මීළඟට සඳ මත ඇවිදින්නේ කවුද?

Footprint made by US astronaut Neil Armstrong, first man to set foot on the Moon

ඡායාරූප මූලාශ්‍රය, Getty Image

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව සඳ මතට මිනිසුන් යැවීමේ ගවේෂණයේ ඉදිරියට යමින් සිටී

1969 වසරේදී ඇපලෝ 11 යානය බස් ඕල්ඩ්‍රින් (එඩ්වින් ඕල්ඩ්‍රින්) සහ නීල් ආම්ස්ට්‍රෝං සඳ මතුපිටට රැගෙන ගිය අතර පසුව ඇපලෝ මෙහෙයුම් හරහා තවත් ඇමෙරිකානුවන් 10 දෙනෙකුට 1972 දෙසැම්බර් වන තෙක්, එනම් ඇමෙරිකාව ගගනගාමීන් රැගත් චන්ද්‍ර මෙහෙයුම් නතර කරන තෙක්, සඳ මත ඇවිදීමට හැකි විය.

අඩ සියවසකට වැඩි කාලයක් ගතවීමෙන් පසු දැන් සඳ වෙත ළඟා වීමට නව උනන්දුවක් ඇති වී තිබේ.

අඳුරු පැහැති සමකින් යුත් පුද්ගලයෙකු සහ කාන්තාවක ඇතුළු ගගනගාමීන් නැවත එහි යැවීමට ඇමෙරිකාව සැලැසුම් කරමින් සිටී. ඇමෙරිකාව පමණක් නොව, චීනය සහ ඉන්දියාව ද සඳ වෙත නව මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් කරයි.

මෙවැනි ක්‍රියාදාමයක් සිදු වන්නේ ඇයි? එමෙන් ම, 1960 ගණන්වල පැවති අභ්‍යවකාශ ගවේෂණවලින් මේවා වෙනස් වන්නේ කෙසේ ද?

භූ දේශපාලනය

එවකට ඇමෙරිකාවේ මිනිසුන් රැගත් මෙහෙයුම දියත් කරන ලද්දේ, එවකට සෝවියට් දේශය යූරි ගගාරින් 1961 වසරේදී පෘථිවිය වටා කක්ෂගත කරවීමට ප්‍රතිචාරයක් වශයෙනි.

Neil Armstrong and Buzz Aldrin raise the American Flag on the Moon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1969 දී ප්‍රථම මිනිසුන් සහිත සඳ ගමන ප්‍රබල දේශපාලන ප්‍රකාශයකි

සඳ තරණය කිරීම, ගෝලීය අවධානය ග්‍රහණය කර ගත් දැවැන්ත ජයග්‍රහණයක් සහ බලවත් දේශපාලනික ප්‍රකාශයක් විය.

'අපි මේ පෘථිවියෙන් මිනිසුන් රැගෙන ගොස් සඳ මත තබන්නෙමු,' යනුවෙන් ඔබට කළ හැකි දේ කීමට වඩා ආකර්ෂණීය වනු ඇතැයි පැවසීම ඉතා අපහසු යි," The Moon සහ A History for the Future යන ග්‍රන්ථවල කර්තෘවරයා වන The Economist පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සංස්කාරක ඔලිවර් මෝට්න් පවසයි.

ඊළඟට සඳ මත ඇවිදන්නේ කවුරුන් ද? යන්න භූ දේශපාලනය සහ එහි සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ කැමැත්ත මගින් මෙහෙයවනු ලැබේ. විවිධ රටවල් සහ ඊට සම්බන්ධ පෞද්ගලික සමාගම්වලට පවා විවිධ න්‍යාය පත්‍ර ඇත.

රුසියාව, චීනය, ඉන්දියාව, ජපානය සහ යුරෝපා සංගමය මිනිසුන් රහිත ගවේෂණ යානා හෝ රෝවර් යානා චන්ද්‍ර පෘෂ්ටය මත සාර්ථකව ගොඩබස්වා ඇති නමුත් කිසි දා මිනිසෙකු එහි ගොඩබස්වා නැත.

මේ වන විට තරගය ඇත්තේ, ඇමෙරිකාව සහ චීනය අතර ය.

"ඒක ක්‍රියාත්මක වෙන්නෙ භූ දේශපාලනය මගින් - මිනිසුන් රැගත් සඳ තරණයන් සිදු කරන බව නිවේදනය කර ඇති ඇමෙරිකාව සහ චීනය මිත්‍ර සන්ධාන ගොඩනගා තිබෙනවා. ඔවුන් දෙගොල්ලන් ම ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමග ගිවිසුම්වලට එළඹෙමින් සිටිනවා. ඔවුන් දෙගොල්ලන් ම ඉදිරි අවුරුදු 5 සිට 10 දක්වා කාලය තුළ එහි යාමට උත්සහ දරමින් සිටිනවා," Ars Technica පුවත් අඩවියෙහි ජ්‍යෙෂ්ඨ අභ්‍යවකාශ සංස්කාරක එරික් බර්ගර් පවසයි.

සම්පත්

සඳ මත ගොඩබැස්වූ පළමු මෙහෙයුම සිදු කළේ, එය තරණය කිරීමේ අරමුණින් මිස, පර්යේෂණ සිදු කිරීමේ අරමුණින් නොවේ.

Vikram lander and Pragyan rover on lunar surface a diorama by Indian space agency

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සල්ෆර් සහ ඇලුමිනියම් වැනි ලෝහ පවතින බව ඉන්දියාවේ චන්ද්‍ර ගවේෂණයෙන් තහවුරු වී ඇත

දැන් එය සඳ තරණය කිරීම පමණක් නොව, මිනිසුන්ට එහි රැඳී සිටීමට සහ එහි ඇති දේවලින් ප්‍රයෝජන ගැනීමට ඉඩ සලසන තාක්‍ෂණය දියුණු කිරීම පිළිබඳ ප්‍රශ්නයකි.

"මිනිසුන් කියන්නේ පෘථිවියේ ඇති වූ ජීවීන්... එය ව්‍යාප්ත කරලා අඟහරු ග්‍රහයා මත ජනපද ඇති කිරීමට, සඳ මත ජනපද ඇති කිරීමට, අභ්‍යවකාශයේ කෘත්‍රිමව නිර්මාණය කරන ලද ජනාවාසවල ජනපද ඇති කිරීමට ඇතැමුන් බලාපොරොත්තු වෙනවා," එක්සත් රාජධානියේ නෝර්තම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ නීතිය සහ ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටෝපර් නිව්මන් පවසයි.

මානව වර්ගයා වඳ වී යාමෙන් බේරීමට හැකි වනු ඇති බව සහතික කිරීම සඳහා පෘථිවියෙන් ඔබ්බට ජනපද ඇති කිරීම ඇතැමුන්ගේ අභිලාෂය වී ඇතැයි ඔහු පවසයි.

නැවතුම් පොළ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සඳ තරණය කිරීමට සැලසුම් කළ ඇමෙරිකානු මෙහෙයුම මේ වන විට තවත් ඔබ්බට යාමට නියමිත ය.

"ආපහු පෘථිවියට එන එක නෙවෙයි අදහස, ඇත්ත වශයෙන් ම එහේ යම් පදනමක් දමා ගැනීම යි. ඒ අනුව, සඳ කියන්නේ අඟහරු ග්‍රහයා වෙත යන ගමනේ නැවතුම් පොළක් බවට පත් වේවි," ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ගෝලීය කළමනාකරණය පිළිබඳ තන්ඩර්බර්ඩ් විද්‍යායතනයේ මහාචාර්ය නම්රතා ගෝස්වාමි පැහැදිලි කරයි.

සඳ මත ගුරුත්වාකර්ෂණය අඩු බැවින්, පෘථිවියේ සිට පියාසර කරනවාට වඩා අඩු ඉන්ධන ප්‍රමාණයකින් රොකට්ටුවක් සඳ මත සිට යැවිය හැකි වනු ඇත. එබැවින්, අදාළ රටවල් එය උපායමාර්ගික සම්පතක් ලෙස දකින බව ඇය වැඩිදුරටත් පවසයි.

තව ද, චන්ද්‍රයාගේ ඇතැම් ප්‍රදේශ නිරන්තරයෙන් ම පාහේ සූර්යාලෝකයට නිරාවරණය වන බැවින් සූර්ය බලය උත්පාදනය කිරීමේ හැකියාව ද පවතී. එහි අදහස වන්නේ, පහළ පෘථිවි කක්ෂයේ ඇති විශාල චන්ද්‍රිකා හරහා එම ශක්තිය පෘථිවියට මාරු කර මයික්‍රෝවේව් හරහා නැවත පෘථිවියට යොමු කිරීම ය.

පහළ පෘථිවි කක්ෂය (LEO) සැතපුම් 1,200 (කිලෝමීටර් 2,000) හෝ ඊට අඩු උන්නතාංශයක් සහිත පෘථිවි කක්ෂය ආවරණය කරන බව නාසා ආයතනය පවසයි.

South Pole of the Moon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චන්ද්‍ර ගවේෂණ දැන් අවධානය යොමු කරන්නේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත වන අතර එහිදී ජල අයිස් සොයා ගැනීම සඳහා ගවේෂණය සිදු කෙරේ

ඉන්දියාවේ සඳ මෙහෙයුම් මගින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ සල්ෆර්, ඇලුමිනියම් සහ තවත් මූලද්‍රව්‍ය පවතින බව තහවුරු කර තිබේ. මේ වන විට අවධානය යොමු වී ඇත්තේ, ජීවයට පෝෂණයක් විය හැකි තවත් ප්‍රධාන මූලද්‍රව්‍ය සොයා ගැනීම ය.

"මිනිස් ජනාවාසයක් පවත්වා ගැනීමට අවශ්‍ය නම් අයිස් ජලය ඉතා වැදගත් වෙනවා. ඒ, අයිස් ජලය ඔක්සිජන් බවට පත් කළ හැකි නිස යි," මහාචාර්ය ගෝස්වාමි පැහැදිලි කරයි.

පළමු වරට සඳ තරණය කිරීමේ ප්‍රීතියෙන් පසු, 1960 ගණන්වල අගභාගයේදී තරු වෙත ළඟා වීම පිළිබඳ කතාබහ පවා ඇති විය. එහෙත්, එය ඉක්මනින් සිදු නොවනු ඇත.

"අඩු ගුරුත්වාකර්ෂණ බලයක් ඇති පහළ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට මිනිසුන්ට ස්පර්ශ කළ හැකි ගමනාන්තය ඒකයි. ඒ නිසා, සාපේක්ෂ වශයෙන් ඒක ලබා ගැනීම පහසු යි. ඒක ගොඩක් සමීප යි. සඳ වෙතට යන්න දවස් තුනක් ගත වෙනවා. මිනිසුන් අඟහරු වෙත ගෙනියන්න මාස හසේ සිත අට දක්වා කාලයක් ගත වෙනවා. ඒ නිසා ඒක සැබවින් ම ආධාරකයක්," බර්ගර් පවසයි.

The SpaceX Starship rocket stands on the launchpad in Boca Chica as seen from South Padre Island, Texas on April 17, 2023

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංවර්ධනය කරමින් පවතින ස්ටාර්ෂිප් රොකට්ටුව මෙතෙක් නිපදවා ඇති විශාලතම රොකට්ටුව වේ

සඳ තරණය කිරීම සැලකිය යුතු තාක්ෂණික බාධා ජය ගැනීමකි.

පළමුවෙන් ම, ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යාමට සහ ඔවුන් විකිරණවලින් ආරක්ෂා කර ගැනීමට බලවත් රොකට්ටුවක් අවශ්‍ය වේ.

ඉන්පසු, ඊළඟ අභියෝගය වන්නේ, චන්ද්‍ර පෘෂ්ටය මත සාර්ථකව ගොඩබැසීම ය. පසුව, ගගනගාමීන් ආපසු පැමිණිය යුතු ය. තාක්ෂණික දෝෂයක් ඇති වුවහොත්, ඔවුන්ට කිසිදු බාහිර උපකාරයක් හෝ මෙහෙයුම නතර කිරීමට විකල්පයක් නොමැත.

චන්ද්‍රයාගේ සිට අභ්‍යවකාශ යානයක සිටින ගගනගාමීන් තත්පරයට කිලෝමීටර් ගණනක අධික වේගයෙන් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වනු ඇත.

ඊට හේතුව ඔවුන් පහළ පෘථිවි කක්ෂයේ සිට ආපසු පැමිණෙන විට සඳේ සිට ආපසු එන වේගය වැඩි කරන නිසා බව බර්ගර් මහතා පැහැදිලි කරයි.

විවිධ රටවල් සඳ තරණය කළ පසු එම රටවලට අයත් උපකරණවලට කුමක් සිදුවේ ද? යන්න ද ප්‍රධාන ප්‍රශ්නයකි.

1967 වසරේදී ස්ථාපනය කරන ලද පිටත අභ්‍යවකාශ ගිවිසුම (The Outer Space Treaty) මගින් කිසිදු රටකට අභ්‍යවකාශයේ ස්වෛරීත්වයට හිමිකම් කිව නොහැකි බව සහතික කරන නමුත් යථාර්ථය වෙනස් විය හැකි ය.

"සඳ මත ගොඩබෑමේ සහ සාම්පල ලබා ගැනීමේ හැකියාව ඇති රටවලට පමණක් පළමු පියවරේ වාසිය හිමි වනවා. ඒ නිසා හඳේ සම්පත් බෙදා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව නීතිමය රෙගුලාසි අපට නැහැ," මහාචාර්ය ගෝස්වාමි පවසයි.

නව අභ්‍යවකාශ තරගය

චීනය, 2030 වන විට සඳ මත ස්ථිර කඳවුරක් ගොඩනැගීමට සැලසුම් කරමින් සිටින අතර නියමිත කාල සීමාවන්ට සමීප වී සිටියි. 2028 වසර වන විට චන්ද්‍ර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක යානා නතර කළ හැකි වනු අතැයි ඇමෙරිකාව අපේක්ෂා කරයි. එහෙත්, එම වැඩසටහන දැනටමත් පසුගාමී තත්ත්වයක පවතී.

ඇමෙරිකාවේ සාර්ථකත්වය බොහෝදුරට රඳා පවතින්නේ, ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් සහ ඔහුගේ ගවේෂණ සමාගම වන SpaceX ආයතනය සංවර්ධනය කරමින් සිටින ස්ටාර්ෂිප් රොකට්ටුව ලබා දීමට ඇති හැකියාව මත ය.

A Long March-5 Y8 carrier rocket carrying the Chang'e-6 lunar probe blasts off from the Wenchang Space Launch Center on May 3, 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල ශීඝ්‍ර දියුණුවක් අත්කර ගනිමින් සිටින අතර මෑතකදී මිනිසුන් රහිත ගවේෂණයක් සඳ වෙත දියත් කර ඇත

මිනිසුන් රැගත් සිය පළමු අභ්‍යවකාශ යානය ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සැලසුම් කරයි. වසර 2035 වන විට එහි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඉන්දියාව අපේක්ෂා කරන අතර, 2040 වසර වන විට ගගනගාමියෙකු සඳ මතට යැවීමට ද සැලසුම් කර තිබේ.

"චීන අභ්‍යවකාශ වැඩසටහනේ අතිශය සිත්ගන්නාසුලු කාරණයක් තමයි, නියමිත කාල සීමාවන් සපුරාලීමට ඔවුන්ට ඇති හැකියාව යි. අභ්‍යවකාශ පර්යේෂණ භාවිතාව සහ ස්ථීර කඳවුරු සංවර්ධනය යන අවසාන අරමුණු ඇතිව 21 වන සියවසේ සඳ මතට ගොඩ බැසීමට හැකි පළමු ජාතිය චීනය වනු ඇතැයි මම කැට තබා කියනවා," මහාචාර්ය ගෝස්වාමි සිය පැහැදිලි කිරීම අවසන් කළා ය.

(මෙම ලිපිය බීබීසී ලෝක සේවයේ The Inquiry නමැති ගුවන් විදුලි වැඩසටහන පාදක කරගෙන සකස් කරන ලදී)