රක්ෂණ සමාගම් ප්‍රධානියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු ලුයීජි මැන්ජියෝනේ යනු කවුද?

Image taken from social media appears to show Luigi Mangione

ඡායාරූප මූලාශ්‍රය, Instagram

    • Author, මැඩලින් හැල්පර්ට් සහ මයික් වෙන්ඩින්ග්
    • Role, බීබීසී පුවත්

පසුගිය සතියේ නිව් යෝර්ක් නගරයේදී යුනයිටඩ් හෙල්ත්කෙයාර්හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා ලැබ සිටින 26 හැවිරිදි පුද්ගලයා ගැන තොරතුරු මේ වන විට වාර්තා වෙමින් තිබේ.

පෙන්සිල්වේනියාවේ ඇල්ටූනාහි මැක්ඩොනල්ඩ්ස් ශාඛවක සිටියදී හඳුනා ගැනීමෙන් පසු ලුයීජි මැන්ජියෝනේ (Luigi Mangione) නමැති එම සැකකරු ගිනිඅවි චෝදනා මත අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳුදා (දෙසැම්බර් 9) නිවේදනය කළේ ය.

බොල්ටිමෝර්, මේරිලන්ඩ්හි පදිංචිකරුවෙකු වන ඔහු සතුව නිශ්චිත තොරතුරු අනාවරණය කර ගත නොහැකි ගිනි අවියක් සහ එක්සත් ජනපද සෞඛ්‍ය සේවා පද්ධතිය ගැන ඔහු තුළ ඇති කනස්සල්ල ගැන සඳහන් කර ඇති පිටු තුනක් පුරා අතින් ලියන ලද ලියවිල්ලක් තිබී ඇති අතර එය ඔහුගේ "පෙළඹවීම සහ මානසිකත්වය" පෙන්නුම් කළ බව නිලධාරීහු පැවසූහ.

මැන්ජියෝනේ අත්අඩංගුවට ගැනීමෙන් පැය කිහිපයකට පසු, නිව් යෝර්ක් විමර්ශකයින් විසින් ඔහුට එරෙහිව මිනීමැරුම් සහ තවත් චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා කෙරිණි.

ලුයීජි මැන්ජියෝනේ යනු කවුද?

නිව් යෝර්ක් රහස් පරීක්ෂක ප්‍රධානී ජෝසෆ් කෙනීට අනුව, මැන්ජියෝනේ ඉපදී හැදී වැඩුණේ මේරිලන්ඩ්හි වන අතර ඔහුට කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රදේශය සමග සබඳතා පවතී.

ඔහු නිව් යෝර්ක්හිදී සහ ඔහුගේ අවසන් ලිපිනය වූ හවායිහි හොනොලුලුහිදී මීට පෙර අත්අඩංගුවට පත්ව නොමැති බව පොලිසිය පැවසීය.

ඔහු ගිල්මන් පාසල නමින් හැඳින්වෙන බොල්ටිමෝර්හි පිරිමි ළමයින් සඳහා වෙන් වූ පෞද්ගලික පාසලක, පාසල් බලධාරීන් පවසන පරිදි, අධ්‍යාපනය හදාරා තිබේ. සාමාන්‍යයෙන් පන්තියක ඉහළ ම අධ්‍යයන ජයග්‍රහණ ලබා ගන්නා ශිෂ්‍යයා හඳුන්වන නාමය වන 'valedictorian' ලෙස මැන්ජියෝනේට හඳුන්වා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පාසල මෙය හැඳින්වූයේ "අතිශය කණගාටුදායක සිදුවීමක්" ලෙස ය.

ඔහුගේ පාසලේ මිතුරෙකු වන ෆ්‍රෙඩී ලෙදර්බරි ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ, මැන්ජියෝනේ එම පෞද්ගලික පාසලට ඇතුළත් වීමට තරම් ධනවත් පවුලකින් පැමිණි බව ය.

"අවංකව ම කිව්වොත්, එයාට අවශ්‍ය හැම දේ ම තිබුණා," ලෙදර්බරි පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ලුයීජි මැන්ජියෝනේ පෙන්සිල්වේනියා අධිකරණය වෙත රැගෙන එන අයුරු
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහු පැවත එන්නේ බොල්ටිමෝර් ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පවුලකිනි. ඔවුන් සතු ව්‍යාපාර අතරට ගොල්ෆ්, ටෙනිස් වැනි ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන 'country club' එකක් සහ සාත්තු නිවාස ඇතුළත් බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.

සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර මද වේලාවකට පසු, ඔහුගේ ඥාති සොහොයුරෙකු යැයි විශ්වාස කෙරෙන රිපබ්ලිකන් ප්‍රාන්ත නීති සම්පාදක නිනෝ මැන්ජියෝනේ- ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිය පවුල මෙම සිදුවීමෙන් "කම්පනයට පත්ව ඇති" බව ය.

"මැන්ජියෝනේ පවුල" යන නමිත් නිකුත් කර තිබුණු එම ප්‍රකාශයේ සඳහන් කර තිබුණේ, "අපි බ්‍රයන් තොම්සන්ගේ පවුලටත් මේ සිද්ධියෙන් අගතියට පත් වුණු අනෙක් පුද්ගලයින්ටත් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා," යනුවෙනි.

මැන්ජියෝනේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. විශ්වවිද්‍යාලයට අනුව, එහිදී ඔහු පරිගණක විද්‍යාව පිළිබඳ මූලික උපාධියක් සහ පශ්චාත් උපාධියක් ලබා ගෙන ඇති අතර වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරන සමාජයක් ද ආරම්භ කර තිබේ.

මැන්ජියෝනේ සමග ම අයිවි ලීගයට අයත් මෙම විශ්වවිද්‍යාලයට ගිය මිතුරෙකු ඔහුව විස්තර කළේ "අතිශය සාමාන්‍ය" සහ "බුද්ධිමත් පුද්ගලයෙකු" ලෙස ය.

මැන්ජියෝනේ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට අනුව, නව සහ භාවිත කළ මෝටර් රථ අලෙවි කරන ඩිජිටල් වෙබ් අඩවියක් වන TrueCarහි දත්ත ඉංජිනේරුවෙකු ලෙස හෙතෙම සේවය කළේ ය. එම සමාගමේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, ඔහු 2023 සිට එහි සේවය කර නොමැති බව ය.

ඔහුගේ ලින්ක්ඩ්ඉන් ගිණුමට අනුව, මැන්ජියෝනේ මීට පෙර වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරන සමාගමක් වන Firaxisහි පරිගණක වැඩසටහන් සීමාවාසිකයෙකු (intern) ලෙස සේවය කළේ ය.

A man in a blue shirt staring at a camera

ඡායාරූප මූලාශ්‍රය, PA Department of Corrections

ඡායාරූප ශීර්ෂ වැකිය, චෝදනා ගොනු කිරීමෙන් පසු පොලිසය මැන්ජියෝනේගේ මෙම ඡායාරූපය නිකුත් කළේ ය.

පොලිසිය විසින් ඔහු සොයා ගත්තේ කෙසේද?

මැන්ජියෝනේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලකදී අත්අඩංගුවට ගනු ලැබුවේ, පාරිභෝගිකයෙකු විසින් එහි සේවකයෙකු වෙත දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව ඔහු බලධාරීන්ට ලබා දුන් ඔත්තුවකට අනුව ය.

එම අවස්ථාවේදී ඔහු සන්තකයේ ත්‍රිමාණ ලෙස මුද්‍රණය කරන ලද නිවසේදී එකලස් කරන බවට සිතිය හැකි කළු පැහැති පිස්තෝලයක්, ත්‍රිමාණ ලෙස මුද්‍රණය කරන ලද සයිලන්සරයක් සහ මිලිමීටර් 9 පතොරම් හයක් සහිත මැගසිනයක් ද තිබී ඇත.

ඔහුගේ සැබෑ හැඳුනුම්පත සහ සහ ව්‍යාජ හැඳුනුම්පතක් ඇතුළු හැඳුනුම්පත් කිහිපයක් ඔහු සතුව තිබී ඇති බව පොලිසිය පවසයි.

මෙම හැඳුනුම්පත් අතර එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රයක් සහ සැකකරු වෙඩි තැබීමට පෙර දුටු නිව් යෝර්ක් නගරයේ හෝටලයට ඇතුළු වීමට භාවිත කරන ලද වංචනික නිව් ජර්සි හැඳුනුම්පතක් ද තිබී ඇත.

නම පිළිබඳව වැරදි තොරතුරු ලබා දෙන්නේ නම්, ඔහු අත්අඩංගුවට ගන්නා බව ඔහුට පැවසූ විට, ඔහු තමා ලුයීජි මැන්ජියෝනේ බව පිළිගත්තේ ය.

අධිකරණ ලියවිලි අනුව, ඔහු බොරු කියන්නේ මන්දැයි ඇසූ විට, ඔහු නිලධාරීන්ට පැවසුවේ "මට එහෙම නොකියා ඉන්න තිබුණා," යනුවෙනි.

පෙන්සිල්වේනියාවේ ගොනු කර ඇති අපරාධ පැමිණිල්ලට අනුව, ඔහු මෑතකදී නිව් යෝර්ක් වෙත ගොස් තිබේදැයි ඇසූ විට ඔහු "නිහඬ වී වෙව්ලන්නට පටන් ගත්තේ ය".

"ඇමරිකාවේ මහා පරිමාණ සමාගම් වෙත කනස්සල්ල" පළ කළ බව පෙනෙන අත් අකුරින් ලියැවුණු පිටු තුනක ලේඛනයක් ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

"මේ පරපෝෂිතයෝ ඒක ළඟා කර ගත්තා" සහ "මොන විදිහක හරි කලබලකාරී දෙයක් සහ කම්පනයකට පත් වීමක් සිද්ධ වුණා නම්, මම සමාව අයදිනවා. නමුත් ඒක කළ යුතුව තිබුණා" යනුවෙන් ද ලේඛනයේ සඳහන් වූ බව නීතිය බලාත්මක කිරීමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නිව් යෝර්ක් ටයිම්ස් වෙත පැවසීය.

පොලිසිය පැවසුවේ ඔහු අත්අඩංගුවට ගැනීම "සාමකාමී" වුව ද, පසුව ඔහුගෙන් විමර්ශන කටයුතු සඳහා සහයක් නොලැබුණු බව ය.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: නිව් යෝර්ක් වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු 'වීරයෙක් නොවේ', පෙන්සිල්වේනියා ආණ්ඩුකාරවරයා පවසයි

ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් අපට පවසන්නේ මොනවා ද?

සමාජ මාධ්‍ය ගිණුම් මැන්ජියෝනේගේ චින්තනය පිළිබඳව යම් ඉඟි කිහිපයක් සපයයි.

ග්‍රන්ථ ගැන ගුණදොස් විවේචනය අදහස් දක්වන වෙබ් අඩවියක් වන Goodreads ඔහුගේ නමට සහ ඡායාරූපයට ගැළපෙන ගිණුමක් තිබුණු අතර එහි ඔහු 'the Unabomber manifesto' ලෙස ද හැඳින් වෙන තියඩෝර් කැචින්සිකි විසින් රචිත 'Industrial Society and Its Future' නම් ග්‍රන්ථයට තරු හතරක් ලබා දී තිබුණි.

1978 සිට, කැචින්සිකි බෝම්බ ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කළ අතර ඉන් ඔහු 1996දී අත්අඩංගුවට ගන්නා තෙක් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනයට ලක් කළ අතර තවත් විශාල ගණනකට තුවාල සිදුවිය.

මැන්ජියෝනේ එහි මෙසේ ලියා තිබුණි: "හරි ම ලේසියෙන් ඉක්මනට සහ වැඩිය බලන්නේ නැතුව ම මේක පිස්සෙක්ගේ ප්‍රකාශනයක් විදිහට අයින් කරලා දාන්න පුළුවන්."

"ඔහු ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක් - සිරගත කරපු එක සාධාරණයි - ඔහු අහිංසක මිනිසුන්ව ආබාධිත කළා.

"මේ ක්‍රියා දියුණුවට අකුල් හෙළන පිස්සෙක්ගේ වැඩ විදිහට දැක්කත්, හරියට දකිනවා නම්, ඒවා දකින්න ඕනේ, අන්ත දේශපාලන විප්ලවවාදියෙකුගේ ක්‍රියා විදිහට."

ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් තවදුරටත් පෙනී යන්නේ ඔහු පසුගිය මාස කිහිපය තුළ පවුලේ අය සහ මිතුරන් සමග සම්බන්ධතා පැවැත්වීමෙන් මිදී සිටි බව ය.

ඔක්තෝබර් Xහි තබා ඇති සටහනක, අයෙක් මැන්ජියෝනේගේ යැයි විශ්වාස කරන ගිණුමක් ටැග් කර මෙසේ ලියා තිබුණි:

"ඔයා හොඳින් ද? මාස ගාණකින් ඔයා ගැන කිසි දෙයක් කාටවත් දැනගන්න ලැබිලා නැහැ. ඔයාගේ පවුල ඔයා ගැන හොයනවා."