ලෝක සරණාගත දිනය: ඉතාලියේ සරණාගතභාවය පතන ශ්‍රී ලාංකිකයෝ

    • Author, බීබීසී සිංහල

"සරණාගතභාවය ඉල්ලලා තියෙන නිසා මට දැන් මෙහෙ රස්සාවක් කරන්න අවසර තියෙනවා. ඒකෙන් ගෙදරට යවලා, ණය ගෙවලා, මට මෙහේ ජීවත් වෙන්න පුළුවන් ගාණක් අතට ලැබෙනවා. ලංකාවේ හිටියා නම් මට මේ කිසි දෙයක් කරගන්න බැරි වෙනවා."

ශ්‍රී ලංකාවේ, නාත්තණ්ඩිය ප්‍රදේශයේ දිවි ගෙවූ සහන් යන අන්වර්ථ යන නාමයෙන් හඳුන්වන අපගේ කතා නායකයා රුමේනියාවට ගොස් ඉන් පසු ඉතාලියට සංක්‍රමණය වී මේ වන විට ඉතාලියේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ ගණන් බැලීම්වලට අනුව, 2024 වසර වන විට ලොව පුරා මිලියන 36.8 දෙනෙකු සරණාගතභාවයට පත්ව ඇත.

ලෝක සරණාගත දිනය ජූනි 20 වනදාට යෙදී ඇති අතර මෙවර එහි තේමාව වී ඇත්තේ "සරණාගතයන් සමග සහයෝගීතාව" යන්නයි.

'ලංකාවේ ලොකු පිරිසක් ඉතාලියේ සරණාගතභාවය ඉල්ලා තියෙනවා'

සහන් පවසන පරිදි ඔහු මෙන් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු රුමේනියාව, ලිතුවේනියාව, ප්‍රංශය හා ජර්මනිය වැනි රටවලින් හෝ වෙන යම් ක්‍රමවලින් ඉතාලියට පැමිණ සරණාගතභාවය සඳහා අයැදුම් කර ඇත.

"සරණාගතයභාවය ඉල්ලුවේ මම මේ රටට ගොඩක් කැමති. මේ රටේ මට නීත්‍යනුකූලව ඉන්න බලපත්‍රයක් නැති නිසා, නීත්‍යනුකූලව ජොබ් එකක් කර ගන්න ඕන නිසා මම ඉල්ලුම් කළා."

"කී දෙනෙක් ද කියන්න බැරි තරම් ලංකාවේ ලොකු පිරිසක් ඉතාලියේ සරණාගතභාවය ඉල්ලලා තියෙනවා. මම දන්න විදිහට ගොඩක් අය ඉන්නවා."

"ලංකාවේ කොහොම හරි අමාරුවෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් තිබුණා. අනිත් අයට පුළුවන් නම් මට බැරි වෙන්න බැහැ නේ. ඒත් මම ආවා, මෙහෙ ආවා කියලා හැමදේම සුන්දර නැහැ. මුල් කාලේ ඩොකියුමන්ට් නැති නිසා රස්සාවක් හොයාගන්න බැහැ. අඩු පඩියට තමයි රස්සාවක් කරන්න වෙන්නේ. නිවාඩු කියලා එකක් නැහැ. වැඩට ආවොත් රස්සාව තියෙනවා. එක දවසක් හරි ආවේ නැති වුණොත් ජොබ් එක නැහැ," යනුවෙන් සහන් සිය අත්දැකිම් විස්තර කළේ ය.

'ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි කියලා මම සරණගතභාවය ඉල්ලුවේ'

ආර්ථික අපහසුතා හේතු ලෙස දක්වමින් සහන් ඉතාලියේ සරණාගතභාවයට ඉල්ලුම් කර ඇති අතර ඔහු පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රව පැවති සමයේ එය හේතුවක් කර ගනිමින් බොහෝ දෙනෙකු සරණාගතභාවයට ඉල්ලුම් කර තිබේ.

"ආර්ථික අපහසුතා නිසා ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි කියලා මම සරණගතභාවය ඉල්ලුවේ. ගිය අවුරුද්දේ මැයි මාසේ දැනුවත් කිරීමක් කරලා තියෙනවා අපේ රටේ එතකොට හිටපු ජනාධිපතිතුමා, රටේ ආර්ථික තත්ත්වය හොඳයි කියලා. ඒ නිසා ලංකාවට ඒ හේතුවෙන් සරණාගතභාවය ඉල්ලන් දෙන්නේ නැති කතාවක් තමයි අපිට කිව්වේ. ඒත් දැනට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා හිතනවා," ඔහු පැවසීය.

සරණාගතභාවය ඉල්ලුම් කිරීමෙන් පසුව ඉතාලි රජය විසින් එරට රැඳී සිටීමට, රැකියාවක් කිරීමට මෙන් ම වෛද්‍ය සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට බලපත්‍රයක් ලබා දෙනු ලබන අතර එය "කහ කොළය" ලෙස හඳුන්වනු ලබයි.

"අපි පාස්පෝර්ට් එක දුන්න ගමන් කොට කොළේ කියලා එකක් දෙනවා. ඒක දීලා මාස ගාණකට පස්සේ එන්න කියනවා කහ කොළේට. ඒක හම්බ වුණා ම ජොබ් එකක් කරද්දි කන්ට්‍රැක්ට් එකක් ගහන්න පුළුවන්, බැංකු එකවුන්ට් එකක් හදාගන්න පුළුවන්, සන්තාරියා කියලා තියෙනවා දොස්තර කෙනෙක්ව හම්බ වෙන්න පුළුවන් කාඩ් එක දෙනවා. වීසා තියෙන කෙනෙකුට ලැබෙන දේ ම නොවුණත් ඒ හා සමාන දෙයක් මේ රටින් ලබා ගන්න කහ කොළේ තියෙන කෙනෙක්ට පුළුවන්," සහන් තවදුරටත් පැහැදිලි කළේ ය.

'සරණාගතභාවය ගැන තීන්දුවක් ලැබෙන තුරු ලංකාවට එන්න බැහැ'

ඉතාලි සරණාගතභාවය ඉල්ලුම් කරන විට මෙරට ගමන් බලපත්‍රය එරට රජය විසින් භාරයට ගනු ලබයි. ඉන් පසුව සරණාගතභාවය පිළිබඳ තීන්දුව ලැබෙන තෙක් ගමන් බලපත්‍රය නැවත නොලැබෙන අතර එම නිසා ලංකාවට පැමිණීමට නොහැකි වේ.

යම් ‍හෙයකින් සරණාගතභාවය පිළිබඳ තීන්දුව ලබා ‍දීමට පෙර ගමන් බලපත්‍රය ලබා ගතහොත් සරණාගතභාවය ඉල්ලුම් කිරීම අහෝසි වන අතර නැවත ඉතාලියට ඇතුළු විය හැක්කේ වලංගු වීසා බලපත්‍රයක් ලබා ගතහොත් පමණි.

"අපි කුස්තූරා එකට (ඉතාලියේ වීසා සම්බන්ධ කාර්යාලය) ගිහිල්ලා සරණාගතභාවය ඉල්ලුම් කරද්දි අපේ පාස්පෝර්ට් එක අරගෙන අපිට පොඩි කොළයක් දෙනවා ඒකට අපි කියන්නේ කොට කොළේ කියලා. ඒක දීලා ආයේ එන්න එපොයිමන්ට් එකක් දෙනවා. එහෙම එපොයිමන්ට් දෙක තුනකට ගියාට පස්සේ, කහ කොළේ කියලා එකක් දෙනවා සමහර අයට ඒක ඉක්මනට හම්බ වෙනවා, සමහරුන්ට මාස දෙකක් තුනක් යනවා. කොට කොළෙනුත් රස්සාවක් හොයා ගන්න පුළුවන් වුණාට කහ කොළේ තියෙන අයට තමයි කොන්ත්‍රාත් ගහලා රස්සාවක් හොයා ගන්න ලේසි," සහන් අප හා පැවසීය.

"අපි පාස්පෝර්ට් එක දීලා රෙජිස්ටර් වුණාට පස්සේ ආයේ අපිට පාස්පෝර්ට් එක හම්බ වෙන්නේ කවදා හරි කොමිසමට දාලා අපිට සරණාගතභාවය ලැබෙනවා ද, නැද්ද කියලා තීන්දු කළාට පස්සේ තමයි. එතකම් ලංකාවටවත්, වෙන කොහෙටවත් යන්න විදිහක් නෑ. හැබැයි අපිට ඕනේ නම් පාස්පෝර්ට් එක ඉල්ලගෙන ආපහු එන්න පුළුවන්. එතකොට රෙෆියුජි ඉල්ලපු එක කැන්සල් වෙනවා. ඉතාලියෙන් ගියොත් ආපහු යන්නත් බැහැ," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

'මට රෙෆියුජි හම්බ වෙන්න අවුරුද්දයි මාස 8ක් ගියා'

සරණාගතභාවය ලබා දීමට ගත වන කාලය නිශ්චිතව පැවසිය නොහැකි බව පැවසූ සහන, සරණාගතභාවය පිළිගත් කිසිවෙකු පිළිබඳ නොදන්නා බව ද කියා සිටියේය.

කෙසේ වෙතත්, ඉතාලියේ සරණාගතභාවය ඉල්ලුම් කර ලබා ගත් ලාංකිකයකු බීබීසි සිංහල සේවයට හමුවිය.

සරණාගතභාවයට ඉල්ලුම් කර වසර දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව ඔහුට ඉතාලියේ සරණාගතභාවය ලැබී ඇත.

"මම වෙන රටක අවුරුද්දක් විතර ඉඳලා තමයි ඉතාලියට ගියේ. ඒ ගිහිල්ලා ටික කාලෙකින් තමයි මම ඇප්ලයි කළේ. මට රෙෆියුජි හම්බ වෙන්න අවුරුද්දයි මාස 8ක් විතර ගියා," ඔහු අප හා පැවසීය.

සරණාගතභාවය ලැබීමෙන් පසුව, එනම් වසර 5කට පමණ පසුව ඔහු ලංකාවට පැමිණ සිටන අතර සරණාගතභාවය ලබා ගත් ආකාරය ගැන කරුණු හෙළි කිරීමට ඔහු තරමක් මැළිකමක් දැක්වීය.

"කෙනෙක් මැරුණත් රෙෆියුජි ලැබෙනකම් ආයේ ලංකාවට යන්න බැහැ. ඒ ගැන නම් දුකයි. ඒත් මම කොහොම හරි අල්ලගෙන ඉන්නවා. මේක හරි යනකම්," යැයි රැකියාවට පිටත්ව යාමට සූදානම් වන අතරතුරු අප හා සංවාදයේ යෙදුණු සහන් එය නිමා කරමින් පැවසීය.