ඊබ්‍රහිම් රයිසි: මැද පෙරදිග යුද උණුසුම මැද ඉරාන ජනපති ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැදපෙරදිග පවතින යුද උණුසුම මැද එහි ප්‍රබල පාර්ශවකරුවෙකු වන ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි අද (අප්‍රේල් මස 24 වෙනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව ය.
දින 03ක පකිස්ථාන නිල සංචාරයක් නිමා කරමින් ඉරාන ජනාධිපතිවරයා අද පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය.
ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණියේ ඇමෙරිකානු මෙරීන් බලකා සාමාජිකයින් පිරිසක් ද ත්‍රිකුණාමලයට පැමිණ සිටින අවස්ථාවකදී ය.
ඒ, එම මෙරීන් බලකා සාමාජිකයින් දිවයිනට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහාය.
ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන්නේ ඇයි ?
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නේ ද්වි පාර්ශ්වීය මුල්‍ය ආධාර මත ඉදිකෙරුණු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙම සංචාරය තුළදී ඉරානය සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 05 කටද අත්සන් තැබීමට නියමිතව ඇති බව කොළඹ ඉරාන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල වෙත තහවුරු කළේය.
ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි බීබීසී සිංහල වෙත කියා සිටියේ දේශපාලන, සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන් දෙරට අතර ඈත අතීතයේ සිට හොඳ සම්බන්ධතාවයක් පැවති බව ය.
"ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ ඉරානය අතර හොඳ සම්බන්ධතාවයක් පැවතුණා. ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් සම්බාධක පැනවීමට පෙර."
"ශ්‍රී ලංකාව ඉරානයෙන් ඉන්ධන මිලදී ගැනීම සිදුකළා. ඒ වගේම අද ලංකාවේ තියෙන එකම ඉන්ධන පිරිපහදුව අපට ලබා දුන්නෙත් ඉරානය."
"මීට අවුරුදු 10 කට කලින් උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඉරානය ලංකාවට ආධාර සැපයුවේ. නමුත් ඒක ඇතිවුණ යම් අවාසනාවන්ත සිදුවීම් නිසා ප්‍රමාද වුණා."
"මේ ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක්."

ඡායාරූප මූලාශ්‍රය, CECB
"ඉරාන ජනාධිපතිතුමා සිය ආසියානු සංචාරය අතර වාරයේදී ලංකාවට පැමිණ මේ ව්‍යාපෘතිය විවෘත කිරීම මෙරට ආර්ථිකයට ලොකු හයියක් වෙනවා." විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
මේ අතර පසුගිය දස වසරක කාලය තුළ දී අහිමිවී තිබු වෙළෙඳපොළ නැවත ඇති කරමින් ශ්‍රී ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළ ශක්තිමත් කරමින් ඉරානය පසුගිය දෙවසරක කාලය තුළදී ශ්‍රී ලංකාවේ තේ වැඩි වශයෙන් මිලදී ගන්නා රට බවට පත්වෙමින් අපනයන ආර්ථිකයට ශක්තියක් ලබාදී ඇති බවද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පැවසුවේය.
‘අනිත් අයගේ හතුරෝ අපේ හතුරෝ නෙමෙයි’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරය සම්බන්ධයෙන් ඇමෙරිකාව නොසතුට පළකර අති බවට පසුගිය දින කිහිපයේදී ඇතැම් මුද්‍රිත මාධ්‍ය වල පළ කර තිබු පුවත සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් අමාත්‍ය අලි ස්බ්රි ගෙන් විමසීමක් කරන ලදී.
ඊට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.
" නැහැ.. ඇත්තටම අපිට කවුරුවත් කනස්සල්ල හෝ විරුද්ධත්වය පළකරලා නැහැ."
"අනිත් අයගේ හතුරෝ අපේ හතුරෝ නෙමෙයි. "
"ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ඇවිල්ලා සියල්ලන්ටම මිත්‍රත්වයේ දෑත දික් කරනවා. කිසිවෙකුත් සමග පස මිතුරු සම්බන්ධකමක් පවත්වාගෙන යන්නේ නැහැ. ඒ විදේශ ප්‍රතිපත්තිය උඩ කටයුතු කරමින් අපිත් එක්ක වැඩ කරන අයත් එක්ක වැඩ කරනවා."
"අනිත් එක ඉරාන ජනාධිපතිතුමාගේ සංචාරය අද ඊයේ හදිසියේ සැලසුම් කරපු එකක් නෙමෙයි."
"උමා ඔය ව්‍යාපෘතිය ඉවර කරලා අපිට දිගටම අවශ්‍ය වෙලා තිබුණා එතුමාට විවෘත කිරීමට එන්න කියන්න."
"පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මම ඉරානයේ සංචාරයක් සඳහා ගිය අවස්ථාවේදී ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා ඉරාන ජනාධිපතිතුමාට නිල ආරාධනාවක් කරන්න කියලා. එතැනින් තමයි මේක පටන් ගත්තේ."
"හැම තැනම වෙන දේවල් නිසා අපේ සම්බන්ධකම් පළුදු කර ගන්න අවශ්‍යතාවයක් නැහැ."
"අපි ස්වාධීන රටක් ලෙස නොබැඳි මිතුරු විදේශ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ." අමාත්‍යවරයා පැවසීය.
‘මෙම සංචාරයේ දී අපිට වාසි වගේම අවාසිත් තියෙනවා’
ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තර මෙන්ම ආර්ථික සහ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම කෙසේද යන්න බීබීසී සිංහල,ජාත්‍යන්තර සබඳතා පර්යේෂක සහ උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවාගෙන් විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය මගින් වාසි මෙන්ම අවාසි කිහිපයක් මතුවීමේ හැකියාවක් පවතින බවය.
"මුලින්ම කියන්න ඕන ඊශ්‍රායල් සහ ඉරානය අතර අප්‍රේල් මස 13 වෙනිදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට පෙර ඉදලා ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි ගේ ශ්‍රී ලංකා සංචාරය සැලසුම් කර තිබුණේ."
"මේ සංචාරයත් එක්ක ලංකාව එක්තරා ආකාරයේ රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මුහුණ පාලා තියෙනවා."
"මොකද අනෙකුත් බටහිර රටවල් ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රි ලංකාවේ පැවතුණු සිවිල් යුද්ධයේදී ඊශ්‍රායලය යුදමය වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කරපු රටක්."
"අනෙක් පැත්තෙන් මේ වෙද්දී ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, රැකියා මෙන්ම විවිධ වාණිජ ගිවිසුම් ක්‍රියාත්මකයි."
"මේ නිසා ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය යම් ආකාරයකින් ඊශ්‍රායලය සමග පවතින සබඳතාවන්ට යම් පසුබෑමක් ඇති කරන්න පුළුවන්."
"අනෙක් අතින් බැලුවම ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුර ඊශ්‍රායලයේ සහයට ඉන්නවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"එතකොට මේ වෙනකොට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැපිළිවෙලත් එක්ක ඉන්න නිසා අපිට වැදගත් වෙනවා ඇමෙරිකාව ඇතුළු ඒ බටහිර රටවල සහාය මේ වැඩපිළිවෙලට."
"ඒ අතින් බැලුවම ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් එක්ක බොහෝ විට ඇමෙරිකාව ඉදිරියේදී නිල වශයෙන් මේ ගැන සිය විරෝධතාවය ලංකාවට දක්වන්න ඉඩ තිබෙනවා." ඔහු පැවසීය.
ආචාර්ය හසිත් කන්දඋඩහේවා වැඩිදුරටත් පැවසුවේ බටහිර රටවල් මෙන්ම ශ්‍රී ලංකාවට ඉරානය සමග පවතින සබඳතාවය ගැඹුරු බව ය.
ශ්‍රී ලංකාවේ තේ ඇතුළු අපනයන භාණ්ඩ මිලදී ගන්නා ප්‍රධාන රටක් වන ඉරානයට මෙම අවස්ථාවේදී මෙරට සංචාරය සඳහා නොපැමිණෙන ලෙස දැනුම් දුනහොත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රබල පහරක් වනු ඇති බව ද ඔහු පැවසීය.
එමෙන්ම මෙවැනි තත්ත්වයක් මත ඉදිරියේදී ඉරානයෙන් ලංකාවට ලැබීමට හැකි ආර්ථික සහයෝගීතාවයන් අහිමි වී යාමට ද ඉඩ පවතින බව ඔහු සඳහන් කළේය.
ඉරාන ජනපතිගේ සංචාරය සහ රටේ අභ්‍යන්තර දේශපාලනය
ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරය රටේ අභ්‍යන්තර දේශපාලනමය වශයෙන් ද වැදගත් භූමිකාවක් නිරූපණය කරනු ඇති බව ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.
"මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බටහිර රටවලට නැඹුරු විදේශ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ."
"මේ වසරේ අග භාගයේදී බොහෝ දුරට රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. මේ වගේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත කාල සීමාවක මෙරටේ මුස්ලිම් ප්‍රජාවගේ ඡන්දය ඉතා වැදගත් වනවා."
"යම් විදිහකින් ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය ලංකාවේ ඉල්ලීමක් මත අවලංගු කරන්න වුනොත් ඒකෙන් රටේ අභ්‍යන්තර දේශපාලනයට බලපෑමක් වෙන්න පුළුවන්."
"විශේෂයෙන් මුස්ලිම් ඡන්ද පදනම වගේම රජයේ ඉන්න මුස්ලිම් දේශපාලඥයින් විරෝධය පළ කරන්න පුළුවන්."

මොකද්ද මේ උමා ඔය ව්‍යාපෘතිය කියන්නේ ?
එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනෙජාඩ්ගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව වැල්ලවාය, අලිකොටආර ප්‍රදේශයේදී 2008 අප්‍රේල් 29 වැනිදා දින මුල් ගල් තබමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට අධිකය. ඊට ඉරානය මෙන්ම ශ්‍රී ලංකාව මුල්‍ය දායකත්වය සපයා තිබේ.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීම ය.
මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.
සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් වෙන්වූ ටර්බයින් යන්ත්‍ර
මේ අතර උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ස්ථානගත කර ඇති ටර්බයින යන්ත්‍ර දෙක හරහා මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරේ.
එම ටර්බයින යන්ත්‍ර දෙක සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර ඇත.
මීටර 300ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කම්කරුවන්ට සහය වෙමින් තේ පැන් ආදිය සකසා දුන් සුලෝචනා සහ දසුනි යන සේවිකාවන් දෙදෙනාට ගෞරවයක් ලෙස ඉරාන ජාතිකයින් ඔවුන්ගේ නම් එම යන්ත්‍ර දෙකට තබා ඇති බව සඳහන් ය.
එක් සේවිකාවගේ නම සුලෝචනා වුවත් ඉරාන ජාතිකයින්ගේ උච්චාරණය අනුව එය නම් කර ඇත්තේ චුලෝචනා ලෙස ය.

ඡායාරූප මූලාශ්‍රය, CECB
උමා ඔය ව්‍යාපෘතිය නිසා ඇතිවූ හානිය
මහත් ආන්දෝලනයට ලක්වූ උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 13,000ක් පමණ හානියට පත්වූ බවත් පවුල් 500 කට අධික සංඛ්‍යාවකට සිය නිවෙස් අහිමි වූ බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සහ ජාතික ජනබල වේගය පක්ෂයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය.
"ආණ්ඩුව මේ වෙලාවේ වැරදි මතයක් සමාජ ගත කරන්න හදනවා විශාල ප්‍රතිලාභයක් ගෙනත් දුන්න ව්‍යාපෘතියක් අඩපණ කරන්න ඒ කාලේ අපි කිසිදු සාධාරණ හේතුවකින් තොරව විරෝධතා දැක්වුවා සහ බාධා කළා කියලා. ඒක සහමුලින්ම වැරදි."
"මෙම ව්‍යාපෘතියට මුල් ගල තැබීම ම රටේ නීතියට අනුව වැරදි. ඒ මුල්ගල තැබීම නීතිවිරෝධී කියලා අපි කියන්නේ ජාතික පාරිසරික පනතට අනුව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පෙර පාරිසරික ශක්‍යතා වාර්තාවක් සකස් කරලා එය අනුමත කර ගත්තාට පස්සේ."
"අපි අධිකරණයට යද්දී ආණ්ඩුව කළේ බාගෙට කරගෙන යමින් තිබු ව්‍යාපෘතිය වෙනුවෙන් පාරිසරික ශක්‍යතා වාර්තාවක් හදලා ඒක ඉදිරිපත් කරලා වැඩ කටයුතු ඉදිරියට කරගෙන ගියා."
"එහෙම කරන් යද්දී මහා විනාශයක් වෙන්න පටන් ගත්තා. ඒ නිසා අපි උද්ඝෝෂණ උත්සන්න කරන්න පටන් ගත්තා. "

ඡායාරූප මූලාශ්‍රය, news.lk
"ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට සංවර්ධන ව්‍යාපෘතියක් නිසා පීඩාවට විනාශයට පත්වෙච්ච ගම්බිම් වෙනුවෙන් සහන සලසන්න කියලා රාජ්‍ය ආයතනයක් පිහිටෙව්වේ මේ උමා ඔය ව්‍යාපෘතියයි."
"බණ්ඩාරවෙල නගරයේ 'උමාඔය සහන ලේකම් කාර්යාලය' කියලා පිහිටුවලා අමාත්‍යාංශ ලේකම්වරයෙක්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස පත් කරලා පිඩාවට පත්වූ ජනතාවට සහන සලසන්න පටන් ගත්තා."
"ඒ කාර්යාලය මාසිකව නිකුත් කරපු වාර්තා අපි සතුව තිබෙනවා. ඒ වාර්තා අනුව මෙ වෙද්දී උමා ඔය ව්‍යාපෘතිය නිසා සම්පුර්ණයෙන්ම හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 13,000ක්."
"දැන් මාස දෙකකටත් උඩදී විදුලි බලාගාරයේ සිට මීටර් 500ක් දුරින් පිහිටි නිවාස 7ක් විනාශ වුණා වැසි තත්ත්වය එක්ක ඇතිවූ නාය යෑම් නිසා."
"මේ ව්‍යාපෘතිය නිසා සම්පුර්ණයෙන්ම නිවෙස් වලින් ඉවත් කරපු පවුල් සංඛ්‍යාව 506ක්. මේ විනාශය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කට බලපෑම් එල්ල කර තිබෙනවා."
"මේ ජනතාවට තමන්ගේ නිවාස, කුඹුරු ගොවි බිම් හානි වුණා වගේම ජන ජීවිතයට විශාල වශයෙන් බලපෑම් එල්ල වුණා."
"අපි සංවර්ධන ක්‍රියාවලිය නිසා මිනිසුන්ට වගේම පරිසරයට වෙලා තිබෙන හානිය ගණනය කරලා නැහැ තවම. ඒ නිසා මේ ව්‍යාපෘතිය හරහා මෙච්චරක් ලාභයි කියලා ගණනය කරලා කියන කතා ගැනත් අපිට අහන්න ලැබෙනවා."
"මේ උමා ඔය ව්‍යාපෘතිය කරන තෙවන විවෘත කිරීම ජනතා මුදල් වියදම් කරලා."
"එක පාරක් ලොකු මහජන මුදලක් වියදම් කරලා උමා ඔය හදලා ඉවරයි කියලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විවෘත කිරීමක් කළා."
"ඒ වගේම රාජක්ෂවරු විවෘත කළා, දැන් අද රනිල් රාජපක්ෂ විවෘත කිරීමක් කරනවා."
"මේ ව්‍යාපෘතියට මුල්ගල තියෙන උත්සවයට කොපමණ මුදලක් වැය වුනාද කියලා එවකට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ඉද්දි වාරි මාර්ග ඇමති චමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරලා ඇහුවම ඔහු කියා සිටියා ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 287ක් ගියා කියලා.මේ හරහා අතයට සිදුවුණු ගණුදෙනු පවා තිබෙනවා."
"මේ ව්‍යාපෘතිය නිසා පරිසරයට සිද්ධ වුණු හානිය තවම අවසන් නැහැ. අනාගතයේ නාය යෑම්, ගිලා බැසීම් වාගේ දේවල් වලට අපේ අනාගත දරු පරපුරට මුහුණ දෙන්න වෙයි."
"කියන්න තියෙන්නේ අධිකරණයට ගිහින් හානියට පත්වුණු ජනතාවට කොහොම හරි වන්දී අරන් දුන්නට පරිසරයට, ගහට කොළට සිද්ධ වුණු හානියට වන්දි අරන් දෙන්න විදිහක් නැහැ කියලා." ඔහු කියා සිටියේය.
ඇමෙරිකානු මෙරීන් භටයින්ගේ හමුදා අභ්‍යාසය
ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ ( අප්‍රේල් මස 21 වෙනිදා) ඇමෙරිකානු නාවික හමුදාවේ මෙරීන් භටයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේ දී ආරම්භ කෙරුණු බවට ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිල වශයෙන් නිවේදනය කරන ලදී.
"අප්‍රේල් 22 සිට 26 වැනි දින දක්වා ත්‍රිකුණාමලයේ දී Cooperation Afloat Readiness and Training (CARAT) Sri Lanka 2024 අභ්‍යාසය" පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.
ඇමෙරිකා එක්සත් ජනපද බලඇණි ත්‍රස්ත මර්දන ආරක්ෂක කණ්ඩායම (FAST), නාවික අංශයේ ආරක්ෂාව සහ ත්‍රස්ත මර්දනය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් දක්වන මැරීන් බලකායේ විශේෂ ඒකකයක් මෙම අභ්‍යාසය සඳහා එක්ව සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Embassy of the United States of America Colombo
ඊබ්‍රාහිම් රයිසි යනු කවුද ?
1960 දෙසැම්බර් 14 වනදා උපත ලබා ඇති ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි එරට ප්‍රතිපත්තිවාදී දේශපාලනඥයෙකි. එමෙන්ම ඔහු මුස්ලිම් නීතිවේදියෙකි.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ අටවැනි ජනාධිපතිවරයා වන්නේ ද ඊබ්‍රාහිම් රයිසි.
ඔහු 2021 මැතිවරණයෙන් ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් පසුව, 2021 අගෝස්තු 3 සිට ඉරානයේ ජනාධිපති ධූරය හොබවනු ලබයි.
ඊබ්‍රහිම් රයිසි 2004–2014 දක්වා ඉරානයේ අධිකරණ පද්ධතියේ නියෝජ්‍ය අගවිනිසුරු ලෙසත්, 2014–2016 දක්වා නීතිපති ලෙසත් සහ 2019–2021 දක්වා අගවිනිසුරු ලෙසත් කටයුතු කර තිබේ.
ඔහු 1980 සහ 1990 ගණන් වලදී ටෙහෙරානයේ නියෝජ්‍ය නීතිපතිවරයා සහ නීතිපති ලෙස ද කටයුතු කර තිබේ.
ඔහු 2006 මැතිවරණයෙන් ප්‍රථම වරට තේරී පත් වූ දකුණු කොරාසන් පළාතේ විද්වතුන්ගේ රැස්වීමේ සාමාජිකයෙකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊබ්‍රහිම් රයිසි 2017 දී ඉස්ලාමීය විප්ලවීය බලකායේ කොන්සර්වේටිව් ජනප්‍රිය පෙරමුණේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර හිටපු ජනාධිපති හසන් රොහානී හමුවේ පරාජයට පත්විය.
එමෙන්ම ඊබ්‍රහිම් රයිසි 1988 දී ඉරානයේ දේශපාලන සිරකරුවන් දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නඩු පවරන කමිටුවේ සිටි සිව් දෙනාගෙන් එක් අයෙක් වේ.
එබැවින් ඔහු "මරණ කමිටුව" ලෙස බටහිර රටවල් විසින් නම් කර ඇත.
13876 විධායක නියෝගයට අනුව ඇමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් ඔහුට සම්බාධක පනවා තිබේ.
එමෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් විසින් ද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර ඇත.
කෙසේවෙතත් ඊබ්‍රහිම් රයිසි 2021 දී දෙවන වරටත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී 62.9% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති හසන් රොහානී පරාජය කර ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.















