවරක් වනවා වගේ ම කශේරුක ආබාධ සහිත ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාව යළි ලබා දීම අපගේ කාර්යභාරය වෙනවා."
ගර්ට්-යාන්‌ගේ අතපය හැසිරවීමේ මෙහෙයුම ආරම්භ කරන ලද්දේ 2021 ජූලි මාසයේ දී ය. මහාචාර්ය බ්ලොක්, ඔහුගේ හිස් කබලේ චලනය පාලනය කිරීමට සම්බන්ධ මොළයේ ස්ථානවලට ඉහළින් සෙන්ටිමීටර පහක විෂ්කම්භයකින් යුත් රවුම් සිදුරු දෙකක් කැපී ය. පසුව ඇය ඔහුගේ හිස මත හෙල්මට් එකකට සවි කර ඇති සංවේදක දෙකකට මොළයේ සංඥා (ගර්ට්-යාන්ගේ සිතිවිලි) රැහැන් රහිතව සම්ප්‍රේෂණය කළ හැකි තැටි හැඩැති උපකරණ දෙකක් සවි කළා ය.
ස්විට්සර්ලන්ත පර්යේෂක කණ්ඩායම විසින් ගර්ට්-යාන්ගේ සුෂුම්නාව වටා ඇතුළු කරන ලද දෙවන සංවේදකය හරහා මහාචාර්ය බ්ලොක් ඇවිදීමට අදාළ ස්නායු සංකීර්ණ ලෙස සම්බන්ධ කරමින් පාදයේ සහ පාදයේ මාංශ පේශි චලනය කිරීමට ලැබෙන උපදෙස් බවට මෙම සංඥා පරිවර්තනය කරන ක්‍රමවේදයක් නිර්මාණය කරන ලදී.
සති කිහිපයක පුහුණුවකින් පසු සැරයටියක ආධාරයෙන් ඔහුට නැගී සිට ඇවිදීමට හැකි බව පර්යේෂකයෝ හඳුනා ගත්හ. මෙම ව්‍යාපෘතිය මෙහෙයවූ මහාචාර්ය ග්‍රෙගර් කෝටින් පවසන්නේ, මෙම චලනය මන්දගාමී වුව ද සුමටව සිදුවෙන බව ය.
"ඔහු ස්වාභාවික විදිහට ඇවිදිනවා දැක්කා ම ලොකු බලාපොරොත්තුවක් දැනෙනවා," ඔහු පැවසීය. "මීට පෙර තිබුණ තත්ත්වය ගැන බලද්දී මේක හොඳ පූර්වාදර්ශයක්."
මේ මස්තිෂ්ක සංවේදක නිමවා තිබුණේ මහාචාර්ය කෝර්ටින්ගේ පූර්ව අත්හදාබැලීම් මත ය. එමඟින්, චලනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කශේරුවට උපකරණයක් බද්ධ කිරීම පමණක් සිදු කෙරිණි. කශේරුවේ සංවේදක තැන්පත් කිරීම මඟින්, මොළයේ සිට කොඳු ඇට පෙළේ හානියට පත් කොටස වෙත ලැබෙන දුර්වල සංඥා තීව්‍ර කරන අතර, පරිගණකයකින් පූර්ව සැලසුම් කරන ලද සංඥා මඟින් තවදුරටත් තීව්‍ර කරනු ලැබුණි.
2018 වසරේ දී, ඩේවිඩ් එම්සී කශේරුවට කළ උපකරණ බද්ධ කිරීමකින් සාර්ථකව ප්‍රතිකාර ලැබූ පළමු රෝගියා බවට පත්වූ අයුරු බීබීසී ප්‍රවෘත්ති වාර්තා කළ අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් යහපත් අතට හැරුනේ ද යත් ඔහුටත් බිරිඳටත් දරුවෙකු ලැබීමට ද හැකි වූ අතර එය මීට පෙර කෙසේවත් සිදු විය නොහැක්කක් ලෙස පැවතිණි.
එමෙන් ම සම්පූර්ණයෙන් ම කශේරුකාවට හානි සිදුව තිබූ මයිකල් රොකාටි එම තාක්‍ෂණයේ ම ප්‍රතිඵලයක් ලෙස නැවත ඇවිද ගිය පළමු මිනිසා බවට පත්වූ ආකාරය අපි පසුගිය වසරේ වාර්තා කළෙමු.
දෙදෙනා ම මෙම තාක්ෂණයෙන් ඉමහත් ප්‍රතිලාභ ලැබූ නමුත් ඔවුන්ගේ ඇවිදීමේ චලනය පෙර-සැලසුම් කර ඇති ආකාරයට රොබෝ ස්වරූපයක් ගත්තේ ය.
ඔවුන්ට ඔවුන්ගේ අපේක්ෂිත චලනයන් පරිගණකය සමග පියවරෙන් පියවර ඉදිරියට ගෙන යා යුතු අතර සම්බන්ධතාව මිදුණහොත් චලනය නවතා නැවත සැලසුම් කිරීමට සිදුවේ.
මොළයේ සංවේදක තැන්පත් කිරීමට පෙර ගර්ට්-යාන්ට තිබුණේ කශේරුවට බද්ධ කළ උපකරණයක් පමණි. ඔහු පවසන්නේ, දැන් ඔහුට ඔහුගේ පාදවල වඩාත් වැඩි පාලනයක් ඇති බව ය.
"මට කලින් දැනුණේ සිස්ටම් එක මාව පාලනය කරනවා වගේ. ඒත් දැන් ඒක පාලනය කරන්නේ මම යි."
පෙර පැවති හෝ නව පද්ධති නිරන්තරයෙන් භාවිත කළ නොහැකි ය. එය විශාල වපසරියක් සහිත වන අතර, තවමත් ඇත්තේ පර්යේෂණ මට්ටමේ ය.
රෝගීහු ඔවුන්ගේ ප්‍රතිකාරවල කොටසක් ලෙස සතියකට කිහිප වරක් පැයක් හෝ ඊට වැඩි කාලයක් ඒවා භාවිත කරති. ඇවිදීමේ ක්‍රියාව ඔවුන්ගේ මාංශ පේශි පුහුණු කරයි. පද්ධතිය ක්‍රියා විරහිත වූ විට චලනය වීමේ මට්ටම යථා තත්ත්වට පත් කරන අතර, හානියට පත් ස්නායු නැවත වර්ධනය විය හැකි බවට යෝජනා කරයි.
අවසාන අරමුණ වන්නේ තාක්ෂණය ජනතාවට සමීප කරවීම ය. මහාචාර්ය කෝටින් පවසන්නේ, ඔහුගේ Onward Medical සංවිධානය තාක්‍ෂණය වාණිජකරණය කිරීම සඳහා වැඩි දියුණු කිරීම් කරමින් සිටින අතර එමඟින් එය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ දී භාවිත කළ හැකි වනු ඇති බව ය.
"ඒක එනවා," මහාචාර්ය කෝටින් පවසයි. "ගර්ට්-යාන්ට සංවේදක බද්ධ කිරීම කරන්නේ අනතුර සිද්ධ වෙලා අවුරුදු දහයකට පස්සේ. හිතන්න, අනතුර සිද්ධ වෙලා සති කීපයකට පස්සේ අපේ මස්තිස්ක-කශේරුකා ඉන්ටර්ෆේස් එක යොදනවා කියලා? සුවය ලබන්න තියෙන සම්භාවිතාව ඉතා ඉහළ යි."