ආර්ථික අර්බුදය හේතුවෙන් තාරුණ්‍යයේ සිහින බොඳ වෙමින් යන කොළඹට සේන්දු වූ නවාතැන්කරුවෝ

මහරගම - පමුණුව ප්‍රදේශයේ චාමර සහ ඔහුගේ මිතුරන් දෙදෙනා දිවි ගෙවන කුලී නිවස වෙත අප පිවිසෙන විටත් මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ ඔහුගේ නිවස පිහිටා ඇති තුන්වන මහල තිබුණේ අඳුරින් වැසී ගොසිණි.

පෙර දැනුම් දුන්න ද ඔවුන් නිවසේ නොසිටින්නේ දැයි වූ සැකය අප තුළ ඇති විය. නමුත් එය ශ්‍රී ලංකාවේ ජීවත් වන බොහෝ දෙනෙකු මෙන් විදුලි පරිභෝජනය අවම කිරීමට චාමර ගත් පියවරක් විය.

"දැන් අවශ්‍ය තැන්වල විතරයි ලයිට් දාන්නේ," චාමර එසේ පවසමින් අප ඔහුගේ නිවස වෙත පිළිගත්තේ ය.

නිවස කාමර කිහිපයකින් යුක්ත වූ නමුත් ඒ තුළ දැඩි හිස් බවක් විය. බිත්තවල කලකින් තීන්ත අලේප කර නොතිබුණු බවක් දක්නට ලැබිණි. සාලයේ තිබුණු පුටු කිහිපයට අමතරව මේසයක්, ලැප්ටොප් පරිගණයක්, ඔහු සහ මිතුරන්ගේ සංගීත භාණ්ඩ සහ උපකරණ කිහිපයක් එහි විය.

ලී වලින් තනන ලද එතරම් විශාල නොවන වෙස් මුහුණු කිහිපයක් කාමරවලට ඇතුළු වන උළුවහු කෙලවරට වන්නට ඉහළින් සවිකර තිබිණි.

සාලයේ එක් පසෙක ඔවුන්ගේ සංගීත භාණ්ඩ තබා තිබුණු ස්ථානයේ බිම බේසමක් තබා තිබුණේ, අබලන් වී ඇති වහලයෙන් වැටෙන වැහි බිඳු බිම පතිත වීම වැළැක්වීමට ය.

මුළුතැන්ගෙය ඉවුම් පිහුම් කිරීමට අතවශ්‍ය ම උපකරණ සහ ද්‍රව්‍යවලින් සමන්විත විය. නමුත් එහි ශීතකරණයක්, බ්ලෙන්ඩරයක් ආදී උපකරණ නොවීය.

සාලය සහ මුළුතැන් ගෙය හැරෙන්නට නිවසේ කාමර සහ අනෙක් ප්‍රදේශවල විදුලි පහන් නිවා දමා තිබිණි.

'චාමර' යනු, මෙහි සඳහන් කතා නායකයාගේ සැබෑ නම නොවේ. එය ඔහුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන අන්වර්ථ නාමයකි.

මෙම කුලී නිවසේ දිවි ගෙවන ඔහු සහ ඔහුගේ මිතුරන් දෙදෙනා අතරින් ස්ථිර රැකියාවක් ඇත්තේ, චාමරට පමණි. අනෙක් දෙදෙනා කලා කටයුතුවල නියැළෙමින් මුදල් උපයති. රුපියල් 35,000ක මුදලක් මාසිකව ඔවුහු මෙම නිවස සඳහා කුලී වශයෙන් ගෙවති.

2020 වසරේ කොචිඩ් වසංගතයෙන් ද පීඩා විඳ ඉන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් මේ වන විටත් බැට කමින් සිටින පිරිස අතර චාමර වැනි, ගම්මානවලින් කොළඹ කරා පැමිණ, සිහින සැබෑ කර ගැනීමට වෙර දරන තරුණ තරුණියෝ බොහොමයක් ද සිටිති.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ දෛනික ජීවිතය කෙසේ හෝ ගැට ගසා ගැනීම ගැන අවධානය යොමු කිරීමට ඔවුන්ට සිදුව ඇත්තේ, ඔවුන්ගේ සිහින, සිහින ලෙස ම බොඳ වී යාමට ඉඩ හරිමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පමණක් නොව තරුණ ජීවිත ද උඩු යටිකුරු වී ඇතැයි බොහෝ දෙනෙකුගේ මතය ය.

'මස් කීය ද කියලව ත් දන්නේ නැහැ...'

චාමර 29 හැවිරිදි රජයේ සේවකයෙකි. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ලද නාට්‍ය හා රංග කලාව පිළිබඳ ප්‍රාසංගික කලා විශේෂ උපාධියක් ද ඔහු සතු ය. ඒ ඔස්සේ ඉදිරියට යාමට පුත්තලම, වනාතවිල්ලුව වූ තම උපන් ගමේ සිට මීට වසර කිහිපයකට පෙර කොළඹ පැමිණියත් චාමරට දැන් සිදුව ඇත්තේ, තමන් ඉගෙන ගත් විෂය ධාරාවෙන් පරිබාහිර වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නිරත වීමට ය. ඔහුගේ මාසික වැටුප රුපියල් 44,000කට ආසන්න ගණනකි.

අප සමග සල්ලාපයට වැටෙන මොහොත වන විටත් ඔහු තම රාත්‍රි ආහාරය පිළියෙළ කරගෙන ආහාරයට ගෙන තිබිණි. එහි බත්, මාළු මිරිස් සහ සම්බෝලයකට වඩා යමක් නොතිබුණු බව ඔහු අප හා පැවසුවේ සිනහමුහුසු මුහුණෙනි.

"මස්, මාළු මුකුත් නැද් ද?" අපි ඇසුවෙමු.

"මස්, මාළු කොහෙ ද? [සිනහවෙමින්] මස් කීය ද කියලව ත් දන්නේ නැහැ," යැයි පිළිතුරු දෙමින් ඔහු අතීතාවර්ජනයක යෙදුණේ, ආර්ථික අර්බුදයට පෙර ඔහු සහ ඔහුගේ මිතුරන් ගත කළ ජීවිතය පිළිබඳව සිහිපත් කරමිනි.

"මුලින් ම අපි හිටියා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය ළඟ තැනක. මට හොඳට මතකයි රුපියල් 5 බෑග් එකකට වගේ රුපියල් 800ක විතර බඩු දාගෙන ගියා පිරෙන්න. රුපියල් 600, 700, උපරිම 800යි. ඒ 800 එළවළු මල්ල, අපි 4 දෙනෙක් හිටියා. අපි 4 දෙනාට එළවළු විතරක්, සති දෙකකට විතර හොඳට කන්න තිබුණා."

චාමර සඳහන් කළේ, එම කාලයේදී තමන් සහ මිතුරන් රැකියාවක් නොකළ බව ය. කලා කටයුතුවලින් ලැබෙන මුදලින් ඔවුන් ගැටලුවකින් තොරව දිවි ගැටගසා ගත් බව ඔහු සඳහන් කළේ ය.

අදායම් මාර්ග අහිමි වීම

ඔහු ත් සමග මේ වන විට පමුණුව ප්‍රදේශයේ පිහිටා ඇති නිවසේ දිවි ගෙවන අනෙක් මිතුරන් දෙදෙනා අප එහි යන විට නිවසින් බැහැරට ගොස් තිබිණි. ඉන් එක් අයෙකු කලා උත්සවයක් සම්බන්ධ කටයුත්තක් සඳහා සහභාගී වීමට රාත්‍රියේ ම නිවසින් පිටව ගොස් සිටි බව චාමර පැවසීය. ඔහුගේ වයස 35ක් පමණ ය.

නමුත් තම අනෙක් මිතුරා පිළිබඳව චාමර සංවේදීව සඳහන් කළේ, "පසන් (අන්වර්ථ නාමයකි) ගොඩක් වෙලාවට කරන්නේ රඟපාන එකයි, සවුන්ඩ් වැඩයි [නාට්‍යවල]. මට හිතන්නේ එයා මේ ටිකේ අනුරාධපුරේ ගෙදර ගිහින් ඉන්නේ සල්ලි නැති නිසා කියලා. මේ ගෙදරට ගෙවන ගාණත් එක්ක එක්කෙනෙක් ගෙවන්න ඕනේ රුපියල් 11,000ක් විතර කුලිය විතරක්. එතකොට වතුර බිල්, ලයිට් බිල් ආවම ඒක 15,000කට ආසන්න ගාණක් විතර වෙනවා."

පසන්ට "දැන් දින ගණනක ඉඳලා" නාට්‍ය වැඩ නොමැති බව ඔහු පැවසීය. "එතකොට එයාට ගාණක් එන්නේ නැහැ. දැන් මම එයාගෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ අහලා, මට දෙන්න නැහැනේ. මම ඒක අහලා තේරුමක් නැහැ ඉතින්. මම කොහොම ද ඉතින් දෙන්නේ?," චාමර තවදුරටත් සඳහන් කළේ ය.

'ඇයි මිනිස්සුන්ට එහෙම කරන්නේ?'

තමන් ගමන් බිමන් යාම සඳහා භාවිත කරන්නේ යතුරුපැදියක් බව ත් "මේ අවුල එන්න කලින් බයිසිකලේ ෆුල් ටෑන්ක් කරන්න" රුපියල් 1,800ක මුදලක් පමණක් වැයවුණු බව ත් ඔහු අප හා පැවසීය. ඔහු සඳහන් කළේ, එය සති දෙකකට ප්‍රමාණවත් වූ බව ය. කෙසේ වෙතත් දැන් ඒ සඳහා "මට දැන් රුපියල් 3,800 ටැංකි දෙකක් ඕනේ මාසෙකට. ඒ ඉස්සර ගියපු ගමන් යන්නේ නැතුව. හැබැයි අපේ පඩිය වැඩි වෙලා නැහැනේ. මේන්ටනන්ස් වැඩත් එනවනේ.”

ගිය මාසේ රෙපෙයාර් එකක් ඇවිල්ලා මට ගියා රුපියල් 38,000 ගාණක්. මම ඊට පස්සේ අකවුන්ට එකක් ඕපන් කරලා දෙදාහ දෙදාහ දානවා. ඇයි කොහොම ද බයික් එකක් හදා ගන්නේ? කාර් එකක් ගන්න එකක් ගැන විහිළුවකටවත් හිතන්න බැහැ. බයික් එකක් නඩත්තු කරන්න බැරිව කොහොම ද මම කාර් එකක් ගන්නේ?," යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

චාමර ප්‍රකාශ කළේ, තමන්ගේ මාසික ආදායම තරම්වත් ආදායමක් තම අනෙක් මිතුරන් දෙදෙනා උපයන්නේ නොමැති බව ය.

ඉහළ දමන ලද විදුලිය, ජලය සහ ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට ඔහු ලබා දුන් පිළිතුර වූයේ, "ඇයි මිනිස්සුන්ට එහෙම කරන්නේ?" යනුවෙනි.

තම වියදම් විටින් විට අවුරුදු කිහිපයක සිට සටහන් කිරීමට චාමර පුරුදුව සිටි හෙයින්, 2021 වසරේ විට 2023 වසර දක්වා වූ කාලය තුළ ඔහුගේ ජීවන වියදම ඉහළ ගිය ආකාරය පිළිබඳව දළ අවබෝධයක් ලබා ගැනීමට අපට හැකි විය.

ආහාර සඳහා වැය කිරීමට මුදල් යොදනවාට වඩා රාජකාරිය සඳහා ගමන් කිරීමට මුදල් වැය කිරීමට සිදුව ඇතැයි චාමර පැවසීය.

"හරියට බැලුවොත් අපි කාලත් නැහැ."

ඔහු ප්‍රකාශ කළේ, ඇතැම් අවස්ථාවලදී රාත්‍රී ආහාර වේල මග හැර හෝ යම් සුළු දෙයක් ආහාරයට ගෙන සෑහීමකට පත්වන බව ය. කිරිපිට මිල ඉහළ යාම හමුවේ කිරිපිටි පරිභෝජනය ද නතර කළ බව ඔහු පැවසීය.

කොළඹ ආවේ ඇයි? 'මාව නිකම් ගිනි ගන්නවා වගේ…'

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ පසු 2019 වසරේදී තම උපන් ගම පිහිටා ඇති පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ ම රජයේ රැකියාවක් ලද හෙයින් තමන් එහි ගියේ යළි කොළඹ පදිංචියට පැමිණීමේ බලාපොරොත්තුවෙන් නොවන බව චාමර පැවසීය.

කෙසේ වෙතත්, කලා කටයුතු සහ දරුවන්ට සංගීතය විෂය ඉගැන්වීම සඳහා පන්ති පැවැත්වීමට තමන් සතිඅන්තවලදී නිතර කොළඹ ආ ගිය බව ද ඔහු සඳහන් කළේ ය.

චාමර පැවසුවේ, ඉන් තමන් ස්ථිර රැකියාවෙන් ලද වේතනයට අමතරව රුපියල් 40,000ක පමණ මුදලක් ඉපැයූ බව ය.

නමුත් කොළඹට පැමිණීමට පමණක් දිනකට කිලෝමීටර් 200ක් පමණක් ගමන් කළ යුතු බැවින් එය තමන්ට මහත් අසීරු කාර්යයක් බවට පත් වූයේ යැයි ඔහු සඳහන් කළේ ය.

"ජීවන වියදම දැන් එන්න එන්න ම වැඩි වෙනවනේ. එතකොට මම හිතුවා මට 80,000ක් හම්බ කරන්න පුළුවන් නම්... මට 40,000ක් පඩිය කොහොමත් හම්බ වෙනවනේ. තව 40ක් මට හම්බ කරන්න පුළුවන් විධියක් තියෙනවා නම් පහසුවෙන්, කොළඹට එන්න ඕනේ කියලා මට හිතුණා. ඒ වගේ ම ඒ වෙද්දී ආර්ට් කරන මගේ යාළුවෝ ටිකත් ආපහු කොළඹට ආවා.

එයාලා ඇවිල්ලා මෙහේ [කොළඹ] එක එක තැන්වල වැඩ කරනවා [කලා කටයුතු], ෆොටෝස් දානවා... ඉතින් මට එහේ ඉන්න හිතුණේ නැහැ. මාව නිකම් ගිනි ගන්නවා වගේ. ගමේ ගියාට මම ඉන්නේ මෙහේ. වෙන්ට් එකේ වැඩ යනවා. ඩ්‍රාමා යනවා. ෆෙස්ටිවල් යනවා. එහේ [වනාතවිල්ලුව] මුකුත් ම නෑනේ."

ඉන් අනතුරුව තමන් යළි කොළඹ පැමිණීමට තීරණය කළ බව චාමර පැවසීය.

"මොක ද මට බය වෙන්න දෙයක් නැහැනේ. මට 40ක් විතර වැඩිපුර හම්බ වෙනවනේ. ඒ නිසා මම කොළඹ ආවා."

'කොළඹ ආපු ප්‍රධාන ම හේතුවෙන් එකක් නැති වෙනවා'

යළි කොළඹ පැමිණීමෙන් පසුව තමන්ට අත්වූ ඉරණම පිළිබඳව ඔහු පැවසූ අවස්ථාවේ ඔහුගේ මුහුණේ ඇඳී තිබුණු හැඟීම් අතිශය සංවේදී ය.

චාමර සඳහන් කළේ, මාසයක කාලයක් පමණ හොඳින් තමන් රැකියාවත් බාහිර වැඩකටයුතුත් සිදු කරගෙන ගිය නමුත් කොවිඩ්-19 වසංගතය ඒ සියල්ලට ම හරස් වූ බව ය.

"ආදායම් මාර්ග කොරෝනා නිසා තමයි නතර වුණේ. නාට්‍ය වැඩ සහ අපි කරපු මියුසික් වැඩ නතර වුණේ කොරෝනා නිසා. ඒවා නතර වුණා ම අර කොළඹ ආපු ප්‍රධාන ම හේතුවෙන් එකක් නැති වෙනවා. එතකොට මගේ එක ආදායම් මාර්ගයක් ඉවරට ම ඉවරයි. එතැනින් පස්සේ වැඩ ගොඩක් නැති වුණා."

එතැනින් පසු මේ දක්වා නිශ්චිත වශයෙන් අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීමට නොහැකි වූ බව චාමර පැවසීය. ඔහු සඳහන් කළේ, යම් ආකාරයක ආදායම් ඉපැයීමේ මගක් හමුවුව ද එලෙස ලැබෙන මුදල ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බව ය.

චාමරට සහෝදරියන් දෙදෙනෙකු සිටියි. ඔවුන්ගේ දෙදෙනාට අමතර මව සහ පියා ත් මිත්තණිය ත් වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දිවි ගෙවති.

පියා විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකි. ඔහු ලබන විශ්‍රාම වැටුපත්, සහෝදරියන් රැකියාවෙන් උපයන මුදලුත් නිවසේ වියදම් සඳහා යොදා ගන්නා බව ඔහු පැවසීය.

තමන් ද නිවසේ වියදම් සඳහා දායක වන්නේ දැයි ඔහුගේ විමසූ විට ඔහුගේ ප්‍රතිචාරය වූයේ, "පිස්සු ද?" යනුවෙනි.

කජු ගස් සහිත අක්කර කිහිපයක ඉඩමක් තිබුණ ද විවිධ බාධක හේතුවෙන් ඉන් නිශ්චිත අදායමක් ඉපැයිය නොහැකි බව චාමර පැවසීය.

'බැඳලා කෙල්ලෙක්ව කොහොම ද බලා ගන්නේ?'

චාමරට පෙම්වතියක සිටියි. ඇය කොළඹ ප්‍රදේශයේ උපන් තරුණියක වන අතර කොළඹ නරගයේ ම පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වෙයි.

විවාහ වීමට බලාපොරොත්තුවක් තිබුණ ද චාමර ප්‍රශ්න කළේ, තමන් ලබන වැටුපෙන් නිවාස කුලිය සහ අනෙක් වියදම් සිදු කර "කෙල්ලෙක්ව කොහොම ද බලා ගන්නේ?" යනුවෙනි.

"දැන් මගේ ගෑනු ළමයා කාලා බීලා සැපෙන් ගෙදර ඉන්නවා. ඉතින් එහෙම සැපෙන් ගෙදර ඉන්න කෙල්ලෙක්ව මම ගෙන්නලා ඒ වගේ හොඳට බලා ගන්න බැරි නම් මොක ද කරන්නේ? ගෙදර ෆ්‍රිජ් එකක්වත් නැහැනේ."

"කසාද බැඳීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒත් කර ගන්න බැහැ. මම කැමතියි ලබන අවුරුද්ද වගේ ඇතුළත බඳින්න පුළුවන් නම්. පැහැදිලිව මුදල් තමයි බාධකය."

'කොළඹ කියන්නේ මර උගුලක්...'

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය කොළඹ නගරය වුව ද කොළඹින් බැහැර සිට කොළඹට පැමිණෙන තරුණ තරුණයින් "මර උගුලක පටලවන ස්ථානයක්" බව මේ වන විට කොළඹ පත්ව ඇතැයි ඔහුගේ අදහස් විය.

යළිත් ගමට ගොස් තම කාලය සහ ශ්‍රමය වගා කටයුතු සඳහා වැය කිරීම තමන් සිව් වසරක කාලයක් කොළඹ සිට උසස් අධ්‍යාපනය හදාරා ලබා ගන්නා ලද දැනුම අපතේ යැවීමක් බව චාමර සලකයි.

"කිසි ම දෙයක් ගමේ නැහැ. නාට්‍යයක් බලන්නවත්. ඒකත් කරනවා නම් කරන්න ඕනේ මම. ගමේ නාට්‍ය කාරයෙක් කියලා එහෙම කෙනෙක් නැහැ. එතකොට මම ගිහිල්ලා නාට්‍ය කලාව මුල ඉඳලා ම පැළ කරන්න ඕනේ එහේ. ඒකට කොච්චර කාලයක් යනවා ද? දැන් 29යි වයස. අපි හීන මැව්වේ අවුරුදු 25, 26 වෙද්දි ක්ෂේත්‍රයේ තැනකට ඇවිල්ලා අපි බලාපොරොත්තු වෙන දේවල් ටික ළඟා කර ගන්න නේ."

දුරස් වන සිහින

අමතර ආදායමක් උපයා ගැනීම සඳහා ත් ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා ත් කුඩා පරිමාණයේ ශබ්දාගාරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විදයම් කොපමණ දැයි චාමර සිය දිනපොතේ සටහන කර තිබේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අවශ්‍ය උපකරණ ආදිය අවම මට්ටමින් සපයා ගත්ත ද එම කටයුතු සඳහා පරිගණයක් මිලට ගැනීම දැන් කළ නොහැක්කක් බව ය.

ඔහු ඒ සඳහා වැය වන මුදල එකින් එක අප හා පැවසීය.

"වැඩ කරන්න කොහෙන් ද පටන් ගන්නේ කියලා මට හිතා ගන්න බැහැ. දැන් මේ තියෙන කම්පියුටර් එකේ ද වැඩ කරන්නේ? මේ බලන්න? වීඩියෝ එකක් ප්ලේ කර ගන්න බැහැ," යැයි ඔහු ප්‍රකාශ කළේ, "වර්තමානයේ මූලික අවශ්‍යතාවක් බවට පත්ව ඇති" නමුත් තමන් මේ වන විට භාවිත කරන ලැප්ටොප් පරිගණකය පැරණි බව ත් ඉන් තම අවශ්‍යතා ඉටු කර ගත නොහැකි බව ත් පවසමිනි.

චාමර වැඩිදුරටත් සඳහන් කළේ, මෑතකදී පැවති තම ළඟ ම මිතුරෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයට යාම පවා තමන් මගහැරි බව ය.

'ලොකු ම විදයම් දෙක කෑමයි සහ රෙන්ට් එක යි...'

දුර බැහැර ප්‍රදේශවල සිට රැකී රක්ෂා කටයුතු සඳහා කොළඹට පැමිණ කුලී නිවෙස්වල හෝ තාවකාලික නවාතැන්වල ජීවත් වන තරුණ තරුණියන්ට වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් අත්ව ඇති ඉරණම පිළිබඳව බීබීසී සිංහල, බියගම නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවල නිරත තරුණ තරුණියන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව ද අධ්‍යයනය කර ඇති නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රගෙන් විමසීමක් කළේ ය.

ඇය සඳහන් කළේ, මේ වන විට උද්ගතව ඇති බරපතළ ම ප්‍රශ්නය ආහාර මිල ඉහළ යාම බව ය. ඒ හා සමගාමීව විදුලි සහ ජල ගාස්තු ඉහළ යාමත් සමග නාවතැන් සඳහා ගෙවන කුලී මුදල් ද මේ වන විට ඉහළ ගොස් ඇතැයි ඇය පැවසුවා ය.

ඇය පෙන්වා දුන්නේ, ඊට අමතවරව ප්‍රවාහන විදයම ද ඉහළ ගොස් ඇති බව ය.

"කොළඹ ආශ්‍රිතව ම ඉන්නවා නම් ඒ වියදම අඩු යි. හැබැයි ගොඩක් මිනිස්සු බෝඩ් වෙලා ඉන්නේ දෙල්කඳ, නුගේගොඩ ඒ වගේ පැතිවල නේ. එතකොට එයාලට ප්‍රවාහන විදයමක් තියෙනවා. ලොකු ම විදයම් දෙක ආහාර යි සහ රෙන්ට් එක යි. ගොඩක් අය ප්‍රයිවෙට් සෙක්ටර් එකේ වැඩ කරන්නේ, ප්‍රයිවෙට් සෙක්ටර් එකේ පඩි වැඩි වෙලා නැහැ. ඒකත් එක්ක එයාලගේ බෝඩින් ගාස්තුයි, ආහාර වියදමයි, ප්‍රවාහන ගාස්තුයි වැඩි වෙලා තියෙනවා."

පෝෂණ මට්ටම් පහළ යාම

ආහාර වේල් මග හැරීම හේතුවෙන් බොහෝ දෙනෙකුගේ පෝෂණ මට්ටම් පහළ ගොස් ඇතැයි ද ඇය පැවසුවා ය.

"කෑම වේල් අඩු කරනවා. ඒගොල්ලෝ එතකොට කෑම වේල් තුන ම කන්නේ නැහැ අනිවාර්යයෙන්. මෙච්චර කල් චිකන්, මාළු කෑවා නම් දැන් ඒවා කන්නේ නැහැ. එතකොට ඒ පෝෂණ මට්ටම් අඩු වෙලා තියෙනවා. ඒක විශේෂයෙන් කොළඹ බියගම කියලා වෙනසක් නැහැ ඒ ප්‍රශ්නෙදි. සංක්‍රමණික කම්කරුවෙක් නම් රට ඇතුළෙන් වුණත් එයා ඇවිල්ලා ඉන්නවා නම් ඒ ප්‍රශ්නේ තියෙනවා."

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පෙන්වා දුන්නේ, සතියකට වරක් කොළඹ සිට දුර බැහැර තිබෙන ගම් ප්‍රදේශ බලා ගිය පුද්ගලයින්ට ඒ සඳහා දැන් විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ය.

මීට පෙර මාසයකට වරක් හෝ නිවස බලා ගිය කෙනෙකු මාස තුනකට වරක් හෝ පවතින තත්ත්වය හමුවේ දැන් නිවෙස් වෙත නොයන බව ඇය පැවසුවා ය.

විදේශගත වීමට දරන උත්සහයන් ඉහළ යාම

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පෙන්වා දුන්නේ, ආර්ථික අර්බුදයත් සමග බොහෝ පිරිස් විදේශගත වීමට උත්සහ දරන බව ය. කෙසේ වෙතත්, එවැනි අවස්ථාවලදී ඔවුන් අවදානම් තත්ත්ව යටතේ සංක්‍රමණය වීමට ගොස් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව ඇය පැවසුවා ය.

අඩුආදායම් ලාභී පවුල්වල සාමාජිකයින් ඊට වැඩි වශයෙන් නතු වන බව ඇය සඳහන් කළා ය.

"සංක්‍රමණය වෙන්න මිනිස්සු ලොකු උත්සහයක් දරනවා පිටරටවල්වලට. එහෙම සංක්‍රමණය වෙද්දී අවදානම් තත්ත්ව යටතේ කරනවා. විසිට් වීසා ගිහිල්ලා රස්සා හොයා ගන්න. ඊට පස්සේ රස්සා නැහැ. මෙහෙ ඉන්න [බියගම] විශේෂයෙන් ගැහැනු අය මම දන්නවා සමහර සිදුවීම් තියෙනවා ලිංගික අල්ලස්වලට, ඒ වගේ ලොකු ප්‍රශ්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා රස්සාවක් හොයා ගන්න."

එබැවින් ආරක්‍ෂිත ක්‍රමවේද ඔස්සේ විදෙස් රටවලට සංක්‍රමණය වීමට තරුණ තරුණියන් පියවර ගත යුතු බව ඇය අවධාරණය කළා ය.

"ඒ නිසා ඒ වගේ අවදානම් ගන්නේ නැතුව ආරක්‍ෂිත මාර්ග ඔස්සේ රැකියා හොයා ගන්න, ඒ කියන්නේ ඒජන්සි තියෙනවා නම් ඒක රෙජිස්ටර් වෙලා ද කියලා බලන්න. ඒ වගේ පාස්පෝට් එක භාර දුන්නට පස්සේ බලපෑම් කරනවා ද ආපහු දෙන්න මුදල් ගන්න. මේක ගොඩක් තියෙන්නේ අඩු ආදායම් ලාභී පවුල්වලට අයට."