ශ්‍රී ලංකාවේ අනුමැතිය ලැබූ මෙරට නිෂ්පාදිත 'වේගා මෝටර් රථයේ' නිර්මාතෘ කී කතාව

Vega super car

ඡායාරූප මූලාශ්‍රය, Vega Innovations

'පූර්ණ වශයෙන් මෙරට දී නිෂ්පාදනය කෙරුණු' වේගා මෝටර් රථයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය සිකුරාදා (මාර්තු 03 වැනිදා) හිමිවිය.

ඒ අනුව, පූර්ණ වශයෙන් මෙරට දී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ලියාපදිංචි කරන ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

එහිදී පළමු වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වේගා මෝටර් රථය නිර්මාණය කළ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ වෙත එම අංක තහඩුව ලබා දුන්නේ ය.

වේගා මෝටර් රථයේ ආරම්භය

පරිගණක මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වූ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම 2014 වසරේ දී මෙම මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ ය.

සුපර් කාර් ගණයට වැටෙන මෙම රථයේ සියලු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළ ම නිර්මාණය කර නිපදවීම විශේෂත්වයකි.

වේගා කාර් රථය පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 240ක උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතින බව එම සමාගම පවසයි.

මෙම මෝටර් රථයට අමතරව ත්‍රිරෝද රථයක් සහ විද්‍යුත් යතුරු පැදියක් ද කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම නිෂ්පාදනය කර තිබේ.

Vega super car and other innovations

ඡායාරූප මූලාශ්‍රය, Vega Innovations

ඡායාරූප ශීර්ෂ වැකිය, වේගාහි නව නිපැයුම්

"ශ්‍රී ලංකාවට පුළුවන් කියලා ලෝකයේ බලවතුන්ට පෙන්වන්න හැකි වුණා"

වේගා ඉනොවේෂන්ස් ආයතනය අයත් කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ යනු ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලයයෙන් කෘත්‍රිම බුද්ධිය සහ මෘදුකාංග පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් ව්‍යවසායකයෙකි.

ඔහු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, වේගා මෝටර් රථය නිර්මාණය කිරීම මගින් ලෝකයේ ව්‍යාපාරික බලවතුන් වන ඊලොන් මස්ක් වැනි දැවැන්තයින් අතරට ශ්‍රී ලංකාවේ වේගා නාමය ගෙන යාමට හැකි වූ බව ය.

"ශ්‍රී ලංකාවට මේ වගේ ලෝකයේ හොඳ ම වාහන නිපදවන්න පුළුවන් කියලා අපට මේ හරහා පෙන්වන්න පුළුවන් වුණා. ඊලොන් මස්ක් වැනි මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයින් අපි ගැන ශ්‍රී ලංකාව ගැන දැන් හොඳින් දන්නවා. ඒක ගැන ම‌ට ලොකු සතුටක් තියෙනවා. මට මූලිකව අවශ්‍ය වුණේ, ශ්‍රී ලංකාවට මේ දේ කරන්න පුළුවන් කියන එක ලෝකයට ඔප්පු කරල පෙන්වන්න යි. ඊට අමතරව අපි නිෂ්පාදනය කරන කාර් එක, ත්‍රීවීලර් එක සහ යතුරු පැදිය විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන නිසා පරිසර දූෂණය අවම වෙනවා. අපි දැනටමත් පරක්කු වැඩියි. පරිසරය ගැන මීට වඩා ගොඩක් හිතන්න අවශ්‍යයි," ආචාර්ය හර්ෂ සුබසිංහ පැවසීය.

සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කළේ ඇයි?

Dr Harsha Subasinghe

ඡායාරූප මූලාශ්‍රය, Harsha Subasinghe/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය හර්ෂ සුබසිංහ 2000 වසරේදී කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම ආරම්භ කළේ ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"මට අවශ්‍ය වුණේ ලෝකයේ හොඳ ම මෝටර් රථය නිෂ්පාදනය කරන්න. හොඳ ම මෝටර් රථය නිෂ්පාදනය කළාට පස්සේ ඊට වඩා පහළ මෝටර් රථ නිෂ්පාදනය කිරීම ඉතා පහසුයි. ඒ නිසා අපි පටන් ගත්තේ අමාරු ම තැනින්. මුලින් මෝටර් රථය නිපදවලා ඊට පස්සේ ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් නිෂ්පාදනය කළා. ඉදිරියේ දී තවත් නිෂ්පාදන කරන්න අපේක්ෂා කරනවා‍."

ආචාර්ය සුබසිංහ ප්‍රකාශ කළේ, තවත් මාස කිහිපයකින් "ලෝකයේ හොඳ ම ත්‍රිරෝද රථය" ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කරන බව ය.

"ලෝකයේ හොඳ ම ත්‍රීවීලර් එක තව මාස කිහිපයකින් මිල දී ගන්න ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වෙනවා. ඒක සාමාන්‍ය ත්‍රිරෝද රථයක් නෙවෙයි. බෙන්ස් කාර් එකක ගියා වගේ අත්දැකීමක් ලැබෙන වාහනයක් ඒක. ඒ වගේ ම යතුරුපැදියත් වෙළෙඳපොළට නිකුත් කරනවා."

"වේගා කාර් එක සුපර් කාර් වර්ගයේ එකක්. ඒක හැමෝට ම මිල දී ගන්න බැරි වෙයි. ඒක මිල අධික නිසා ලැබෙන ඇණවුම් මත තමයි නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට කාර් 20ක් වගේ උපරිමයක් තමයි අපි නිපදවන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ලෝකයේ හොඳ ම ත්‍රීවීලර් එක නිෂ්පාදනය කළා," ආචාර්ය සුබසිංහ පැවසීය.

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පූර්ණ වශයෙන් නිෂ්පාදිත මෝටර් රථ නිෂ්පාදනය කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ය.

කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ ආරම්භය සහ වත්මන් තත්ත්වය

මහනුවර ප්‍රදේශයේ හැදී වැඩුණු ආචාර්ය හර්ෂ සුබසිංහ පසු කාලීනව බ්‍රිතාන්‍යය වෙත ගොස් කෘත්‍රිම බුද්ධිය සහ මෘදුකාංග පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලබා, 2000 වසරේදී කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම ආරම්භ කළේ ය.

මෘදුකාංග වැඩිදියුණු කිරීමේ සහ නිෂ්පාදනය කිරීමේ ආයතනයක් ලෙස සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම සමාගම මේ වන විට 500කට අධික සේවක පිරිසකගෙන් සමන්විතය.

එය ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ක්‍රියාත්මක වේ.

"සේවකයින් කිහිප දෙනෙකුගෙන් පටන්ගත්ත මේ සමාගම දැන් විශාල සමාගමක් බවට පත්වෙලා තියෙනවා. මට ගොඩක් සතුටුයි පරිසර හිතකාමී සමාගමක් ලෙස ඉදිරියට යන්න හැකි වීම ගැන. මේ තැනට මේක ගේන්න මාත් එක්ක වැඩ කරපු සියලු දෙනා දායක වුණා," ආචාර්ය සුබසිංහ පැවසීය.