ඇමෙරිකානුවන් සඳ ගමනේදී තෙවරක් ම රුසියානුවන්ට පැරදුණ ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
(බීබීසී ප්‍රවෘත්ති හි ෆර්නැන්ඩෝ දුවර්ටේ සැකසූ වාර්තාවක් ඇසුරිණි)
1959 සැප්තැම්බර් 15 වෙනිදා සෝවියට් සංගමයේ නායක නිකිතා කෘෂෙෆ් වොෂිංටන් නුවරට පාතැබුවේ එක්සත් ජනපදය තුළ ඓතිහාසික චාරිකාවක් අරඹමිනි.
මේ චාරිකාවේ දී ධවල මන්දිරයට පැමිණි කෘෂෙෆ්, සෝවියට් ලාංඡනය සළකුණු කරන ලද ගෝලාකාර වස්තුවක් ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපතිවරයාට පිළිගැන්වීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එය සංකේතාත්මක කෙලිබඩුවක් වන් තෑග්ගකි. මේ ගෝලය වූයේ, ඉන් හරියටම දිනකට කළින් චන්ද්‍ර පෘෂ්ඨයට ළඟාවූ පළමු අභ්‍යවකාශ යානය බවට පත් ලූනා 2 යානයේ යැවූ ගෝලයේ පිටපතකි.
ඉන් අනතුරුව, ඇමෙරිකානු ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය (Nasa) ඇපලෝ 11 යානයෙන් මිනිසා සඳ මතට යැවීමට පෙර අවස්ථා දෙකකදී, රුසියාව සඳ ගමන් සම්බන්ධයෙන් දෙවතාවකදී ඇමෙරිකාව පැරදවීය.
වර්ධනය වෙමින් ආ අභ්‍යවකාශ තරගය
1957 දී ස්පුට්නික් නම්වූ කෘත්‍රිම චන්ද්‍රිකාව දියත් කරමින් ඇරඹු අභ්‍යවකාශ තරගය තුළ සෝවියට් දේශය සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කළේ පළමුව සඳට ළඟා වීමෙනි.

ඡායාරූප මූලාශ්‍රය, NASA
ඉන් අනතුරුව 1966 පබරවාරි මාසයේදී ලූනා 9 යානය පාලනයකින් යුතුව සඳ මත පළමුවරට ගොඩ බෑමෙන් මොස්කව් පාලනය ජයග්‍රහණයක් අත් කර ගත් අතර එහිදී පළමුවරට සඳ පෘෂ්ඨයේ ඡායාරූපයක් ද හසුකර ගැනිණි.
මාස දෙකකින් පසු ලූනා 10 යානය තැබූ වැදගත් පියවර වූයේ තැබුවේ චන්ද්‍රයාගේ කක්ෂය වටා ගිය පළමු යානය බවට පත් වීමය. සඳේ භූ ලක්ෂණ අධ්‍යයනය කිරීමට එය උපකාරී වූ නමුත් එය අභ්‍යවකාශ තරගයේ මුල් වකවානුව වූ බැවින් දෙපසේම විද්‍යාඥයන්ගේ නිගමනය වූයේ, සෘජුව සඳට ඇතුළුවනවාට වඩා, ලූනා මොඩියුලයක් ද සමගින් "වක්‍ර ගුවන් ගමනක" යෙදීම වඩා පහසු විය හැකි බවය.
නාසා ඉංජිනේරුවකු වූ ජෝන් හවුබෝල්ට් 1961 දී කළ යෝජනාවෙන් ඉදිරිපත් කෙරුණේ චන්ද්‍ර කක්ෂගත ගිවිසි හමුව (LOR - Lunar orbit Rendezvous) නම් ප්‍රවේශය ය. ඉන් පැහැදිලි කෙරුණේ මව් යානය චන්ද්‍රයා වටා භ්‍රමණය වෙද්දී ඉන් කුඩා යානයක් නික්මී සඳ මතුපිට ගොඩ බැස්වීම වේ.

ඡායාරූප මූලාශ්‍රය, NASA
මේ මගින් කාලයත්, ඉන්ධනත් ඉතිරිවන බව හවුබෝල්ට් ගේ යෝජනාව විණි. එසේම සංවර්ධනය, පරීක්ෂාව, නිපැයීම, නැංවීම, අවරෝහණ ගණනය හා ගුවන් ගමන් මෙහෙයවීම් වැනි අභ්‍යවකාශ ගමනේ විවිධ අදියර වඩා සරල කෙරෙන බව ඔහු පෙන්වා දුන්නේය.
ඇමෙරිකානුවන් සඳට ළං වූ ආකාරයයි ඒ. එහෙත් 1966 දී රුසියානුවන් සඳට වඩ වඩාත් සමීප වූවා මෙන්ම පෘථිවියේ ස්වභාවික උපග්‍රහයා ජයගන්නට ළං වූ බවක් පෙනෙන්නට විය.

ඡායාරූප මූලාශ්‍රය, NASA
ලූනා 2
ගෝලාකාර අභ්‍යවකාශ යානය 1959 සැප්තැම්බර් 12 දා දියත් කෙරිණි.
සිය අභ්‍යවකාශ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය රහස්‍යබව අතරේ සෝවියට් බලධාරීහු අසාමාන්‍ය පියවරක් ගත්හ. එනම්, ප්‍රකට බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයකු වූ බර්නාඩ් ලොවෙල් අතට යානයේ ගමන් පථය ඇතුළුව සිය ගුවන් ගමනේ වැදගත් තොරතුරු පත් කිරීමය.
මුලදී මේ ජයග්‍රහණ ගැන සැක පළකළ ඇමෙරිකානුවන් ඇතුළු බාහිර ලෝකයේ නිරීක්ෂකයින් වෙත ගුවන් මෙහෙයුමේ සාර්ථකත්වය තහවුරු කරන ලද්දේ ලොවෙල් විසිනි.
1959 සැප්තැම්බර් 14 වෙනිදා මධ්‍යම රාත්‍රී (මොස්කව් වේලාවෙන්) ලූනා 2 සඳ මතුපිට හා ගැටුණු වේගය පැයට කිලෝමීටර 12,000 ක් පමණ විය. ඒ අනුව යානය හෝ එහි වූ භාණ්ඩ කිසිවක් හෝ ඉතිරි වී යැයි සිතීම අපහසුය.

ඡායාරූප මූලාශ්‍රය, Kansas Cosmosphere
එහෙත් මේ මෙහෙයුම, නිරවි යුද සමයේ පුරසාරම් දෙඩීමේ ව්‍යායාමයකින් ඔබ්බට ගිය එකකි.
ලූනා 2 ක්‍රියාත්මක කළේ විද්‍යාත්මක පර්යේෂණයකි. එහිදී සඳෙහි සැලකුය යුතු චුම්බක ක්ෂේත්‍රයක් නොවන බව මෙන්ම විකිරණ තීරවලින් යුතු බවට සාක්ෂියක් නැතැයි ඉන් තහවුරු කළේය.
"උදාහරණයක් හැටියට සඳේ භූවිද්‍යාත්මක බව වැනි දේ සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට එය වැදගත් ඉඟි විද්‍යාඥයන්ට සැපයුවා" යැයි එක්සත් රාජධානි අභ්‍යවකාශ ඒජන්සියේ මානව ගවේෂණ වැඩසටහන් කළමනාකරු මෙන්ම භෞතික විද්‍යාඥයකු ද වන ලිබී ජැක්සන් බීබීසී සමග පැවසීය.
ලූනා 9
වසර හතක ඇවෑමෙන් දියත් කෙරුණු ලූනා 9 සැබවින් ම ඇපලෝ වැඩසටහනට සහය විණි.
එය සඳ මත ගොඩබෑමට පෙර සෝවියට් මෙන්ම ඇමෙරිකානු විද්‍යාඥයන් ද කල්පනා කරන්නට යෙදුණේ, චන්ද්‍රයාගේ පෘෂ්ඨය අභ්‍යවකාශ යානයක් ගොඩ බෑමට අසීරු තරමේ මෘදු වුවක් විය හැකි බවය. දුහුවිල්ලෙන් පිරුණු 'මරවැල්ල' වැනි යමකින් සඳේ මතුපිට වැසී ගොස් තිබිය හැකි බැවින් එහි ගොඩබාන ඕනෑම දෙයක් ගිලී යා හැකි බවට බිය පළවී තිබිණි.
සඳේ මතුපිට දෘඩ යැයි සෝවියට් යානයෙන් පෙන්වූ කළ එය ඉතා සුවිශේෂී තොරතුරක් විය.
"ඒක ඇත්තෙන්ම සැබෑ සුවිශේෂී සන්ධිස්ථානයක් වගේම අනාගත මෙහෙයුම්වලට උදව්වක් වුණා" ජැක්සන් සඳහන් කළේය.
ලූනා 10
සෝවියට්වරුන්ට මෙය ඇමෙරිකානුවන් අභිබවන ප්‍රචාරණ ජයග්‍රහණයක් ද විණි.
"අපි මතක තබාගන්නට ඕන, අභ්‍යවකාශ තරගය ඉදිරියට ගෙන ගියේ භූදේශපාලනය බව" භෞතික විද්‍යාඥයා තවත් යමක් එක් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, NASA
ලූනා 10 ගත්විට, සඳේ පාංශු සංයුතිය මෙන්ම ක්ෂුද්‍ර උල්කාෂ්ම (micrometeoroids) සම්බන්ධයෙන්ද වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමට ඊට හැකි විය. ක්ෂුද්‍ර උල්කාෂ්ම යනු ඉතා දැඩි වේගයකින් අභ්‍යවකාශය හරහා ඇදී යන කුඩා පාෂාණ කැබැලි වන අතර ඒවා අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම සඳ මතුපිටදී අජටාකාශගාමීන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් එල්ල කරනු ඇත. එනම් වාතාවරණයක් නොමැති තත්ත්වයක් තුළ ඉතා කුඩා පාෂාණ කැබැලි බාධාවකින් තොරව පතිතවන අතර එය පෘථිවියේදීට වඩා අනතුරුදායක ය.
"1961 දී පළමුවරට මිනිසෙකු අභ්‍යවකාශයට යැවීම වගේම 1965 දී පළමු වරට අභ්‍යවකාශයේ අවිදීම ද ඇතුළු මේ අභ්‍යවකාශ ගමන් මාලාවට ස්තුතිවෙන්න තමන්ට අභ්‍යවකාශ තරගය දිනිය හැකි බව සෝවියට්වරු හිතුවා." යැයි පර්යේෂණ, මහජන සබඳතා හා අභ්‍යවකාශ ගවේෂණය සඳහාවූ දේශපාලනික උපදේශකත්ව යනාදියෙහි නියුතු ඇමෙරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් වන ග්‍රහ තාරකා සංගමය (Planetary Society) සමඟ පසුගිය ජුනි මස සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ප්‍රමුඛ පෙළේ අභ්‍යවකාශ ඉතිහාසඥයකු වන අසිෆ් සිද්දිකි පැවසීය.
"සඳ මත ගොඩබෑම පසෙකට ඇදීමට ඇමෙරිකානුවන්ට හැකිවේ යැයි ඔවුන් කවදාවත් හිතුවේ නැහැ" ඔහු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෙසේනමුත්, 1968 දී ඇමෙරිකානුවන් තීරණාත්මක පියවරක් ගත්තේ, ඇපොලෝ 8 මෙහෙයුමත් සමගිනි. මිනිසුන් සහිත යානයක් සඳ වෙත යවා, එහි කක්ෂය වටා භ්‍රමණය කර සුරක්ෂිතව යළි ගෙන්වා ගැනීමට ඔවුහු සමත් වූහ.
ඉනුත් වසරකට අඩු කාලයකදී, ඇපොලෝ 11 යානය සඳ මතුපිට ගොඩ බැසීය.
කිහිප ආකාරයකින් "පළමුවැනියා" වීමේ ජය ඇමෙරිකානුවන් සතුවෙද්දී, ඇපොලෝ 8 වෙනුවෙන් සෝවියට්වරුන් සතුව පිළිතුරක් නොවිණි. ඒ ඇයි?
"කොතනින්ද මං පටන්ගන්නට ඕනෑ? ප්‍රමාණවත් විද්‍යාත්මක හා තාක්ෂණික පදනමක්, ප්‍රමාණවත් ආර්ථික පදනමක් නොතිබුණා වගේම එහි තිබුණේ දුර්වල සංවිධානාත්මක ව්‍යුහයක්" හිටපු නාසා ඉතිහාසඥයකු වන රොජර් ලවුනියස් බීබීසී සමග පැවසීය.
ඉතා සංක්ෂිප්තව පැවසුවහොත්, යානා සඳ වෙත යැවීමේදී සෝවියට් වැඩසටහන කැපී පෙනුනත්, මිනිසුන් සමග එය ඉදිරියට ගෙන යාමට තරම් කෙදිනකවත් සංවර්ධනය නොකෙරිණි.
ඒ සියල්ලටම වඩා, මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා සඳ කරා ම ගෙන යාමට තරම් වූ බලසම්පන්න රොකට්ටු මොස්කව් පාලනය සතු නොවීය.
මිනිසුන් සහිතව දියත් කළ තමන්ගේ සෑම සඳ ගමනක් සඳහාම සාර්ථකව උපයෝගී කරගත් බලවත් සැටර්න් 5 (Saturn V) ඇමෙරිකාව සතු විණි. ඒ සමාන එන් 1 (N1) සෝවියට් රුසියාව සතු වුවත් පරීක්ෂණ ගමන් හතරේදීම එය අසාර්ථක විය.
ඒ හැමෙකකටම වඩා, සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන බිදවැටීමට හේතුව ලෙස විශේෂඥයන් පෙන්වා දුන්නේ අසංවිධිත කළමනාකරණ පද්ධතිය ය. ඇමෙරිකානුවන් ක්‍රියාවට නැගූ මධ්‍යගත ඉහළ සිට පහළට යන ව්‍යුහයකට වඩා එහි වුයේ නිලධාරීවාදය හා බල අරගලයකි.
දේශපාලනික අරගල
චන්ද්‍ර කක්ෂගත ගිවිසි හමුව (LOR - Lunar Orbit Rendezvous) සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සංකීර්ණ වූ, අභ්‍යවකාශය තුළ දී අතින් කෙරෙන තටාකගත කිරීමේ හැසිරවීමක් අවශ්‍ය බව අභ්‍යවකාශ ගමන් තරගයේ තරමක් මුල් අවස්ථාවේදී පමණ ඇමෙරිකානුවන් මෙන්ම සෝවියට්වරුන් යන දෙපාර්ශවයම දැන සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, NASA
1966 වනවිට එම හැසිරවීම් සාර්ථකව සම්පූර්ණ කිරීමට ඇමෙරිකානුවන් සමත්වෙද්දී 1969 ජනවාරියට පෙර ඊට ළඟාවීමට රුසියානුවන්ට නොහැකි විය.
එසේම, සෝවියට් වැඩසටහන එරට කොමියුනිස්ට් නායකත්වය සමග නිරන්තර අරගලයක යෙදුනු අතර රටේ න්‍යෂ්ටික වැඩසටහනේ කොටසක් වශයෙන් ප්‍රමුඛතාව හිමිව තිබූ අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිල සංවර්ධනය කිරීමේ යෙදුනු හමුදාව සමග සම්පත් අරභයා තරගකාරීත්වයක නියැලිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අවිනිශ්චිත ඉදිරියක්
"ඇපොලෝ වෙත අභියෝගයක්: සෝවියට් සංගමය සහ අභ්‍යවකාශ ගමන් තරගය, 1945-1974" නම් වූ සිය ග්‍රන්ථය තුළ අසිෆ් සිද්දිකි පැහැදිලි කරන්නේ, ඇමෙරිකානුවන් සඳ මත ගොඩ බැස වසර කිහිපයකින් අනතුරුව, එවැන්නක් සඳහා සෝවියට්වරුන් බරපතල සැලකිල්ලකින් යුතුව සිය සැලසුම් ආරම්භ කළ බවකි.
"සෝවියට් අභ්‍යවකාශ වැඩපිළිවෙල වටා රහස් රැසක් ම තිබුණා. ඒ නිසයි පළමු අභ්‍යවකාශ ඇවිදීම වගේ දේ විමතිය දන්වන සුළු වුණේ" ඔහු කීය.
"යථාර්ථය තුළ අපි දැක්කේ එකකින් එකකට අවිනිශ්චිතතාවක් ඇති හදිසියේම මතුවන වැඩසටහනක්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෙරදී සෝවියට් නිලතල දැරූ ඇතැමුන් අතරද මේ අදහස පැවතිණි.
"සෝවියට් අභ්‍යවකාශ වැඩසටහන ගැන කතා කරද්දී, එය මධ්‍යගත වුවක් යැයි බටහිර වැරදි ලෙස වටහාගෙන තිබුණා. යථාර්ථය වුනේ, අවධානය යමු වූ එක් ඇපොලෝ වැඩසටහනක් සහිත වූ එක්සත් ජනපදයට වඩා විමධ්‍යගත වූ දෙයක්" යැයි හිටපු සෝවියට් නායක කෘෂෙෆ් ගේ පුත්‍රයා මෙන්ම අභ්‍යවකාශ තරගය සමයේ ගගන ඉංජිනේරුවකු වූ සෙර්ගෙයි කෘෂෙෆ් සයන්ටිෆික් ඇමෙරිකන් (Scientific American) සඟරාවට පැවසීය.
"සෝවියට් සංගමය තුළ, එකිනෙකා සමග තරග කළ විවිධ නිර්මාණකරුවන් සිටියා."
මොස්කව් අභ්‍යවකාශ වැඩසටහන පසුපස සිටි ප්‍රධාන බලවේගය වූ ඉංජිනේරු සෙර්ගෙයි කොරොලෙෆ් 1966 ජනවාරි මාසයේදී හදිසියේ මියයාමෙන් වුයේ තත්ත්වය තවත් නරක අතට හැරීමය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උන්නත් දාහයි-මළත් දාහයි උත්සාහය
මිනිසකු සඳ මතට යැවීමේ තරගයෙන් පැරදීම අවබෝධ කරගෙන තිබියදීත්, පෙරලියක් ඇතිකරමින් අවධානය දිනා ගැනීමේ අටියෙන් සෝවියට්වරු අවසන් උපක්‍රමයත් යත්න දැරූහ. ඒ, ඇපොලෝ 11ට පෙර සඳට යානයක් යවා එහි පස් රැගෙන යළි පැමිණීමය.
ඇපොලෝ 11 දියත් කිරීමට දින තුනකට පෙර එනම්, 1969 ජූලි 13 වෙනිදා ලූනා 15 යානය අභ්‍යවකාශයට යැවිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දින හතරකට පසු එය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු විය. ඇපලෝ 11 යානයට වඩා පැය 72 ට කළින් එහි ගමන අවසන් වුයේ සඳ මතුපිටට කඩා වැටීමෙනි. ආම්ස්ට්‍රෝං හා ඔල්ඩ්‍රින් යළි පෘථිවිය කරා එනු පිණිස සුදානම් වූ ස්ථානයට සැතපුම් සිය ගණනක් ඔබ්බෙන් එය කඩා වැටී තිබිණි.
"අපි හිතුවේ අපි 'ග්‍රහලෝකයේ හැම දෙනාටම ඉදිරියෙන්' අපි සිටියා කියායි. ඒ වගේම මිනිසුන් සඳ මතුපිටට යැවීමේදීත් අපි එක්සත් ජනපදය පසු කරාවි යැයි හිතුවා. නමුත් අරමුණු කියන්නේ එක දෙයක්, අවස්ථා කියන්නේ තවත් දෙයක්." සෙර්ගෙයි කොරොලෙෆ් ට පසු සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනට පත් කළ තැනැත්තා වූ වසිලි මිෂින් එසේ පැවසුවේ 1999 දී පීබීඑස් නම්වූ ඇමෙරිකානු රූපවාහිනී ජාලය අමතමිනි.








