IMF ණය අනුමතයි: පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ IMF කියයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන බවත්,පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (මාර්තු 21 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේය.

IMFආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා IMF දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි මේ බව අවධාරණය කළේ මුදල් නොමැති බව පවසමින් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් බීබීසී සිංහල විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“පළාත් පාලන මැතිවරණ ගැන මම කියන්න කැමතියි. IMF අපි කිසිම රටක මැතිවරණ ක්‍රියාවලියකට මැදිහත් වන්නේ නැහැ. ලංකාවේ තත්ත්වය ගත්විට, මැතිවරණ කියන ප්‍රශ්නය ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකා ජනතාවට අයත් දෙයක්”. ඔහු පෙන්වා දුන්නේය.

මසාහිරෝ නොසාකි සඳහන් කළේ “අපි මැතිවරණයට සම්බන්ධ වීම සහ බලපෑම කරන බවට යම් රාවයන් තියෙනවා. නමුත් මම පැහැදිලි කරන්න කැමතියි. අපි IMF අපි කිසිදිනක ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල්දාන්න කියලා නිර්දේශ කරලා නැහැ. අපි කවදාත් නිර්දේශ කරලා නැහැ ඡන්ද කල්දාන්න කියලා පළාත් පාලන මැතිවරණ”

පළමු ණය වාරිකය ඉදිරි දින 2 තුළ

ඩොලර් මිලියන 333 ක පළමු වාරිකය වහාම මුදා හැරීමට නියමිත බවත් එය බොහෝ විට ඉදිරි දින 02 තුළ මුදා හැරෙනු ඇති බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වු ශ්‍රී ලංකාවේ IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් අනාවරණය කළේය.

ඔහු පෙන්වා දුන්නේ පසුගිය ප්‍රතිපත්තිමය වැරදි සහ ආර්ථික කම්පනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවය.‍

මෙ අර්බුදකාරී තත්ත්වය විශේෂයෙන් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඇතුළුව ශ්‍රී ලාංකික ජනතාවට ඇති කරන බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද පීටර් බෲවර් අනාවරණය කළේය.

ජාත්‍යන්ර මුල්‍ය අරමුදල අනුමත කරන ලද ණය පහසුකම යටතේ ඉදිරි වසර 4 තුළ ඩොලර් බිලියන 3ක මුදලක් ලැබීමට නියමිතය.

මේ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලැබෙන මුදල් රජයේ වියදම් සඳහා හෝ භාණ්ඩාගාර බැඳුම්කර වැනි රජයේ ණය ආපසු ගෙවීම සඳහා භාවිතා කළ හැකි වනු ඇත.

මෙය රජයට පවතින අරමුදල් පීඩනය ලිහිල් කිරීමට හේතුවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ විස්තීරණ ණය පහසුකම යටතේ වන විධිවිධාන යටතේ සහාය දක්වන ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රමුඛතාවන් සහ ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මත ගොඩනගා ඇති බවයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කළ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට අදාළ විධිවිධාන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබී තිබේ.

අදාළ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (මාර්තු 20 වැනිදා) රාත්‍රියේ නිවේදනය කළේය.

මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහු පාර්ශවික සංවිධාන වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් වන්නේ රජය සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට උත්සාහ කරන බැවින් බවයි.

විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් පළවෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹිණි.

ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක මෙම වැඩසටහන මගින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති ආරක්ෂා කරගනිමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම මස මුලදී, ශ්‍රී ලංකාවට, පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය ඇතුළු එහි නිල ණයහිමියන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුකූල මූල්‍ය සහතික කිරීම් ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විධායක කමිටුවක් කැඳවීමට සහ ණය සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට ඉඩ සලසමිනි.

පෙර නොවූ විරූ අභියෝගවලින් ආර්ථිකය මුදවා ගැනීමට සහ සියලු පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අවකාශය මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරන බව ජනාධ්පති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිචාරය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් මෙම ණය පහසුකම අනුමත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කර තිබේ.

“ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු. දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි."

"මා ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය. ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය. අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් පමණ වන ණය වාරිකයක් කඩිනමින්

IMF විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා නව විස්තීරණ අරමුදල් පහසුකම (EFF) විධිවිධාන යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් අද අනුමත කළ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද අද රාත්‍රියේ නිවේදනය කළේය.

ඒ, විස්තීරණ අරමුදල් පහසුකම (ඊඑෆ්එෆ්) යටතේ මාස 48 ක දීර්ඝ වැඩපිළිවෙළක් සඳහාය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේ, ශ්‍රී ලංකාව ව්‍යසනකාරී ආර්ථික හා මානුෂීය අර්බුදයකින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවය.පෙර පැවති දුර්වලතා සහ ප්‍රතිපත්තිමය වැරදි පියවරයන්ගෙන් මුතුවන අභියෝගවලට ආර්ථිකය මුහුණ දී සිටින පසුබිම තුළ බාහිර කම්පන මාලාවකින් තවදුරටත් අර්බුදයට උග්‍රවී තිබේ.

නිවේදනයේ වැඩදුරටත් සඳහන වන්නේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය මත ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ පාලනය සහ වර්ධන හැකියාවන් ශක්තිමත් කිරීම විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන EFF-සහයෝගී වැඩසටහනේ අරමුණ බවයි.

ඒ අනුව විධායක මණ්ඩලයේ තීරණය සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් පමණ වන ණය වාරිකයක් කඩිනමින් මුදා හැරෙන බව එහි සඳහන් ය.