ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින්: 'අපිට දැන් වෙන රටකට යන්න විකල්ප ක්‍රමයක් නැහැ'

    • Author, බීබීසී සිංහල

"අපි ලංකාවට නෙමෙයි ආවේ. මැලේසියාවට හරි ඉන්දුනිසියාවට හරි යන්නයි ගියේ." ජීවිත ආරක්ෂාව පතා මියන්මාරයෙන් පලා යමින් සිටියදී අහඹු ලෙස මෙරටට පැමිණ සිටින හකීම්, රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳව බීබීසි සිංහල සේවයට එලෙස පැවසීය.

මියන්මාර රජය එරට වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි වර්ග සංහාරයක් සිදුකරන බවට චෝදනා එල්ල වී ඇති අතර ජිවිතය බේරා ගැනීමට හකීම් මෙන් ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යාවරු මියන්මාරය අතහැර වෙනත් රටවලට පලාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බලා තිබේ.

ලංකාවෙන් නැවතුණ, වැරදුණ ගමන

හකීම් ඇතුළු පවුලේ සියලු දෙනා ජීවිත ආරක්ෂාව පතා මුලින් ම බංගලාදේශයට පලා ගොස් ඇති අතර ඉන් පසුව මැලේසියාවට හෝ ඉන්දුනිසියාවට බෝට්ටුවකින් ගමන් කිරීමට ගත් උත්සහය අසාර්ථක වී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

"අපි බංගලාදේශයට ආවා 2017. අපි එහේ අවුරුදු 5ක් විතර ජීවත් වුණා. ඊට පස්සේ අපේ පවුලේ අය කතා වුණා වෙන රටකට යන්න."

"අපි බෝට්ටුවෙන් මැලේසියාවට හරි ඉන්දුනීසියාවට හරි යන්න හැදුවා, රෝහින්ග්‍යාවරු 114 දෙනෙක් එක්ක. අපි එහෙම යන ගමනේදී බෝට්ටුවේ එන්ජිම කැඩුණා. අපි දවස් 14ක් විතර මුහුදේ අතරමං වෙලා හිටියා."

දිවි බේරා දුන් මෙරට ධීවරයෝ

මෙලෙස ශ්‍රී ලංකා මුහුදු කලාපයේ අතරමංව සිටි තමන්ව දුටු ධීවරයන් තම පිරිසට කෑම, බීම ලබා දී තම ජීවිත ගලවා ගත් බව ද ඔහු සඳහන් කළේය.

"ධීවරයෝ අපිව දැකලා දවසකට පස්සේ ලංකාවේ නාවික හමුදාව අපිව ගලවා ගත්තා. ඔවුන් අපිව කොහෙද තැනකට අරන් ගිහින් දවස් 3 විතර තියාගත්තා. ඊට පස්සේ මම හිතන්නේ UNHRC එකෙන් අපිව අරගෙන ගියා මිරිහානට සහ වැලිසර තියෙන කඳවුරුවලට."

"අපිට දැන් වෙන රටකට යන්න විකල්ප ක්‍රමයක් නැහැ."

ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලය (UNHRC) එම මියන්මාර සරණාගතයින් මෙරටින් පිටව යන තෙක් පානදුර ප්‍රදේශයේ පදිංචි කරවීමට කටයුතු කර ඇත.

2023 සිට UNHRC විසින් රෝහින්ග්‍යා සරණාගතයින් හට මාසිකව දීමනාවක් ලබා දෙනු ලැබ ඇති අතර ඇති අතර කෙසේ වෙතත් 2024 ජනවාරි සිට එම ගෙවීම නවතා දැමු බව හකීම් කියා සිටියේ ය.

2025දී මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලය ද වසා දමා ඇති අතර එයින් මෙම සරණාගතයින් මහත් අපහසුතාවයකට පත්ව තිබේ.

"අපිට දැන් වෙන රටකට යන්න විකල්ප ක්‍රමයක් නැහැ. මොකද අපිට පාස්පෝර්ට් නැහැ, වීසා එකක් නැහැ. අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ ජිවත් වෙන්න. ආණ්ඩුව අපිට රැකියාවක් කරන්න අවසර දෙන්නෙත් නැහැ." යැයි තමා ඇතුළු ⁣මෙරට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගත පිරිස මුහුණ දී ඇති තත්ත්වය හකීම් පැහැදිලි කළේය.

"අපේ අනාගතය මෙහෙ විනාශ වෙලා යනවා. අපි ජීවත් වෙන්නේ බොහෝම අමාරුවෙන්. තාවකාලිකව දවසක් දෙකක් වැඩ කරනවා."

"අපි දන්නේ නැහැ අවුරුදු කීයක් මෙහෙ ජීවත් වෙන්න පුළුවන් වෙයි ද කියලා."

සිය බිරිඳ සමග කුලී නිවසක ජීවත් වන හකීම් යුරෝපා රටකට සංක්‍රමණය වීමේ බලාපොරොත්තු සහිතව සිටින අතර ඔහු ඇතුළු පිරිස සතුව ඇත්තේ සරණාගත කාඩ් පත පමණි.

"අපි කැමති කැනඩාව, ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ජර්මනිය වගේ යුරෝපා රටකට යන්න. නමුත් මෙහේ අපිට අවස්ථාවක් නැහැ. මොකද UNHRC කාර්යාලය වහලා දැම්මානේ. අපි දන්නේ නැහැ අවුරුදු කීයක් මෙහේ ජීවත් වෙන්න පුළුවන් වෙයි ද කියලා," ජීවිතය බේරා ගැනීමට පලාවිත් අපේක්ෂාභංගත්වයට පත්ව සිටින හකීම් පැවසීය.

හකීම් ඇතුළු ජීවිත රැකගැනීමට පලා ගොස් මෙරටට පැමිණි රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට පලමුව සිය ජන්ම භූමියේ නිදහසේ ජීවත් වීම අහිමි වූ අතර මේ වන විට කිසි ම රටක පුරුවැසියෙකු බවට පත් නොවී අසරණව සිටිතිp.

"අපි හිතනවා UNHRC එක ඇවිත් අපිට උදව් කරන්න ඕනේ. ඔවුන්ට ඒක කරන්න පුළුවන්. ඔවුන්ට කළ හැකි ඕනෙ ම දෙයක් අපි වෙනුවෙන්."

මුලතිව් වෙරළට පැමිණි රෝහින්ග්‍යාවරු

හකීම් ඇතුළු පිරිස අතර වැඩිහිටියන් 78 දෙනෙකු, අවුරුද්දක් හෝ ඊට අඩු ළදරුවන් 5 දෙනෙකු, අවුරුදු 1-5 අතර දරුවන් 6 දෙනෙකු, අවුරුදු 6-15 අතර 13 දෙනෙකු සිටින අතර ඒ අතර සිටින තවත් 9 දෙනෙකු අවුරුදු 16-18 අතර වයස් සීමාවේ පසුවේ.

මේ අතර, 2024 දෙසැම්බර් 19 වන දා මුලතිව් වෙරළ තීරයට මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් 115 දෙනෙකු රැගත් බෝට්ටුවක් ළඟා වී තිබිණි. මුලතිව් ⁣මහ මුහුදේ අතරමංව සිටි ඔවුන්ව හමුවී තිබුණේ ධීවරයින් පිරිසකට ය.

එම යාත්‍රාවේ දරුවන් 45 දෙනෙක්, කාන්තාවන් 24 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 46 දෙනෙක් සිටියහ.

'පුරවැසිභාවය ලබා දෙන්න නව නීති ගෙන්න අවශ්‍යයි'

රෝහින්ග්‍යා සරණාගතයින් ඇතුළු මෙරට රැඳී සිටින සරණාගතයින්ට දිගු කාලීන මෙන්ම කෙටි කාලීන විසඳුම් ලබාදිය යුතු බව මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත පැවසීය.

"දිගු කාලීනව ගන්න ඕන වැදගත් ම දේ තමයි ශ්‍රී ලංකාවේ රෝහීන්ග්‍යා මුස්ලිම්වරුන් විතරක් නෙමෙයි පකිස්ථාන ජාතිකයින් ඉන්නවා. මේ හැම දෙනාට ම දිගු කාලීන විසඳුමක් හැටියට ලංකාවේ ආණ්ඩුවෙන් නීතියක් සම්මත කර ගන්න මේ අයට ලංකාවේ පුරවැසිභාවය, ස්ථිර පදිංචිය ලබා දෙන්න පුළුවන් කියන එක. ඒක දැනට දෙන්න පුළුවන් කමක් නැහැ, මොකද තව ම ලංකාවේ නීතියක් නැති නිසා."

"නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 159 දෙනෙක් ගේ බහුතරයක් තියෙන නිසා ආණ්ඩුවට පුළුවන් මේ දේ කරන්න. මොකද අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ වගේ නායකයින්ට විදේශ රටවලින් පුරවැසිභාවය ලබා දීලා තියෙන නිසා."

"ඒ වගේම තමයි ලංකාවට පුළුවන් මේ දේ පටන් ගන්න. එක පාර ලොකු ගානකට අවස්ථාව දෙන්න බැරි වුණත් අවුරුද්දකට 50 දෙනෙකුට වගේ ඒ අවස්ථාව දෙන්න පුළුවන්. ඒ එක්කම කැනඩාව, බ්‍රිතාන්‍යය, වගේ ලෝකයේ අනිත් රටවලටත් පුළුවන් වෙන්න ඕන මේ අයට පුරවැසිභාවය දෙන්න. මම කියන්නේ මේක මිශ්‍රව සිදුවෙන්න ඕන දෙයක්. අද වෙද්දී ලෝකයේ මිලියන 40 කට අධික පිරිසක් ඉන්නවා සරණාගත වෙලා"

"ඒ වගේ ම කෙටි කාලින විසඳුම් විදිහට මේ රෝහීන්ග්‍යා සරණාගතයින්ට රැකියාවක් කරන්න අවස්ථාව ලබා දෙන්න කටයුතු කරන්න ඕන. ඒකෙන් එයාලට රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්. ඒ වගේ ම මේ අයගේ නිවාස වගේ අනිත් අයිතීන් ආරක්ෂා කරන්න පියවර ගන්න ඕන."

"ඒ වගේ ම මේ අයගේ දරුවන් ගැනත් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. මොකද ශ්‍රී ලංකාව ළමා ප්‍රඥ්ප්තියට අත්සන් කරලා තියෙන රටක් හැටියට ඒ දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීම සිදුකරන්න අවශ්‍ය දෙයක්," ඔහු පැවසුවේය.

මෙරට සිටින සරණාගතයන් සම්බන්ධව ගනු ලබන පියවර පිළිබඳව රජයේ ප්‍රතිචාරය විමසීමට බීබීසි සිංහල සේවය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සම්බන්ධ කර ගනු ලැබීය.

මුල් අවස්ථාවේදී කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහුව සම්බන්ධ කර ගැනීමට වෙනත් වේලාවක් ලබා දුන් අතර ඒ මොහොතේ සිට මෙම ලිපිය පළ කරන තෙක් අරුන් හේමචන්ද්‍ර නියෝජ්‍ය ඇමතිවරයා සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් දුරකතන ඇමැතුම් ලබා දුන්න ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.