ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?
‘සමාජ සම්මුතිය පාලකයා විසින් ඉරා දමනු ලබන්නේ නම්, ජනතාවට විප්ලව කිරීමේ අයිතිය ලැබෙන බව ජෝන් ලෝක් කියන බ්‍රිතාන්‍ය ජාතික සමාජ සම්මුතිවාදී චින්තකයා කියල තියෙනවා. එහෙම වෙන්න කියල මම කියන්නෙ නෑ. ඒත්, දිගින් දිගට ම ඡන්දය කල් දැමීම අනතුරකට අත වැනීමක්,’දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේවයට පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ, ජනාධිපතිවරණය කල් දැමීම සඳහා ක්‍රියාත්මක උත්සහයන් නිරීක්ෂණය කරමිනි.
ඡන්දයක් පැවැත්වීම ප්‍රමාද කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය විවිධ උත්සහයන්වල නිරත වන බව දක්නට ලැබෙන බව දේශපාලන විශ්ලේෂකයෝ බොහෝ දෙනෙක් පෙන්වා දෙති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 15 වැනිදා නියෝග කළේ ය.
මේ අතර, සී.ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙකු ද ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම ද විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 8 වැනිදා තීන්දු කළේ ය.
මෙවැනි විවිධ උත්සහයන් ව්‍යර්ථ වී ඇති පසුබිමක ඡන්දය කල් දැමීම සඳහා තවත් 'තුරුම්පු' ඉතිරි වී තිබේ ද?
ජනමත විචාරණ තුරුම්පුව
ඡන්දය කල් දැමීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කිසිදු ඉඩකඩක් මේ වන විට ඉතිරි වී නැතැයි දේශපාලන විද්‍යා මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි.
එහෙත් ජනාධිපතිවරයා විවිධ උපක්‍රම යොදමින් ඡන්දය කල් දැමීමේ උත්සහයක නිරත වන බව ඔහු ප්‍රකාශ කළේ ය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ දැක්වෙන ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ ව්‍යවස්ථාව පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ ජනමත විචාරණයකට යන්න ඉඩකඩ තියෙනවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට දාන්නෙ ඒ අරමුණ හිතේ තියාගෙන වෙන්න පුළුවන්. ඒ අනුව, ජනමත විචාරණයක් පවත්වමින් ජනාධිපතිවරණය කල් දමා ගැනීමත්, ජනමත විචාරණයෙන් තමන්ට වාසියක් අත්වනු ඇතැයි යන හැඟීමත් නිසා මෙම උත්සහය දරන්න පුළුවන්," මහාචාර්ය ජයදේව උයන්ගොඩ බීබීසී සිංහල වෙත පැවසීය.
කෙසේ වෙතත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එවකට අගමැති පදවිය දැරූ රනිල් වික්‍රමසිංහ එහි ඇතුළත් වගන්තියක් වෙනස් කිරීමට හදිසියේ උත්සහ දැරීම සැකසහිත බව දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දෙයි.
"19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවෙ කවුද? ඒක සම්මත කරවන කතාව කළේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා ම ඒක ගෙනල්ලා සම්මත කරවලා දැන් එතුමා ම කැබිනට්ටුවට දාලා ප්‍රශ්නයක් මතු කරවනවා, අවුරුදු 6, 5 වුණා ද කියලා දැන්. ඉතින් කාට ද විශ්වාස කරන්න පුළුවන් මේක සද් චේතනාවෙන් කරන දෙයක් කියලා. ඒ නිසා අපට සාධාරණ සැකයක් මතු වෙනවා මෙතනට ඡන්දෙට යම්කිසි තිරිංගයක් දමන්න, ඡන්ද ක්‍රියාවලියට අකුල් හෙලන්න කරන මැදිහත් වීමක් කියලා. ඒ නිසා ජනතාව සහ සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඉතා ම සීරුවෙන් සිටිය යුතු යි. මහජන මතය මතු කර ගත යුතු යි සිදු විය හැකි අනතුර වළක්ව ගන්න."
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු පළමුවෙන් ම කළ කතාවේ ම ඡන්දය නිසි කලට නොපවත්වන බවට ප්‍රසිද්ධියේ කියා සිටි බව ද ආචාර්ය දයාන් ජයතිලක ආවර්ජණය කළේ ය.
"මං හිතන්නෙ බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවා, ජනාධිපතිවරණය කලට වේලාවට ව්‍යවස්ථානුකූලව නොපැවැත්වීමේ කතන්දරය පටන් ගත්තෙ කවුද? කවද ද? කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති හැටියට පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කර ගත්තට පස්සේ ප්‍රසිද්ධ සාකච්ඡාවක් කළා. 2022 ඒක රූපවාහිනියේ පෙන්නුවා. එතන රහසක් තිබුණෙ නෑ. ජනාධිපතිතුමා එදා කිව්වේ, ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනාවට පස්සෙ පුළුවන් කියලා ඡන්දයක් ගැන කතා කරන්න කියලා. ඉතින් මේ ඡන්ද කල් දාන උත්සහය ජනාධිපතිතුමාගෙ මිසක වෙන කාගෙවත් නෙවෙයි."
මේ අතර, උපුල් ජයසූරිය, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු 'නීතිඥ සාමූහිකය' නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ ද, ජනමත විචාරණයක් හරහා ජනාධිපතිවරණය කල් දැමීමක් සිදු වනු ඇති බව ය.
'රනිල් ජනාධිපතිවරණයකට බිය බවක් පෙනෙනවා'
මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ඉන් පරාජය වනු ඇති බවට රනිල් වික්‍රමසිංහ ඇතුළු මිත්‍ර පක්ෂ බියකින් පසු වන බව ය.
"ඒ නිසා ඔහු උත්සහ කරනවා ඡන්දය කල් දා ගන්න. දැන් රටේ තියෙන තත්ත්වය අනුව ඡන්දයක් පැවැත්තුවොත් රනිල් ඇතුළු පාර්ශවයට ජයග්‍රහණය කරන්න බැරි බවක් පේනවා."
වසර දෙකකින් ඡන්දය කල් දාන්න යෝජනා කළ එජාපය කඩිනම් ඡන්දයක් ඉල්ලයි
ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි ජූලි 17 වන දා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළේ ය.
එහිදී, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත්, ඉන් ජයග්‍රහණය කරන බවත් ය.
කෙසේ වෙතත්, ඉක්මනින් ඡන්දය පවත්වන්නැයි ඉල්ලීම් කරන අතරේ, ව්‍යවස්ථා සංශෝධන ගෙන එමින් ඡන්දය කල් දැමීමට උත්සහ කරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරක් දීමට මහ ලේකම්වරයා සමත් නොවී ය.
මැතිවරණ කොමිසම කී කතාව
මේ අතර, මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජූලි 16 වන දා පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ජූලි 16 වන දා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරණ පනතේ ඇති කරුණුවලට අනුව දින ලබා දෙන අතර, වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණයට අදාළ කටයුතු සිදු කෙරෙන දිනයන් වෙනස් නොකරන බව ය.
සැප්තැම්බර් 17න් පසුව එලැඹෙන සුදුසු ම දිනය තෝරා ගෙන ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ද සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.
මේ අතර, මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේ, නියමිත දිනට එක දිනයක් හෝ ප්‍රමාද නොකර ඡන්දය පැවැත්වීමට පියවර ගත යුතු බව ය.
නිසි කලට ඡන්ද නොපැවැත්වීමෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාකූල තත්ත්වයකට පත්වනු ඇති බවත්, ඡන්ද නිසි කලට පැවැත්වීම සඳහා ආණ්ඩුව පෙළඹවීමට මහ ජනතාව සහ සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පියවර ගත යුතු බවත් ය.